ආණ්ඩුව වැරදි පාරේ යන විට ණය ශ්‍රේණිගතවලින් ලංකාව පහළට වැටුණා – විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස

103

වසර 2 කට පෙර අවස්ථා දෙකකදී ජනතා තීන්දුව අබියස තමන් පසුබෑමට ලක්වූ බවත්, එහි ප‍්‍රතිඵල අවාසනාවන්ත ලෙස අද භුක්ති විඳින්නට සිදුව ඇත්තේ මේ රටේ අහිංසක ජනතාවට බවත් විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පෙරේදා (15දා) රත්නපුරයේ පැවති සමගි විහිදුම් බලගණයේ දිස්ත‍්‍රික් සමුළුවට එක්වෙමින් පැවසීය.

ජනතාව ලබාදුන් වෙනසෙන් පාලකයන්ට පාඩුවක් වී නැති බව පැවසූ විපක්ෂ නායකවරයා ඔවුන් සුර සැප විඳින බවත් ජනතාව මහ පාරේ ළතවෙමින් පෝලිම්වල දුක් පීඩා විඳින බවත් පැවසීය.

මේ ආණ්ඩුව ගෙනයන ආර්ථික ගමන වැරදි බව ලෝකයේම ආර්ථික විශේෂඥයන් කියන විට ආණ්ඩුව ඒ කිසිවක් මායිම් නොකළ බවත්, සුපුරුදු වැරදි ගමනේම ආණ්ඩුව යන විට ශ‍්‍රී ලංකාව ණය ශ්‍රේණිගත කිරීම්වල පහළට ඇද දැමූ අතර අද ලෝකයේ කිසිදු රටකින් හරිහමන් ණයක් ගැනීමටවත් බැරි තැනට රට පත්ව ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අද වෙනකොට තවදුරටත් ශ්‍රේණිගත කිරීම්වල පහළ අඩියටම වැටෙමින් සිටින තත්ත්වයක් තුළ මේ රටට ආයෝජකයන් කිසිවකු නොපැමිණෙන බවත්, අඩු පොලියට ණයක් හෝ ලබාගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වන බවත් ඒ මහතා පැවසීය. එපමණක් නොව අත්‍යවශ්‍ය ඖෂධ ටික, අත්‍යවශ්‍ය ආහාර හෝ කර්මාන්තවලට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය සහ තෙල් ටික හෝ ගෙන්වා ගැනීමටත් නොහැකිවන බව ද ඒ මහතා පැවසීය.

කයිවාරුකාර සූරවීර ආණ්ඩුවේ ඒ ඒ විෂයන් භාර ඇමැතිවරුන් තම තමන් කරන දේ කුමක්දැයි කියාවත් නොදන්නා බව පැවසූ විපක්ෂ නායකවරා අද වන විට රටම අඳුරේ තබන්නට ඒ ඇමැතිවරු සමත්ව ඇතැයි ද පැවැසීය.

අකිත පෙරේරා
 

advertistmentadvertistment
advertistmentadvertistment