උසස් පෙළ ලියන හිටපු ඇමැති මුණුබුරා ෂොට් ගන් එකක් සහ බඳින තුවක්කු 2ක් සමග දැලේ!

1008

විදේශීය රටක නිෂ්පාදිත බෝර 12 ගිනි අවියක් සහ බඳින තුවක්කු දෙකක් නීති විරෝධී ලෙස ළඟ තබා ගෙන සිටි හිටපු අමාත්‍යවරයකුගේ මුණුපුරකු වන මේ දිනවල පැවැත්වෙන උසස් පෙළ විභාගයට පෞද්ගලික අංශයෙන් පෙනී සිටින සිසුවකු පෙරේදා (6 දා) පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අනුරාධපුර පූජා නගරයේ පැරණි පුත්තලම් පාර තිසා වැව, ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි තරුණයෙකි.

අනුරාධපුර විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සිදු කළ පරීක්ෂාවකදී සැකකරු පදිංචි නිවසේ තිබී බලපත්‍ර නොමැති නීති විරෝධී විදෙස් රටක නිෂ්පාදනය කළ බෝර 12 (ෂොට් ගන්) එකක් සහ බඳින තුවක්කු (බඳින කඳන්) දෙකක් සොයා ගත් බව විශේෂ කාර්ය බළකාය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සිදු කිරීම සඳහා ඊයේ (7දා) අනුරාධපුර පොලිසියට භාර දුන් බව විශේෂ කාර්ය බළකාය සඳහන් කළේය.

විශේෂ කාර්ය බලකායේ අණ දෙන නිලධාරි, නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් පරිදි අනුරාධපුර විශේෂ කාර්ය බළකා කඳවුරේ අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක ජී.ජී.වයි.ආර්. දයාරත්න මහතා ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් මෙම වැටලීම සිදු කර සැකකරු අත්අඩංගුවට ගත්හ.

මිහින්තලේ – රංග චතූ

advertistmentadvertistment
advertistmentadvertistment