ඉඟුරුවත්තේ නාහිමිපාණන්ට බුරුම රජයෙන් අග්ගමහා පණ්ඩිත ගෞරව නාමය ප්‍රදානය කරයි

25

මහෝත්සවය අගමැති ප්‍රධානත්වයෙන් ලබන 2 දා

භාවනාවෙන් සිත නිවන කඳුබොඩ පුද බිමේ යතිවර ලකුණ

දෙල්ගොඩ කඳුබොඩ සියනෑ ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානය සහ රත්නපුර ලෙල්ලොපිටිය රුවන්පුර භාවනා මධ්‍යස්ථානාධිපති ශ්‍රී ලංකා අමරපුර ශ්වේජින් මහා නිකායේ මහා නායක ශාසන සෝභන සිරිසුමතිපාල වංසාභිධජ අග්ගමහා පණ්ඩිත ඉඟුරුවත්තේ පියනන්ද මහානායක මාහිමිපාණන් වෙත මියන්මාර් රජයෙන් ඉකුත් පෙබරවාරි මස 05 දා පිරිනැමුණු අග්ගමහා පණ්ඩිත ගෞරව නාම ශ්‍රී සන්නස් පත්‍රය හා විජිනි පත්‍රය නිල වශයෙන් පිළිගැන්වීමේ පුණ්‍ය මහෝත්සවය කඳුබොඩ සියනෑ ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථාන පරිශ්‍රයේදී දෙසැම්බර් මස 02 දා සවස 2.00 ට ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති මහානායක මාහිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් හා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්වේ.

මෙම අවස්ථාවට ත්‍රෛනිකායික මහනාහිමිවරු හා අනුනායක හිමිවරුන් ද බුද්ධ ශාසන ඇමැති විදුර වික්‍රමනායක මහතා ඇතුළු මැති ඇමැතිවරුන් රැසක් ද සහභාගි වීමට නියමිතය.

මෙම භාවනා මධ්‍යස්ථානය 1956 වර්ෂයේ ජනවාරි 08 වන දින දිවයිනේ ප්‍රථම සතර සතිපට්ඨාන විපස්සනා භාවනා මධ්‍යස්ථානය ලෙස එවකට අගමැති එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක සහ මියන්මාර් අගමැති ඌනු මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් විවෘත කර ඇති මෙම පිංබිම දෙල්ගොඩ සමරදිවාකර තිලකරත්නාරාමාධිපතිව වැඩ විසූ ප්‍රදේශයේ වියත් ධර්මධර භික්‍ෂුවක් වූ දරණගම සුගතපාල නාහිමිපාණන් හා කහටපිටියේ සිරි සුමතිපාල හිමිවරුන්ගේ අනුශාසකත්වයෙන් ප්‍රදේශයේ ප්‍රභූන් ලෙස කටයුතු කළ දෙල්ගොඩ ව්‍යාපාරික පේමවර්ධන, පියසේන වීරකෝන්, අබේවික්‍රම යන මහත්වරුන්ගේ ඉඩකඩම් පරිත්‍යාගයෙන් මුලින්ම අක්කර 03 ක රමණීය පිංබිමක ආරම්භ කෙරිණි.

සියනෑ ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානය මගින් එදා මෙදා තුර විදේශීය යෝගීන් ලක්‍ෂයකට වැඩි පිරිසකට සතර සතිපට්ඨාන විපස්සනා භාවනා ක්‍රමය ප්‍රගුණ කිරීමට අවස්ථාව සලසා දී ඇත. ආරම්භක මධ්‍යස්ථානාධිපතිව වැඩ සිටි කහටපිටියේ සිරි සුමතිපාල නාහිමියෝ 1946 වර්ෂයේ බුරුම රටට වැඩම කර බුරුමයේ මහා ෂී සෑඩෝ නාහිමිපාණන් යටතේ භාවනා ක්‍රම උගෙන මෙරටට වැඩම කර කඳුබොඩ සියනෑ ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති වශයෙන් සතර සතිපට්ඨාන භාවනාව ව්‍යාප්ත කිරීමට මහඟු සේවාවක් ඉටු කර ඇත. මුල් කාලයේ බලංගොඩ ආනන්ද මෛත්‍රි නාහිමියෝ මෙම ස්ථානයට වැඩම කර කඳුබොඩ මධ්‍යස්ථානයේ වැඩ සිටි බුරුම රට මහාෂී සෑඩෝ නාහිමිපාණන් මුණගැසී භාවනා ක්‍රම හදාරා ඇත. කහටපිටියේ සිරි සුමතිපාල නාහිමියන්ගේ අපවත් වීමෙන් පසු ගම්පහ පේමසිරි නායක මාහිමියෝ මෙම ස්ථානයේ භාරකාරීත්වය ගෙන කටයුතු කර ඇති අතර පසුව මඩවල උපාලි මාහිමියෝ මධ්‍යස්ථානාධිපති වශයෙන් කටයුතු කර ඇත.

