ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශවික සබඳතා ඉහළම තලයක පවතිනවා

143

ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය ඉන්දියානු මහකොමසාරිස්

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශවික සබඳතා ඉහළම තලයක පවතින බව ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය ඉන්දියානු මහකොමසාරිස් විනෝද් කේ. ජේකබ් මහතා පැවසීය. මේ සඳහා මූලික වශයෙන් හේතු වී ඇත්තේ දෙරට ජනතාව අතර ගැඹුරින් මුල් බැසගත් බැඳීම් බව ද ප්‍රකාශ කළේය.

හෙතෙම මේ බැව් පැවසූවේ ඉකුත් 03 වැනිදා ආරම්භවූ 2023 “මෙඩිකෙයා 2023” ප්‍රදර්ශනය විවෘත කිරීමේ උත්සවය සඳහා සහභාගී වෙමිනි. බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ඉකුත් 05 වැනිදා තෙක් මෙම ප්‍රදර්ශනය පැවැත්විණි.

වැඩිදුරටත් උත්සව සභාව ඇමැතූ නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා මෙසේද කීවේය. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශවික සබඳතා ඉහළම තලයක පැවතීමට මූලික වී ඇති ප්‍රධාන කරුණු පහක් තිබෙනවා.

පළමු වැන්න ඉන්දීය ජනතාව සහ රජය වැක්සින් මෛත්‍රී ලබා දුන් කාලසීමාව තුළ ශ්‍රී ලංකාවට සහය ලබාදීම සහ ශ්‍රී ලංකා රජය විසින් සංචාරක සීමා ලිහිල් කළ වහාම කඩිනමින් වෛද්‍ය වීසා නිකුත් කිරීමය.

දෙවැන්න කොවිඩ් සමය තුළ 1990 සුවසැරිය ගිලන්රථ විසින් ලබාදුන් කැපී පෙනෙන සේවය සහ මහනුවර, හම්බන්තොට සහ යාපනය රෝහල්වලින් සිදු කරන ලද ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වමින් වෛද්‍ය සැපයුම් ලබා දීමය.

තුන්වැන්න ශ්‍රී ලංකා රජය විසින් සිදු කරන ලද ඉල්ලීමකට අනුව ඉන්දීය ජනතාව සහ රජය 2022 වසරේදී ඇමරිකානු ඩොලර් බිලියන 4ක ආර්ථික, මූල්‍ය සහ මානුෂීය සහයෝගයක් ලබා දීමය.

සිව්වැන්න ඉන්දියාව ජී20 සමුළුවලදී ශ්‍රී ලංකාවට සහයෝගය ලබා දුන් අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට 2023 ජනවාරි මාසයේදී වොයිස් ඔෆ් ග්ලෝබල් සවුත් සමුළුව සඳහා සහභාගී වන ලෙස ආරාධනා කිරීමය.

පස්වැන්න මෑත කාලීන අත්දැකීම් අනුව, සෞඛ්‍ය සහ යහපැවැත්ම යන ක්ෂේත්‍රය මෙන්ම සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රම තුළ වඩා ගැඹුරු සබඳතා ගොඩනැගීම සඳහා සැලකිය යුතු අවස්ථාවන් පැවතීමය. මේ සඳහා දේශීය ආයුර්වේද ප්‍රතිකාර සපයන මෙරට ආයතන සහ ඉන්දීය ආයතන 40 කට අධික සංඛ්‍යාවක් සහභාගි වූහ.

මෙහි සමාරම්භක උළෙල අගමැති දිනේෂ් ගුණවර්ධන සහ මෙරට ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් මිනෝද් කේ. ජාකොබ් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ඡායාරූපයේ දැක්වෙන්නේ නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා චාරිත්‍රානුකූල පොල්තෙල් පහන දැල්වීමට එක්වූ අයුරුය.

මෙම අවස්ථාවට දේශීය වෛද්‍ය ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති සිසිර ජයකොඩි, වරාය නාවුක හා ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා, හිටපු සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. එච්. එම්. ෆවුසි යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් එක්වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment