අහංගම හෝටලයකදී වෙඩි තැබීමෙන් තිදරු පියෙක් ජීවිතක්ෂයට

865

විදුලිය විසන්ධි වී තිබූ නිසා සීසීටීවී දර්ශනත් නෑ

අහංගම පොලිස් වසමේ පිහිටි ගොවියාපාන ප්‍රදේශයේ සයුරිමා හෝටලයේ දී 04 දා රාත්‍රි 9.30 ට පමණ සිදුවූ වෙඩි තැබීමකින් වැලිගම මිදිගම තුර්කි ගම්මානයේ පදිංචි අමිල සඳරුවන් නමැත්තා මියගොස් තිබෙන බව අහංගම පොලිසිය පවසයි.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 44ක තිදරු පියෙකි. මෙම වෙඩි තැබීම සිදු වන අවස්ථාවේ එම ප්‍රදේශයේ විදුලිය විසන්ධි වී තිබූ බව පොලිසිය පවසයි. එබැවින් වෙඩි තැබීම සීසීටීවීවල පටිගත වී නොමැත. මරු මුවට පත් පුද්ගලයා මත්පැන් පානය කිරීම සඳහා මෙම හෝටලයට පැමිණ ඇත. වෙඩි තැබීම සිදු කළ ස්ථානයේ සිටි සේවකයකුද මෙම වෙඩි ප්‍රහාරය හේතුවෙන් තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත .

මෙම වෙඩි තැබීමෙන් මියගොස් ඇති අමිල සඳරුවන් පසුගිය වසරේ අගෝස්තු 05 වැනි දින රාත්‍රි මිදිගම ප්‍රදේශයේ දී තවත් දෙදෙනෙකු සමග එක්වී ලියන ගමගේ ඉෂාර සංජීව නමැත්තා තියුණු ආයුධවලින් කපාකොටා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු වේ. මොහුගේ ඝාතනය සිදු වූයේ මෙම අගෝස්තු 04 වැනිදාය. පසුගිය වසරේ අගෝස්තු මස 05 වැනි දින ඝාතනයට ප්‍රධාන සැකකරු වූ අමිල සඳරුවන් ඇතුළු පිරිසගේ පහරදීම හේතුවෙන් මියගිය ඉෂාර සංජීව මියගොස් වසරක් ගතවීම නිමිත්තෙන් සිදු කරන ලද අවුරුද්දේ දානමය පිංකම ඊයේ (05 දා) වැලිගම මිදිගම ප්‍රදේශයේ දී සිදු කර තිබේ.

එහෙත් වෙඩි තැබීම හේතුවෙන් මියගිය අමිල සඳරුවන්ගේ මව ප්‍රකාශ කර සිටියේ තම පුතා පසුගිය වසරේ නිකරුණේ මිනී මැරීමේ චෝදනාවට සැකකරුවකු ලෙස නම් කර තිබූ බවය. ඇය තවදුරටත් ප්‍රකාශ කළේ මෙම ඝාතනය නිසා පියා නැති දියණියන් තිදෙනකු අසරණ වන බවයි.

මිනීමැරුම් චෝදනා ලබා වසරක් යෑමට පෙර දින ඔහු වෙඩි තබා ඝාතනය කළේ කවුරුන්දැයි මෙතෙක් අනාවරණය වී නොමැති අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු අහංගම පොලිසිය මගින් සිදු කරයි. සිද්ධිය වූ සැනින් වැලිගම මිදිගම අහංගම පොලිස් ස්ථානවලින් සහ අක්මීමන විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් ද සිද්ධිය වූ ස්ථානය වෙත පැමිණ සිටි අතර රාත්‍රි පොලිස් සොකෝ පරීක්ෂණ කටයුතු සිදු කරන ලදී.

ඊයේ (05 දා) උදේ මරණය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් ලලිත් පතිරණ පරීක්ෂණ කටයුතු සිදු කළ අතර මළ සිරුර වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා කරාපිටිය මහ රෝහලට යොමු කිරීමට නියම කරන ලදී. මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් අහංගම පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ටී. එච්. බන්දුලසේන මහතා ඇතුළු නිලධාරීන් විසින් වැඩිදුරටත් පරීක්ෂණ කටයුතු මෙහෙයවීමට නියමිතය.

ලලිත් පද්මසිරි, අහංගම – සුගතපාල දීයගහගේ, ගාල්ල – ලලිත් චාමින්ද, එස්. කේ. කළුආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment