ඔබට පොරක් වීමට අවශ්‍ය ද?

982

විසඳුණු ප්‍රශ්න සහ නොවිසඳුණු ප්‍රශ්න අතර අපි දෝලනය වෙමින් සිටිමු. ලීඩර් පුවත්පතේ කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය කරන ලද්දේ මෙයට අවුරුදු 14 කට පෙර ය. ඔහු ඝාතනය කළ මිනීමරුවා හෝ මිනීමරුවන් කණ්ඩායම ගැන අදටත් කිසිදු තොරතුරක් හෙළි වී නැත. ලසන්ත ඝාතනයෙන් ටික කලකට පසු රිවිර පුවත්පතේ කර්තෘ උපාලි තෙන්නකෝන්ට ද පිහියෙන් අනින ලදි. බිරිඳ විසින් ආවරණය කර නොගන්නට, ඒ පිහි පහරින් උපාලි මිය යන්නට ඉඩ තිබුණි. ඒ සිද්ධියෙන් පණ ගලවා ගත් උපාලි තවත් කලක් නිදහසේ ජීවත්වීම සඳහා ඇමරිකාවට ගියේ ය. උපාලි තෙන්නකෝන් ඝාතන තැත පිළිබඳ රහස අදටත් හෙළිදරව් වී නැත. දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය සිදුවන්නේ මීට මාසයකට පමණ පෙර ය. සමහරකුගේ මතය අනුව එය මිනීමැරුමකි. තවත් කෙනෙක් කියන්නේ එය තෙවන පාර්ශ්වයේ ආධාරයෙන් කෙරුණු දිවිනසා ගැනීමක් බවය. හැබැයි මේ දෙකෙන් ඇත්ත කුමක් ද යන්න අදටත් හෙළි වී නැත. කුරුණෑගල පොතුහැර දළදා මාලිගාවක් හදන බෝසත් ජානක පිළිබඳ සිද්ධිය අප දැන ගත්තේ මහනායක හිමිවරුන් සහ දළදා මාලිගාවේ දියවඩන නිලමේ විසින් ජනාධිපතිතුමාට කරන ලද පැමිණිල්ලක් නිසා ය. ඉන්පසුව එම දළදා මාලිගාවේ පත්තිරිප්පු කොටස කඩා ඉවත්කිරීමට බෝසත් ජානක පොරොන්දු වීමත් සමඟම රාජ්‍ය මට්ටමේ පරීක්‍ෂණ කෙසේ වෙතත් මහජනයා තුළ තිබූ කැළඹිල්ල අවසන් විය. බෝසත් ජානක සිය දළදා මාලිගාවේ පත්තිරිප්පුව කඩන්නේ නිකම් නොව ශ්‍රී ලංකාවේ දේශපාලන සරදියෙල් වන මර්වින් සිල්වා එම ස්ථානයට ගොස් කරන ලද ඉල්ලීමකට අනුව ය. ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු පිරික්සන විට බෝසත් ජානක සහ මර්වින් සිල්වා අතර පැරණි මිත්‍රත්වයක් තිබෙන බව ද හෙළිවිය. අවසන් වශයෙන් මර්වින් සිල්වාගේ හෝ බෝසත් ජානකගේ හෝ අතක් පයක් නොකැඩී වැඩේ ගොඩින් ඉවර වීම අපගේ සතුටට කාරණයකි. මේ සියල්ලටම අමතරව සේපාල් අමරසිංහ නමැති යූ ටියුබ්කාරයා විසින් ශ්‍රී දළදා වහන්සේට අපහාස කරනු ලැබීම බෞද්ධ ජනතාව තුළ ඉමහත් ශෝකයක් ඇති කළේය. ඔහුට විරුද්ධව කරන ලද පැමිණිල්ලක් නිසා සේපාල අමරසිංහ දැනට ඉන්නේ බොරැල්ලේ රිමාන්ඩ් හිරගෙදර ය. මෙහිදී වැදගත් කාරණයක් මතුකොට දක්වමු. සේපාල් අමරසිංහ ශ්‍රී දළදා වහන්සේට අපහාස කරන ලද්දේ අදේවවාදී අනාගමිකයන් අතර පොරක් වීම සඳහා කිසියම් උන්මාද තත්ත්වයක් යටතේ බව අපි විශ්වාස කරමු. (සේපාල් අමරසිංහ උන්මාදකාරයකු ලෙස ඔප්පුකර ගන්නට ඔහු වෙනුවෙන් පෙනී සිටින අයට පුළුවන් වුණොත් නිදහසේ ගෙදර යෑමටත්, මානසික රෝහලක ප්‍රතිකාර ලබමින් ආණ්ඩුවේ වියදමින් ටික කලක් නිදහසේ කල් ගෙවීමටත් ඔහුට ඉඩ ලැබෙනවා ඇත.)

සේපාල් අමරසිංහගේ දේවාපහාස කතාව සම්බන්ධ කරගෙන එක පැත්තකින් ඉතාම සරල තවත් පැත්තකින් වඩාත්ම ශාස්ත්‍රීය අර්ථ නිරූපණය ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ. ඩී. ලාල්කාන්ත විසින් ස්වකීය සමාජ ජාල ගිණුමේ සටහන් කර තිබුණි. (දෙවියන්ට, ආගම් කර්තෘවරුන්ට සහ පූජනීය ස්ථානවලට වචනයෙන්, ක්‍රියාවෙන් හෝ රචනයෙන් කරන අපහාසවලට සම්බන්ධ නීතිය හඳුන්වනු ලබන්නේ BLASPHEMY LAW හෙවත් දේව අපහාස නීතිය යනුවෙනි.) ලාල්කාන්ත කියන පරිදි ඔහු උපන් සහ අදටත් ජීවත්වන අනුරාධපුරයේ සිද්ධස්ථාන සහ ඒවා වටා ඇති ආධ්‍යාත්මික විභවය මගින් ඔහුගේ සිත ආලෝලනය වී ඇත. අනුරාධපුරයේ තිබෙන ප්‍රධාන දාගැබ් සතර ඔහු විසින් හඳුන්වනු ලබන්නේ සතර මහා වෙහෙර වශයෙනි. බුදුන් වහන්සේ තෙවරක් ශ්‍රී ලංකාවට වැඩම කිරීම නිසා බෞද්ධ දර්ශනය අප වෙත ලැබුණු බවත්, මිහිඳු හිමියන් සහ දේවානම්පියතිස්ස රජතුමා අතර හටගත් සම්බන්ධය හේතුවෙන් බුදුදහම ජනතාව අතරට ගිය බවත් ලාල්කාන්ත සිය සමාජ ජාල ගිණුම ඔස්සේ පෙන්වා දෙයි. මෙය සම්පූර්ණයෙන්ම සාධනීය කතාවකි. අතීතයේ සිටි කොමියුනිස්ට්වාදීහු මෙවැනි කතාවලට මහත් සේ බිය වූහ. රටක ආගමක් ව්‍යාප්ත වන්නේ එම ආගමට රාජ්‍ය අනුග්‍රහයක් ලැබුණු විටය. එවැනි අනුග්‍රහයක් නැති නිසා චීනය තුළ සංවිධානාත්මක ආගම් ඇදහිල්ලක් නැත. උතුරු කොරියාවට හිමි ආගම සෙන් බුදුදහම වුවද, රාජ්‍ය අනුග්‍රහය නැති නිසා කිසිදු ආගමික ප්‍රබෝධයක් ඒ රටේ නැත. ලෙනින්ගේ කාලයේදී සෝවියට් සංගමය තුළ ආගම් ඇදහිල්ලක් තිබුණේ නැත. එහෙත් පුටින් සිටින මේ කාලයේදී රුසියාව තුළ කිතු දහම නැවතත් නැඟඑමින් පවතී. එයට හේතුව පුටින් ද කතෝලිකයෙක් වීමය. ලාල්කාන්තගේ සමාජජාල අර්ථ නිරූපණයෙහි සරල අදහස වන්නේ ආගම යන සාධකය එය ඇදහීමට පුරුදු වූ ජනතාවගේ ආධ්‍යාත්මය සමඟ බැඳී ඇති බැවින් එයට නිගා කිරීම නුසුදුසු බව ය. මේ රටේ සිටින දේශපාලනඥයන් වැඩි දෙනකුට වඩා තමනුත් තම පක්‍ෂයේ ක්‍රියාකාරිකයිනුත් ධාර්මික බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක පසුගියදා ප්‍රසිද්ධ දේශනයකදී පැවසීය. එක පැත්තකින් බලන විට මෙය ඇත්ත කතාවකි. අනුන්ට කරදරයක් නැතිව සාධනීය ලෙස ජීවත්වන්නා ස්ථීර වශයෙන් ම ධාර්මිකයෙකි. ජේවීපිය කිසිදු ආගමකට අපහාස නොකරන අතර ඒවාට එරෙහිව ක්‍රියාකිරීමෙන් වැළකී සිටී. අප මේ කතා කරන්නේ පැරණි ජවිපෙ ගැන නොව නූතන ජවිපෙ ගැන ය. අද අපට කතා කරන්නට සිදුවන්නේ පැරණි වම ගැන නොව අලුත් වම ගැන ය. පැරණි දක්‍ෂිණාංශිකයන් ගැන නොව අලුත් දක්‍ෂිණාංශිකයන් ගැනය. ශ්‍රී ලංකාව මේ වන විට ඉතාම දුෂ්කර ජීවිතයක් ගත කරන රටක් බවට පත්ව තිබේ. රටේ විදේශ ආදායම් හිඟවීම නිසා අපගේ ඉදිරිය කෙසේ වනු ඇද්දැයි මිනිස්සු මහත් කම්පනයෙන් සිටිති. එසේ කම්පනයෙන් සිටින මිනිස්සුන්ගේ සිත්වලට විෂබීජ හෙළා ආගම්වලට පහර දී එකිනෙකා කුලල්කා ගැනීමට සැලැස්වීමෙන් සියලුදෙනා වැළකිය යුතු බව අපගේ වැටහීම වේ. මේ අවස්ථාවේදී මේ රටේ සිටින කිසියම් නිකමෙකුට පොරක් වීමට අවශ්‍ය නම් එය කළ යුත්තේ රටෙන් පිටවී ගොස් වෙනත් රටකදී ය.

advertistmentadvertistment
advertistmentadvertistment