ඇමැති රෙගුලාසියෙන් නිලවරණයෙන් විසි වූ පාපන්දු හිටපු සභාපති ජස්වර් උමාර්ගේ පෙත්සම් විවාදය ලබන 08 දා

72

ක්‍රීඩා අමාත්‍යවරයා පනවා ඇති නව රෙගුලාසි අනුව පසුගිය ජනවාරි 14 වැනිදා පැවැති ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණයට ඉදිරිපත් වීමට තමා නුසුදුසු අයකු බවට පත්කිරීම අභියෝගයට ලක්කරමින් එම සම්මේලනයේ හිටපු සභාපති ජස්වර් උමාර් ලෙබ්බේ මහතා ගොනු කර තිබූ පෙත්සම සම්බන්ධයෙන් විවාදය ලබන 8 වැනිදා ආරම්භ කිරීමට අභියාචනාධිකරණය ඊයේ (21 දා) දින නියම කළේය.

එම පෙත්සම ඊයේ (21 දා) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න හා විනිසුරු එම්. ඒ. ආර්. මරික්කාර් යන මහත්වරුන් හමුවේදී කැඳවිණි.

සිය සේවාදායකයා අධිකරණයට පෙන්වාදී ඇති කරුණු මුල්කරගෙන ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය විසින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට සම්බාධක පනවා ඇති බවත් එකී තත්ත්වය ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩාවේ ඉදිරි ගමනට එතරම් සුබදායි නොවන බවත් පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ එරාජ් ද සිල්වා මහතා අධිකරණයට පෙන්වා දුන්නේය. එබැවින් සිය සේවාදායකයාගේ පෙත්සම කඩිනමින් කැඳවා සුදුසු නියෝගයක් ලබාදෙන ලෙසට ද ජ්‍යෙෂ්ඨ නීතිඥ එරාජ් ද සිල්වා මහතා අධිකරණයට වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

එම පෙත්සමේ 1, 2 සහ 3 වන වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබූ ක්‍රීඩා අමාත්‍යවරයා, ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා හා ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මනෝහර ජයසිංහ මහතා කරුණු දක්වමින් එම වගඋත්තරකරුවන් වෙනුවෙන් විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා තවදුරටත් දින ලබාදෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ලබන 1 වැනිදා හෝ ඊට පෙර සියලු විරෝධතා ලිඛිතව තම අධිකරණය හමුවේ ගොනු කරන ලෙස එහිදී විනිසුරු මඩුල්ල සියලු පාර්ශ්වවලට නියෝග කළේය.

නීතිඥ දිමුතු කුරුප්පුආරච්චි මහත්මියගේ උපදෙස් පරිදි නීතිඥ දේමින්ද විජේරත්න, නීතිඥ සුල් – ලිතිෆි සමඟ ජ්‍යෙෂ්ඨ නීතිඥ එරාජ් ද සිල්වා මහතා පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටියේය.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment