එච්. අයි. වී. රෝග ආසාදිතයන් වැඩි වෙයි

414

එච්. අයි. වී යනු වෛරසයක් වේ. එච්. අයි. වී. යනු මානව ප්‍රතිශක්ති ඌනතා වෛරසය යන්නයි. එච්. අයි. වී. වැනි වෛරස් තනිව වර්ධනය වීමට හෝ ප්‍රතිනිර්මාණය වීමට නොහැකිය. ඔවුන්ට තමන්ගේ නව පිටපත් නිර්මාණය කිරීම සඳහා ජීවී සෛල ආසාදනය කළ යුතුයි. මානව ප්‍රතිශක්තිකරණ පද්ධතිය සාමාන්‍යයෙන් වෛරසය මර්දනය කරන නමුත් එච්. අයි. වී. ප්‍රතිශක්තිකරණ පද්ධතියටම පහර දෙන බැවින් එය මර්දනය කිරීමට නොහැකිය.

ඒඩ්ස් යනු කුමක්ද?

ඒඩ්ස් රෝගී තත්ත්වයකි. ඒඩ්ස් යනුවෙන් අදහස් කරනුයේ නතුකරගත් ප්‍රතිශක්තිකරණ ඌනතා සහ ලක්‍ෂණය යන්නය. යම් පුද්ගලයකුට එච්. අයි. වී. ඇති බවට නිශ්චය කරනුයේ ඔහුගේ හෝ ඇයගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය රෝගවලට ඔරොත්තු දීමට නොසුදුසු මට්ටමට දුර්වල වූ විටය.

එච්. අයි. වී. වෛරසය තවත් කෙනකුට වැළඳෙන්නේ කෙසේද?

ආසාදනය වූ කෙනකු සමග අනාරක්‍ෂිත ලිංගික සබඳතා මගින් බෝවේ. මෙය අපේ රටේ ජනතාව තුළ බහුලවම බෝවන ක්‍රමය වේ.

එච්. අයි. වී. ආසාදිත මවකගෙන් ගර්භනී කාලයේදී දරු ප්‍රසූතියේදී සහ මව් කිරි දීමේදී එච්. අයි. වී. ආසාදනය විය හැක.

ජීවානුහරණය නොකරන ලද එන්නත් කටු මගින් හෝ ආසාදිත රුධිර පාරවිලයනය මගින් එච්. අයි. වී. වෛරසය බෝවීම සිදුවේ.

එච්. අයි. වී. වැළැක්වීමේ ක්‍රමෝපායන් මොනවාද? 1. විවාහය තෙක් ලිංගික සම්බන්ධතා ප්‍රමාද කිරීම, 2. විශ්වාසවන්ත එක් සහකරුවකුට පමණක් ලිංගික සම්බන්ධතා සීමා කිරීම 3. ලිංගිකව එක්වන විට කොණ්ඩමයක් නිවැරදිව හා අඛණ්ඩව භාවිතා කිරීම.

ශ්‍රී ලංකාවෙන් අලුතින් හඳුනා ගැනෙන එච්. අයි. වී. ආසාදිතයන් සංඛ්‍යාව ක්‍රම ක්‍රමයෙන් වැඩි වන ප්‍රවනතාවක් දක්නට තිබේ.

2022 වසරේ පමණක් එච්. අයි. වී. ආසාදිතයන් 607ක් වාර්තා වී තිබේ. මෙයින් 531ක් පිරිමි පුද්ගලයන් වේ.

2018 වසරේ සිට වයස අවුරුදු 15ත් 24ත් අතර තරුණ ප්‍රජාව තුළ එච්. අයි. වී. ආසාදිතයන් සංඛ්‍යාවේ සැලකිය යුතු වැඩිවීමක් දක්නට ඇත.

රෝග විනිශ්චය කරන ලද සියලුම රෝගීන් සඳහා ප්‍රති වෛරස් ප්‍රතිකාරය දිවයිනේ දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි පිහිටුවා ඇති සියලුම ලිංගාශ්‍රිත රෝග සායන හරහා නොමිලේ ලබාගත හැකිය.

ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන සංවිධානය කළ මාධ්‍ය සම්මන්ත්‍රණය ඇසුරිනි.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්
සංස්කරණය – උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment