ඉතිහාසය හැදෑරීමට තවත් ආයතනයක් අවශ්‍ය ම ද?

309

ලබන වර්ෂයේ අයවැය යෝජනා අතරට ඉහත සඳහන් ආයතනයක් පිහිටුවීම සඳහා රුපියල් මිලියන 50 ක් වෙන් කිරීමට යෝජනාවක් ඉදිරිපත් වී ඇත.

විශ්වවිද්‍යාල කොමිෂන් සභාවෙන් පාලනය වන රජයේ විශ්වවිද්‍යාල 15ක් පමණ මෙරට ඇත. එම විශ්වවිද්‍යාල අතරින් මෙරට කොළඹ විශ්වවිද්‍යාලය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය, කැලණිය විශ්වවිද්‍යාලය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, රුහුණු විශ්වවිද්‍යාලවල, යාපනය විශ්වවිද්‍යාලය, රජරට විශ්වවිද්‍යාලය, ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය සහ වයඹ විශ්වවිද්‍යාලය ඉතිහාසය අධ්‍යාපනය හා පර්යේෂණ සඳහා දැනටමත් පහසුකම් සලසා තිබේ.

උපාධිය සඳහා ඉතිහාසය විෂය හැදෑරීම

විශ්වවිද්‍යාලවල උපාධිය සඳහා ඉතිහාසය ඉගෙනීමට පහසුකම් ඇතත් එම විෂය හදාරණ සිසුන් සංඛ්‍යාව ක්‍රමයෙන් අඩුවෙන බව වාර්තා වේ. ඉතිහාසය විෂය ඉගෙනීමෙන් ගුරුවෘත්තිය සහ වෙනත් ආයතන කිහිපයක පමණක් රැකියා ලබාගැනීමට අවස්ථාව පැවතීම එයට හේතුව වශයෙන් දැක්වේ. මෙය ඉතිහාසය විෂයට පමණක් නොව වර්තමානයේ මව් භාෂාව වන සිංහල විෂයටත් බලපාන සාධකයකි. සිංහල භාෂාව හැදෑරීමෙන් වැඩක් නැහැ යන පිළිතුරු සපයන විද්‍යාර්ථීන් ද නැතුවා නොවේ.

උසස් පෙළ සඳහා ඉතිහාසය විෂය හැදෑරීම.

උසස් පෙළ සඳහා ඉතිහාසය විෂය හදාරණ සිසුන් සංඛ්‍යාව ද ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බව අසන්නට ලැබේ. එයට හේතුවී ඇත්තේ ද අධ්‍යාපනයේ අවසාන අරමුණ රැකියාවක් ලබාගැනීමට පහසු ආර්ථික වශයෙන් පිළිගැනෙන විෂයන් තෝරා බේරාගෙන හැදෑරීම නිසයි. 1987 දී දීප ව්‍යාප්ත සමීක්ෂණයක් තුළින් උසස් පෙළ පංතිවල ඉතිහාසය විෂය ඉගෙනීමට තෝරාගැනීම අඩුවීමට හේතු සොයා බැලීමේ දී ප්‍රකාශිත වී තිබූ ප්‍රතිචාර අතරින් 86% ක්ම සඳහන් කර තිබුණේ ඉතිහාසය විෂයට රැකියා ලබාගැනීමේ දී ආර්ථික පිළිගැනීමක් නොමැති නිසා එම විෂය තෝරා නොගන්නා බවයි. එය අද දක්වාම ව්‍යාප්ත වෙමින් පවතී.

පාසල් තුළ ඉතිහාසය ඉගෙනීම.

ඉතිහාසය විෂය සාමාන්‍ය පෙළ දක්වා අනිවාර්ය විෂයයක් ලෙස ක්‍රියාත්මක වන නිසා එම පංතිවලදී සෑම දෙනාම ඉතිහාසය විෂය හදාරනු ලැබේ. එහෙත් එම ශිෂ්‍ය ශිෂ්‍යාවෝ සඳහන් කරන්නේ වැඩි විෂය කරුණු ප්‍රමාණයක් සහ කාලවකවානු මතක තබාගැනීමට අපහසුවීම නිසා එම විෂය ඉගෙනීමට මැලිකමක් දක්වන බවයි.

මෙවැනි පරිසරයක විශ්වවිද්‍යාලවලත් ඉතිහාසය විෂය අඩු සංඛ්‍යාවක් හදාරණ නිසා පර්යේෂණ කටයුතු සඳහා විශ්වවිද්‍යාල ආචාර්ය මණ්ඩලය සහ එහි අනෙකුත් සම්පත් අතිරික්තයක් පවතී. එම නිසා ප්‍රමාණවත් මානව සම්පත් සහ භෞතික සම්පත් විශ්වවිද්‍යාල තුළ තිබෙන බව වාර්තා වේ.

ශිරාන් උපේන්ද්‍ර දැරණියගල මහතා.

කොළඹ ජාතික කෞතුකාගාරයේ අධ්‍යක්‍ෂවරයා ලෙස සේවය කළ පී.ඊ.පී. දැරණියගල මහතා මෙරට ඉතිහාසය අධ්‍යයනය සඳහා පොත්පත් රාශියක් මෙරටට දායාද කළ නිලධාරියෙකි. එතුමාගේ තුන්වන පුත්‍රයා වූයේ මෙරට උපත ලැබූ ශිරාන් උපේන්ද්‍ර දැරණියගල මහතායි. එතුමා මෙරට ඉතිහාසය අධ්‍යයනය සඳහා පුරාවිද්‍යාත්මක කැණීම් රාශියකින් ඉතිහාසය නව මුහුණුවරකට දිසාගත කිරීම සඳහා කරුණු සමූහයක් දායාද කළ පුරාවිද්‍යාඥයෙකි. පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පත්වූ ඒ මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයකු ලෙස ද සේවය කළ විද්වතෙකි. බලන්ගොඩ මානවයා පිළිබඳව පාහියන්ගල, බෙලිලෙන සහ බෙල්ලන්බැඳිපැලැස්ස වැනි ගල් ගුහා ආශ්‍රිතව අඩු පහසුකම් යටතේ පර්යේෂණ කරමින් ඉතිහාසය හැදෑරීමට හා යටගිය ඉතිහාසය මතුකරගනිමින් නැවුම් තොරතුරු සමූහයක් අනාවරණය කළ විද්වතෙකි. එම අඩි පාරේ යමින් පුරා විද්‍යා පශ්චාත් උපාධි ආයතනය මෙන්ම කැලණිය විශ්වවිiාලයේ මහාචාර්ය රාජ් සෝමදේව මහතා ද ඉතිහාසය හැදෑරීමට පර්යේෂණ රාශියක් මෙහෙයවූ මෑත කාලයේ පුරා විද්‍යාඥයෙකි.

මහාචාර්ය සේනක බණ්ඩාරනායක මහතා.

පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යක්ෂවරයා වශයෙන් සේවය කළ මහාචාර්ය සේනක බණ්ඩාරනායක මහතා ද ඉතිහාසය ඉගෙනීමට සහ පර්යේෂණ සඳහා විශාල මෙහෙවරක් ඉටු කළ යුග පුරුෂයෙකි. ඉතිහාසය විෂය ඉගෙන ගන්නා පාසල් සිසුන්ට ඉතිහාසය ඉගෙනීමේ දී සිය ගම් ප්‍රදේශවල තිබෙන පුරා විද්‍යාත්මක හා ඓතිහාසික ස්ථාන හඳුනාගැනීමටත්, ඒවා හඳුනාගෙන ඉතිහාසය විෂය ඉගෙනීම හා පෝෂණය කරගැනීම සඳහා වැඩපිළිවෙළක් සකස් කරන ලදී. එහි ප්‍රථම වැඩමු`ඵවක් ද බස්නාහිර පළාතේ ගුරු උපදේශකවරුන්ගේ සහභාගිත්වයෙන් පවත්වන ලදී. එහෙත් එම ක්‍රියාදාමයට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් අපේක්ෂිත සහාය නොලැබුණු නිසා එය අතරමඟ නැවතුණි. මෙවැනි පසුබිම් යටතේ පසුගිය අතීත අධ්‍යයනයේ දී ඉතිහාසය අධ්‍යයනය හා පර්යේෂණ සඳහා වෙනමම ආයතනයක් නොතිබුණත් එකල පැවති අඩු පහසුකම් මධ්‍යයේ අමරණීය සේවයක් කළ විද්වත් පිරිසක්වත් මෙරට ජීවත්වීම ලක්මෑණියන්ගේ සැනසීමට හේතුවනු ඇත. රටේ වර්තමානයේ පවතින ආර්ථික අහේනිය තුළ ඉතිහාසය අධ්‍යයනය හා පර්යේෂණය සඳහා වෙනමම ආයතනයක් පිහිටුවීමට මිලියන පනහක් වැය කිරීමට වඩා දැනට ප්‍රයෝජනයට ගත හැකි විශ්වවිද්‍යාල හා කෞතුකාගාර උපයෝගී කරගෙන ඒවායේ පවතින භෞතික හා මානව සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ලබාගැනීමට ඵලදායි වැඩසටහනක් සැලසුම් කර ක්‍රියාත්මක කිරීම වඩාත් කාලෝචිත යැයි යෝජනා කරමි.

සරත්චන්ද්‍ර ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment