එකට මත් වී පොරවකින් පහර දී මිතුරා මරා දමලා

222

කටාන පොලිස් වසමට අයත් කඳවල රනාගේ වත්තේ මුරකරු වශයෙන් සේවය කළ 45 හැවිරිදි අයෙකු මත්පැන් පානයෙන් අනතුරුව එකට මත්පැන් පානය කළ මිතුරා සමඟ බහින්බස් වීමෙන් පසු පොරවකින් මුරකරුගේ ගෙල සිඳ ඉකුත් (07දා) රාත්‍රී ඝාතනය කර ඇතැයි කටාන වැඩබලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සෙනෙවිරත්න මහතා ඊයේ (08 දා) පැවසීය.

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ රනාගේ වත්තේ මුර මඩුවේ පදිංචිව සිටි මුරකරු වන කුමාර තිස්ස ජයකොඩි නමැති දෙදරු පියෙකි. ඔහුගේ බිරිඳ ඔහු අත්හැර දරු දෙදෙනා සමඟ වෙනම ජීවත් වේ. මියගිය අය තනිවම මුර කුටියේ පදිංචිව සිට ඇත.

ඉකුත් සෙනසුරාදා රාත්‍රී මරණකරු ඔහුගේ මිතුරකු සමඟ මුරකුටිය තුළ මත්පැන් පානය කර ඇත. එහිදී මරණකරු මිතුරා සමඟ බහින්බස් වීමක් සිදුවී මිතුරා ඉවතට ගොස් ඇත. තම නිවසට ගිය මිතුරා නිවසේ තිබූ පොරවක් රැගෙනවිත් මරණකරුගේ ගෙලට කොටා ඝාතනය කර ඇත.

සැකකරු සහ මරණය සිදුකළ බව කියන පොරොව කටාන පොලිසියෙන් අත්අඩංගුවට ගෙන ඇත. එහි වැඩබලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සෙනෙවිරත්න මහතා විමර්ශන කටයුතු මෙහෙයවිය.
මීගමුව – විමල් කීර්ති

advertistmentadvertistment
advertistmentadvertistment