ඊතලවැටුණුවැවේ ඤාණතිලක නාහිමියෝ ප්‍රවචන කීර්ති ශ්‍රී සුමන ගුණරතන ගෞරව නාමයෙන් පිදුම් ලබති

67

රුවන්මැලි චෛත්‍යාරාමාධිකාරී, උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක, අනුරාධපුර මහා විහාර සංඝ සභාවේ ලේඛකාධිකාරී, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ කුලපති ශාස්ත්‍රපති ඊතලවැටුණුවැවේ ඤාණතිලක නාහිමියෝ ඊයේ (12දා) නුවර මල්වතු මහා විහාරීය උපෝසථාගාරයේදී ප්‍රවචන කීර්ති ශ්‍රී සුමන ගුණරතන ගෞරව නාමයෙන් පිදුම් ලැබූහ.

ශ්‍යාමෝපාලි මහානිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහනායක ස්වාමීන් වහන්සේගේ සුරතින් උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක පදවියත් ගෞරව නාමය සහිත සන්නස් පත්‍රයත් ලැබූහ.

අදින් පනස් 55 වසරකට පෙර එනම් 1969-05-10 දින වව්නියාව මාමඩුව ප්‍රදේශයේ කේ. බී. සීතා මැණිකේ සහ එන්. ගුණවර්ධන මාපියන්ට දාව උපන් ජ්‍යෙෂ්ඨ කුල කුමරුවා ඤාණතිලක දිසානායක විය.

වව්නියාව ගාමිණි මහා විද්‍යාලය, අ/පිහිඹියගොල්ලෑව මහා විද්‍යාලය සහ අ/ මහ කුඹුක්වැව විද්‍යාලය යන පාසල්වලින් මූලික අධ්‍යාපනය ලබමින් රත්මල්ගහවැව, ඊතල් වැටුණු වැව ගම්මානයේ ළමා කාලය ගෙවමින් සිටිය දී 1981 මැයි 13 වැනිදා රුවන්මැලි මහ සෑ මළුවේ දී ඒ කුල කුමරුවාට පැවිදි දිවියට එළඹෙන්නට වාසනාව උදා විය.

අනුරාධපුර මහ විහාර පිරිවෙනින් හා සඳලංකාවේ ශාස්ත්‍රෝදය මහ පිරිවෙනින් අධ්‍යාපනය හදාරා අනතුරුව ශ්‍රී ලංකා පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී උපාධියෙන් හා කැලණිය විශ්වවිද්‍යාලයේ අනෙකුත් පශ්චාද් උපාධිවලින් ශාස්ත්‍රීය ජීවිතය ගොඩනගා ගන්නට ඤාණතිලක හිමියන්ට අවස්ථාව සැලසිණි.

උන්වහන්සේ උපසම්පදා ශීලයෙහි පිහිටුවනු ලැබුවේ 1989-05-27 දින මල්වතු මහා විහාරයේ දීය. උන්වහන්සේ විසින් ශාසනයට කරන ලද අතිමහත් ගෞරවාර්හ මෙහෙවර අගයමින් සංඝනායක පදවියත් ගෞරව නාමයත් ප්‍රදානය කළහ.

සමන්ති වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment