ඉසුරු සොයා අරාබියට ගිය නිට්ටඹුවේ වාසනා අවාසනාව දෝත දරාගෙන යළි දිවයිනට

87

සෞදි අරාබියේ ගෘහ සේවය සඳහා ගොස් එහිදී හාම්පුතා අතින් සහ එරට රැකියා නියෝජිතවරයා විසින් පහර කෑමට ලක් වී රෝගාතුර වූ ශ්‍රී ලාංකික සිව්දරු මවක් ආබාධිතව කටුනායක ගුවන් තොටුපොළ වෙත 01 දින උදෑසන පැමිණ සිටියාය.

ඇය නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි සුරේනි වාසනා නමැති සිව් දරු මවකි. ඇය හරිහැටි ඇවිදීමට හෝ කතා කිරීමට තරම් වත් යහපත් සෞඛ්‍ය තත්වයෙන් නොසිටි අතර කටුනායක ගුවන් තොටුපොළේ දී ඇය සිය අදහස් මෙසේ පළ කළාය.

2022 වසරේ දෙසැම්බර් 06 වැනි දා අපේ පවුලේ පවතින ආර්ථික අගහිඟතා තවදුරටත් ඉවසා ගනු බැරිව ගෘහ සේවය සඳහා සෞදි අරාබිය බලා පිටත් වුණා.

මම සේවය කළේ සෞදි අරාබියේ අල් අසාද් ප්‍රදේශයේ නිවෙසක. ඒ ගෙදර බාබා ව්‍යාපාරිකයෙක්. ඔහු මම ඒ ගෙදර සේවය කරමින් සිටින අතර කිසිවෙකුත් නොසිටි ඉකුත් ජුනි මාසයේ දිනයක මට ලිංගික අතවර කිරීමට සැරසුණා. මම එයට විරුද්ධ වුණා. ඒ විතරක් නෙමෙයි මම ඔහුට පහර දී පන්නා ගත්තා.

තවත් කාලය ගෙවී යද්දී මට උණ රෝගය වැළදී හුඟක් අමාරු වුණා. මට වැඩ කරන්න අපහසු වුණා. ඒ අවස්ථාවේ ඒ ගෙදර සිටි බාබා මට ගහල එරට රැකියා නියෝජිත ආයතනය වෙත ගෙනැවිත් දැම්මා.

ඒකෙ හිටිය සුල්තාන්වරයා මට හොඳටම ගහල මගේ ඔලු‍ව තුන් පාරක් බිත්තියේ හැප්පුවා. මට සිහිය නැතිව ගියා. ඔවුන් මාව මැරෙයි කියලා හිතාගෙන ඒ ප්‍රදේශයේ රෝහලට ඇතුළත් කළා. එහිදී මගේ හිසට මැහුම් දමා ඇති අතර එහි මාස කීපයක් ඔත්පළව දැඩි සත්කාර ඒකකයේ රඳවා තබාගෙන වෛද්‍ය ප්‍රතිකාර ලබා දුන්නා යැයිද පැවසුවාය.

මැදපෙරදිග බොහෝ හාම්පුතුන් පහර දීමේදී සාක්ෂි වසන් කිරීම සඳහා ගෘහ සේවිකාවන්ගේ හිසට පහර දීම සිදු කරන බව ඇය ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට මැදිහත් වී කටයුතු කළ ශ්‍රී ලංකා මානව හිමිකම් කවුන්සිලයේ සභාපති ආචාර්ය සරත් පීරිස් මහතා කටුනායක ගුවන් තොටුපොළේ දී පැවසීය.

මෙම කාන්තාව මීගමුව මහ රෝහල වෙත ඇතුළත් කර වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට කටයුතු කරන බව පැවසූ සරත් පීරිස් මහතා මෙම කාන්තාව නීත්‍යානුකූලව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී කොළඹ මරදාන ප්‍රදේශයේ රැකියා නියෝජිත ආයතනයක් මගින් සෞදි අරාබිය වෙත ගොස් ඇති බවත් ඇයට සිදු වී ඇති ශාරීරික හානි පිළිබඳ වන්දි මුදලක් අය කරදීමට ද තමන් කටයුතු කරන බව ද පැවසීය.

කටුනායක ටී.කේ.ජී.කපිල

advertistmentadvertistment
advertistmentadvertistment