ඉඟුරුවත්තේ නාහිමිපාණන්ට බුරුම රජයෙන් අග්ගමහා පණ්ඩිත ගෞරව නාමය ප්‍රදානය කරයි
කඳුබොඩ සියනෑ ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති ඉඟුරුවත්තේ පියනන්ද නාහිමියෝ ඇතුළු මහා සංඝයා වහන්සේලා දිවා දානය සඳහා වැඩම කරන අවස්ථාවක්.

2009 වර්ෂයේ සිට මේ දක්වා කඳුබොඩ සියනෑ ජාත්‍යන්තර විපස්සනා භාවනා මධයස්ථානාධිපති වශයෙන් ශ්‍රී ලංකා අමරපුර ශ්වේජින් නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත ඉඟුරුවත්තේ පියනන්ද නාහිමියෝ කටයුතු කරමින් බුරුම රට සමඟ අඩපනව තිබූ ධර්ම දූත සේවාවන් යළි සක්‍රීය කරමින් ශ්වේජින් නිකායේ වැඩ කටයුතු සඳහා විශාල දායකත්වයක් ලබා දී ඇත.

මෙම මධ්‍යස්ථානයේ කාන්තා සහ පිරිමි යෝගීන් වශයෙන් භාවනා ක්‍රම ප්‍රගුණ කිරීමට වෙනම ප්‍රදේශ වෙන්කර භාවනා කුටි පහසුකම් සපයා දී ඇත. විශේෂයෙන් මධ්‍යස්ථානාධිපති ඉඟුරුවත්තේ පියනන්ද මහානායක මාහිමිපාණන්ගේ අනුශාසකත්වයෙන් දෙස් විදෙස් යෝගීන් සඳහා නව භාවනා කුටි හා ප්‍රධාන ධර්ම දේශන ශාලාවක් සහ දෙමහල් නව දාන ශාලාවක් ද මෙම ස්ථානයේ ඉදිකර ඇති අතර අක්කර හතක් වූ වන වදුලින් සමන්විත රමණීය භූමි භාගයක මෙම භාවනා මධ්‍යස්ථානය පිහිටා ඇත. වත්මන් මධ්‍යස්ථානාධිපති වශයෙන් ඉඟුරුවත්තේ පියනන්ද නාහිමියෝ විසින් සතර සතිපට්ඨාන විපස්සනා භාවනා ක්‍රමය දෙස් විදෙස් බොහෝ පිරිසකට ප්‍රගුණ කරමින් ශ්‍රී ලංකා අමරපුර ශ්වේජින් නිකාය වෙනුවෙන් සිදුකරන ලද සුවිශේෂී සේවාව අගයමින් මියන්මාර් රජය මගින් අග්ගමහා පණ්ඩිත ගෞරව නාමය සහිත ශ්‍රී සන්නස් පත්‍රය උන්වහන්සේට පිරිනමා ඇත. නාහිමිපාණන් පිළිගැනීම සහ නිල වශයෙන් විජිනිපත පිළිගැනීම වෙනුවෙන් මෙම විශේෂ පුණ්‍යමහෝත්සවය සංවිධානය කර ඇති බව උත්සව කමිටුවේ ලේකම් හා මහභාරකාර දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික ලේකම් සුනේත්‍රා උඩබාගේ සමරසේකර මහත්මිය කීවාය.

බියගම – සුදත් පුබුදු කීර්ති,
දෙල්ගොඩ – ඩබ්. ඩී. එම්. විතාන

advertistmentadvertistment
advertistmentadvertistment