ඔබේ කේන්දරයේ රවි සිටින රාශිය අනුව ඔබට ශුභ ඵල ලැබෙන හැටි

4678

උපන් කේන්දරයේ අංක 1 සිට 12 දක්වා පවතින රාශි අනුව එනම් මේෂ, වෘෂභ, මිථුන, කටක, සිංහ, කන්‍යා, තුලා, වෘශ්චික, ධනු, මකර, කුම්භ, මීන යන රාශියක රවි ග්‍රහයා නොහොත් ‘ර’ යන්න ඇත. මෙන්න මේ රවි උදාහරණයක් ලෙස කන්‍යා ලග්න හිමියෙකුගේ 8 වැන්නේ සිටියි. එනම් කන්‍යාවෙන් 8 වැන්න මේෂ රාශියයි. මේ රවි මේෂයේ සිට නැවත මේෂ රාශියට පැමිණීමට අවුරුද්දක කාලයක් ගත වෙනවා. එමෙන්ම දෙවනුව බලන්න ඕනේ මෙම රවි ඔබේ කේන්දරයේ මොන අයුරින්ද සිටින්නේ කියා. රාශි 12 ට රවිගේ තත්ත්වය මෙසේය. මේෂයට රවි උච්චයි. වෘෂභයට රවි සතුරුයි, මිථුනයට රවි සමයි, කටකයට රවි මිත්‍රයි. සිංහයට රවි ස්වක්ක්‍ෂේත්‍රය මුල ත්‍රිකෝණයි, කන්‍යාවට රවි සමයි. තුලාවට රවි නීචයි, වෘශ්චිකයට රවි මිත්‍ර, ධනුවට රවි මිත්‍රයි. මකරයට රවි සතුරුයි, කුම්භයට රවි සතුරුයි, මීනයට රවි මිත්‍රයි. මේ අයුරින් බලන්න රවි ඔබට කෙසේ බලපාවිද කියා. මෙම රවි ඉන්න රාශියේ සිට ගෝචර ගමනින් නැවත රවි සිටින රාශියට පැමිණීමට අවුරුද්දක කාලයක් ගත වෙයි.මෙය ඔබ උපන් කේන්ද්‍රයේ රවි සිටින රාශියට පැමිණීමයි.

මෙම පැමිණීමේදී රවි සිටින තැන තවත් ග්‍රහයෙක් හෝ ග්‍රහයන් කීපදෙනෙක් ඉන්නටත් පුළුවනි. එමෙන්ම රවිගේ බල දුබලතාවය අනුව රවි දෙන ප්‍රතිඵල බලමු. රවි සුබව සිටීමෙන් ගෞරව නම්බුනාමද, උසස් වීම්ද, ගරු සැලකිලිද ශරීර සනීපයද, උසස් වීම්ද, පියාට ගරු නම්බුනාමද, ස්වාමියාට ඔබේ පළමු පිරිමි දරුවාට මේ අයට විශේෂ සැලකිලිද, ඥානය දියුණු වීමද, මුදල් අතින් වාසිදායක තත්ත්වයන්ද උදාකරයි. නමුත් රවි පාප දෘෂ්ඨ, පාප සංයෝග, රාශියට දුර්වලව හෝ දුර්වල දෘෂ්ටි ගතව හෝ සිටීනම් ඉහත කී කරුණු හීන කරයි. එනම් එම රාශියට අදාළ කරුණු හීන කරයි. ශරීර සනීපය දුර්වල කරයි, පියාට, තම ස්වාමියාට, දරුවාට, අශුභ ඵල ගෙන දෙන්නටත් හේතුවක් විය හැකි. (ඔවුන්ගේ කේන්දරයේ රවි බලවත්නම් අපල අඩුවෙයි.)

රවි පාප දෘෂ්ටි හෝ සංයෝගයක් මිශ්‍ර වූ විට සම ඵලගෙන දෙන්නටත් රවිට හැකියාව ඇත. මුලින්ම බලමු රවි ඔබේ කේන්දරයේ සිටින තැනට සඳුගේ ගෝචරය සිදු වුවොත් සඳු සහ රවි ශුභ සංයෝග සහිතව සිටියොත් මෙය ඉතාම ශුභදායක බවත් ඔබට මෙදින බොහෝ ලාභ ප්‍රයෝජන ලැබීමටත් හේතුවෙයි. විශේෂයෙන් පියාගෙන් සහ තම ස්වාමියාගෙන් ලාභ ලැබෙයි. නමුත් මෙම සංයෝගය අශුභව තිබුණොත් දුර්වල දෘෂ්ටි තිබුණොත් සිත් තැවුල්, යන යන තැන අසමගියත් මත භේදත් ඇති වෙයි. ස්වාමියාගේ හිරිහැරද ඇති වීමට පුළුවනි.

රවි සිටි තැනට කුජ ගෝචර ගමනින් පැමිණි විට පෙර සේමයි හැබැයි රවි සහ කුජ එකට එක්වූ විට තරමක් කරදර සහිත කාලයක් හදිසි අනතුරුවලින්ද තමන් විසින් නොදැන කර ගන්නා මෝඩකම්වලින්ද පරිස්සම් විය යුතුයි. විශේෂයෙන් හදිසි කෝපය නිසා ඇතිවන කරදරවලින්ද පරිස්සම් වන්න. කුජ ශුභ සංයෝගව රාශියේ බලවත්ව ගමන් කරන්නේ නම් ඇත්තෙන්ම ඔබට මෙය ශුභ ඵල දෙන යෝගයක් බවත් ඔබව යම් තරමකට ඔසවා තබන බවත් කිව යුතුයි. වෙළඳ ව්‍යාපාර කරන අයට ශුභදායකයි.

මීළඟට අපි බලමු රවි සිටි තැනට බුධගේ පැමිණීම. මෙහිදී බුධ බලවත් වූ විට අධ්‍යාපනය ලබන දරුවන්ගේ කුසලතාවයන් දකින්නට පුළුවනි. එමෙන්ම ඥානය වර්ධනය වෙයි. අලුත් අලුත් දේ සොයා යයි. අන් අයගෙන් සැලකුම් ද ප්‍රශංසාද ලබා ගන්නා කාලයකි.

නමුත් යම් හෙයකින් බුධ දුර්වල වූවේ නම් ඉහත කී ශුභ ඵල අනිත් පැත්ත ගසනු ලබයි. නීතියෙන් හෝ අහල පහළ අයගෙන් හෝ ඔබට කරදර සිදුවෙයි. ඒ වගේම තමයි ඔබේ වටිනා කියන දේ නැති වෙන්නට පුළුවනි. අධ්‍යාපනය ලබන දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට පාඩුද, බාධකද, ප්‍රමාද වීම්ද යෙදේ. මේ කාලයේ ආදරය, විවාහය එක පාරට තීන්දු තීරණ ගෙන නොකළ යුතු කාලයකි. යම් යම් ආකාරයේ ඔබට සුදුසු නැති කතාද බුධ දුර්වල වූ විට අසන්නට ලැබේ.

මීළඟට බලමු රවි සිටි තැනට ගුරුගේ පැමිණීම. මෙහිදී ගුරු බලවත් නම් බොහෝ බලාපොරොත්තු තියාගෙන හොඳ සාර්ථක ගමනක් යාමට අවශ්‍ය පරිසරය සකස් වෙනවා. තමාගේ ප්‍රදේශයෙන් නැතිනම් වෙනත් ක්‍රමවලින් ගරු නම්බුනාම ලැබෙන කාලයක්. මිල මුදල්ද වෙනදට වැඩියෙන් අතේ ගැවසෙන කාලයක්. එම නිසා අලුත් ව්‍යාපාර ආරම්භ කිරීමටත්, විදේශ ගත වීමටත් මේ කාලය ඉතාම ශුභදායකයි. මෙතෙක් නීතිමය ප්‍රශ්න තිබුණේ නම් එයින් නිදහස් වීමට කටයුතු සැලසේ. අලුතින් නිවාස කටයුතු ආරම්භ කිරීමටත්, ඉඩකඩම් මිලදී ගැනීමටත් මේ කාලය ශුභදායකයි. ශරීර සනීපයද ශුභයි. ආදර සම්බන්ධතා ස්ථිර වෙයි. විවාහ වීමට අපේක්‍ෂාවෙන් සිටින අයගේ විවාහ බන්ධන ඉෂ්ඨ වෙන කාලයකි. දරවන් බලාපොරොත්තුවෙන් සිටින අයට වාසනාවන්ත පුත්තු ලැබෙන ප්‍රීතිමත් කාලයක් බව සඳහන් කළ යුතුයි.

රවි සිටින තැනට පැමිණි ගුරු පාප සංයෝගවලින් හෝ රාශියට සතුරු බවක් ගෙනදී හෝ දුර්වල දෘෂ්ටිවලින් පීඩාවී සිටී නම් ඉහත කී ශුභ ඵල ගුරුගෙන් බලාපොරොත්තු විය නොහැක. ගුරු දුර්වල වූ විට විශේෂයෙන්ම සමාජයෙන් සමාජ සේවා වැඩවලින් ඈත්වී සිටිය යුතු කාලයකි. කිසි විටකත් ණයට ගැනීම හෝ දීම මේ කාලයේ සිදුනොකළ යුතු කාර්යයකි. එමෙන්ම තමා සමග ආශ්‍රය කරන අය ගැන. තමා වටා සිටින අය ගැනත් කල්පනාකාරී විය යුතුයි. පුළුවන් තරම් තමාගේ රැකියාව මේ මාසය තුළ ආරක්‍ෂා කර ගැනීමට උනන්දු වන්න. විශේෂයෙන් මේ කාලයේ රජයෙන් සහ රජයේ නිලධාරීන්ගෙන් ප්‍රවේශම් විය යුතු කාලයකි.

මීළඟට රවි සිටි තැනට සිකුරුගේ පැමිණීම. මෙතනදී සිකුරු බලවත් නම් ආදර සම්බන්ධතාවයට තරුණ දරුවන් යොමුවෙයි. වැඩිහිටියන් කම් සැප ලාභද සොයන කාලයකි. විවාහ වූ තරුණ අයට ඔබ දරුවෙක් අපේක්‍ෂාවෙන් සිටීනම් ඒ සිහිනයත් සැබෑ වෙන ලකුණු පෙන්වන කාලයකි. සිත් සැනසීමට කරුණු කාරණා ඇතිවෙයි. හොඳ ප්‍රිය මනාප ලෙස ජීවත් වන්නට අවශ්‍ය දේ මෙන්ම වටා පිටාවත් සැකසෙන කාලයකි. මෙම සිකුරුම පාප සංයෝගව, පාප දෘෂ්ටියට ලක්ව, සිටීනම් ගෙදර පරිසරයට ඔබට ශුභ ඵල ගෙන නොදේ. එමෙන්ම සිතින් මනසින් දුක් විඳින බවක් පෙනේ. තවද ආදර සම්බන්ධතාවය බිඳ වැටෙයි. බොහෝදුරට දුරදිග නොබලා කරන කටයුතුවලදී ඔබ අසාර්ථකයි. මේ කාලයේ සුළුවෙන් හෝ නින්දා අපහාස විඳින්නට සිදුවෙයි. ඒ නිසා පුළුවන් තරම් තමාගේ චරිතය ආරෂා කරගෙන ජීවත් විය යුතු කාලයකි. පියා ගැනත් සැලකිලිමත් වන්න. ස්වාමියා ගැනත් සැලකිලිමත් විය යුතු කාලයකි. දරුවන්ගේ අකීකරු කම්ද මතුවෙයි. පරිස්සම් වන්න.

රවි සිටි තැනට ශනිගේ පැමිණීම. මෙතනදී රවි සහ ශනි අතර ඇතිවෙන සංයෝගය ශුභ නම් ලැබෙන ග්‍රහ දෘෂ්ටි ශුභ නම් ඔබට මේ කාලයේ මහළු අයගෙන් උදව් උපකාර ලබාගත හැකි කාලයකි. ඒ වගේම සමහර අය ඔබේ සේවයට වටිනාකමක් ගෙන දෙන කාලයකි. මේ කාලයේ දෙවිධියකින් ලාභ ප්‍රයෝජන ලබාගත හැකි අතර ඉවසීමෙන් බොහෝදුර ගමනක් යාමට අවස්ථාව උදාකර ගැනීමටද හැකියාව ලැබෙයි. සමහර විට මේ කාලයේ අන්තිම කැමති පත්‍රය ලිවීමටද පුළුවනි. පුළුවන් තරම් පිං දහම් කිරීමෙන් බොහෝ ඵල ලබාගත හැක. පුන්‍ය භූමිවලට යාමටත් එයින් පිහිටක් ලබා ගැනීමටත් අවස්ථාව උදාවෙයි. පෙර පිං මතුකර ගැනීමටත් හොඳම අවස්ථාවකි. වාසනාවන්ත කාලයකි.

රවි සිටි තැනට පැමිණි ශනි දුර්වලනම් ඉහත කී කරුණු එසේ සිදුනොවන අතර නිතරම සිත් තැවුල් ඇතිවෙන කාලයකි. තමා ඉන්නා තැන හෝ තමා සේවය කරන තැන ගැටලු ඇතිවෙයි. දිගින් දිගට යන ප්‍රශ්න පැන නඟියි. නින්දාවක් නැතිනම් තමාගේ වැඩක් නිසා බැනුම් අහන්නට කරුණු ඇතිවෙයි. විශේෂයෙන් ස්ත්‍රීන්ගෙන් ප්‍රවේශම් විය යුතු කාලයකි. පියාට හෝ ස්වාමිපුරුෂයාටද අපල සහගත කාලයකි. ඔබ මිලදී ගන්නා දේ කිසිම වටිනාකමක් හෝ රැවටිල්ලක් සිදුවී ඇති බවක් හැඟේ. කෙසේ හෝ කරදර සහිත කාලයක් නිසා ප්‍රවේශමෙන් වැඩ කටයුතුවල යෙදෙන්න.

රවි සිටි තැනට රාහුගේ පැමිණීම. ශුභ දෘෂ්ටි ගතව ශුභ සංයෝග සිටීනම් උස් අයගෙන්ද වැඩිහිටියන්ගෙන්ද උදව් උපකාර ලැබේ. රැකී රක්‍ෂා කටයුතු ඇතිවෙයි. තිබෙන අයට එම ස්ථානය ශුභ වෙයි. පරිසරය වෙනස් වෙයි. ඔබ ඉගෙන ගන්නා දරුවෙක් නම් ඔබේ අධ්‍යාපන කටයුතු සාර්ථක වෙයි. ඒ වගේ පුළුවන් තරම් තමාගේ කටයුතු සාර්ථක කර ගැනීමට උනන්දු වන්න. විදේශ ගමන් බිමන් මෙන්ම විවාහ කටයුතුවලටත් මේ කාලය ශුභදායකයි.

මෙම රාහු දුර්වලව සිටින විට ඉහත කී කරුණු කාරණාවල වෙනසක් ඇතිවෙයි. එම නිසා ඒ කාලයේ තමන්ගේ රැකියාවන් පරිස්සම් කර ගැනීමටත්, ඕනෑවට වඩා මිනිසුන් විශ්වාස නොකිරීමටත්, සතුරන්ගෙන් ප්‍රවේශම් වීමටත් වග බලා ගත යුතු මාසයකි. තම ශක්තිය, බලය බිඳ වැටෙන කාලයකි. තැන් තැන්වල ඇවිද්දවයි. නින්දාවන් ඇතිවෙයි. බොරු චෝදනාවන් ඇතිවෙයි. කෙසේ හෝ පරිස්සම් විය යුතු කාලයකි.

රවි සිටි තැනට කේතුගේ පැමිණීම ශුභ සංයෝග ශුභ දෘෂ්ටි ඇත්නම් කරදරයක් නැත. ගෙවල් ඉඩම් පිළිබඳව සිතන්නට කාලයයි. අලුතින් නිවාස ගොඩ නැඟීමටත්, ඉඩම් මිලදී ගැනීමටත් හොඳම කාලයයි. ඉගෙන ගන්නා දරුවන්ගේ ඥානය පහළ වෙයි. ප්‍රසිද්ධියට පත්වෙයි. උසස් අයගෙන් ගරු නම්බුනාම ලැබෙන කාලයකි. හදි හූනියම්වලින් නිදහස් වෙයි. නැතිනම් හදි හූනියම් ඔබට වදින්නේ නැති කාලයකි. බොහෝ දෝෂ දුරුවෙයි. නමුත් මෙය දුර්වල නම් ඔබට ඇත්තෙන්ම තැනින් තැන ඇවිදින්නට සිදුවෙයි. තම තත්ත්වය පහළ වැටෙයි. පහත් අයගේ ආශ්‍රය ඇතිවෙයි. අසනීප වැළඳෙයි. දඬුවම් පවා ලැබෙන කාලයකි. පරිස්සම් ජීවත් විය යුතු කාලයකි.

ඔබේ කේන්දරයේ රවි සිටින රාශිය අනුව ඔබට ශුභ ඵල ලැබෙන හැටි

නාඩි ජ්‍යොතිෂවේදී
ඉටුමිණ මංගල ආයතනයේ අධිපතිනි
ඉවෝන් දිසානායක
0715723434 – 0777901702

advertistmentadvertistment
advertistmentadvertistment