ඔව්… අපේ රටටත් භූමිකම්පාවක්?

226

භූකම්පන පිළිබඳ දිනෙන් දින අසන්නට ලැබෙන තොරතුරු සමග රටේ කොතැනක වුව ද ජීවත්වීමේ භයංකර බව මතු වෙමින් තිබෙන්නේය. ඒ ගැන වඩාත් සැලකිලිමත් වන්නට සිදුවේ යැයි සිතීමට පෙළඹවූ ප්‍රධානම කාරණය වූයේ ශ්‍රී ලංකාවේ කොළඹ සිට රට අභ්‍යන්තරයට පොළව යටින් දිව යන අසාමාන්‍ය ලක්ෂණ සහිත රේඛාවක් ගැන භූ විද්‍යාඥයකු වන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ ගර්භ විද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු මහාචාර්ය අතුල සේනාරත්න මහතා කියා සිටීම හරහා ය.

ඔහු කියා සිටින පරිදි ලංකාවේ භූමි කම්පා ඇති වීමේ යම් ප්‍රවණතාවක් ඇතිවී තිබෙන්නේය. බැලූ බැල්මට පෙනී යන්නේ ජනාකීර්ණ කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලට කිසියම් බලපෑමක් ඇති කරන්නට තරම් හේතු වන පැලුම් රේඛා පොළොව අභ්‍යන්තරයේ තිබෙන බවක් යැයිද මහාචාර්යවරයා කියන්නේ ය. මේ තත්ත්වයන් ඇත්තේ බස්නාහිර පළාතේ වෙරළ තීරයට ආසන්න පොළව අභ්‍යන්තරයේ යැයිද ඔහු කියන්නේය.

කොළඹ හා ආසන්න ප්‍රදේශයන් ඇතුළු මෙතෙක් භූ කම්පන මාන සවිකර නැති ස්ථානයන්හි ඉක්මනින් භූ කම්පන මාන සවි කළ යුතු යැයිද ඔහු කියන්නේය. මෙම කම්පන මාන සවි කිරීම පමණක් නොව මෙරට සිදු වූ භූ කම්පන ගැන දත්ත රැස් කිරීම ද පොළව අභ්‍යන්තරයේ පැලුම් රේඛා සම්බන්ධයෙන් දත්ත රැස් කිරීම ද ආරම්භ කළ යුතු බව ද හෙතෙම කියා සිටී. මේ කතාවත් සමග ජනතාව තුළ තරමක චකිතයක් ඇති වන බව නිසැකය.

රට මැද භූ කම්පන පිළිබඳ අත්දැකීම් ලැබූ ජනතාවට දැණුනු භයංකර බවට එහා ගිය ස්වභාවික විපත් සම්බන්ධයෙන් අවදානමක් පිළිබඳ චකිතයක් දැන් බස්නාහිර පළාතේ ජනතාවට දැනෙනු ඇති.

වසර විස්සක තිහක කාලයක් පුරා ශ්‍රී ලංකාවේ භූකම්පන සිදුවීම් පිළිබඳ සිතියම්ගත කර තිබෙන සිතියම් අධීක්ෂණය කිරීමෙන් භූ කම්පන ඇති වන ස්ථාන පිළිබඳ දළ සටහනට පොළොවේ ඇති වී තිබෙන රේඛා පිළිබඳව සනාථ කළ හැකි තත්ත්වයන් දැකිය හැකි ය. ලංකාව තුළ කලාප වශයෙන් ගත් විට බුත්තල, මොණරාගල, වැල්ලවාය, රජගල, අම්පාර, මිනිපේ වැනි ප්‍රදේශවල භූමි කම්පා එසේත් නැත්නම් සුළු භූ කම්පන ඇති වී ඇති බවට සාක්ෂි තිබේ.

මෙම තත්ත්වයක් ඇතිවී තිබෙන කාලය සම්බන්ධයෙන් අධීක්ෂණය කළ විට භූ කම්පන තත්ත්වයන් වසර නවයෙන් නවයට සිදුව ඇති බවට ද සාක්ෂි තිබේ. මෑතකාලීනව සෑම වසරකම පාහේ සුළු කම්පනයක් හෝ ඇතිව තිබේ. දෙසැම්බර් ජනවාරි පෙබරවාරි මාර්තු වැනි කාලවල සුළු කම්පන ඇති වීමේ ප්‍රවණතාවයක් ද දක්නට ලැබෙන බව ද සිතියම් නිරීක්ෂණය කිරීමෙන් දක්නා ලැබෙන්නේ ය.

තවදුරටත් මේ සම්බන්ධයෙන් මහාචාර්යවරයාගේ නිරීක්ෂණ මත පැහැදිලි කිරීමක් සිදු කළහොත් ලංකාවේ මේ තාක් පැලුම් ඇතිවී තිබෙන ස්ථාන පිළිබඳ විශ්ලේෂණයක් සිදු කළ හැකිය. ඒ අනුව ලංකාවේ පැලීම් ඇති වූ ස්ථාන කොටස් තුනකට වර්ග කළ හැකිය.

මෙම තත්ත්වය භූ ගර්භය පිහිටා ඇති ආකාරය අනුව විද්‍යාත්මකව කොටස් තුනකට බෙදා දැක්වීමක් හරහා පෙන්වාදිය හැකි ය.

පළමු කොටස මධ්‍යම කඳුකර ශේනියය. දෙවැනි කොටස විජයානු සංකීර්ණය හෙවත් නැගෙනහිර ත්‍රිකුණාමලයේ සිට උස්සංගොඩ දක්වා වූ කොටසය.

තුන්වැනි කොටස මධ්‍යම කඳුකරයෙන් බටහිර ශේණියය. එය පාෂාණ වර්ගීකරණයකට ලක් වූ කොටසක් ලෙස ද නම් කර ඇත.

භූ විද්‍යාත්මකව ලංකාවේ ක්‍රියාකාරී භූ තල මායිම ලෙස දැක්වෙන්නේ පළමු හා දෙවෙනි කොටස් අතර පිහිටා ඇති ප්‍රදේශයය.

භූ විද්‍යාත්මකව ලංකාවේ සියලුම උණු වතුර ළිං පිහිටා තිබෙන්නේ ද ඩොලමයිට් ඩයික් ලෙස හඳුන්වන පාෂාණ වර්ග ද පිහිටා තිබෙන්නේද මේ මායිම් ඔස්සේ බවට පැහැදිලි සාක්ෂි තිබේ. විශාල වශයෙන් ඛනිජ නිධි වන සේරුවාවිල තඹ රත්තරන් නිධිය, පුළුල් පරාසයක් පුරා පැතිර ගිය හුනුගල් නිධිය, බලංගොඩ රත්‍රං බහුල පාෂාණ නිදි, බුත්තල යකඩ නිධිය, සිලිකා නිධිය ආදී සියල්ලම පාහේ පිහිටා තිබෙන්නේ ද මෙම මායිමේය.

භූ ගර්භ විද්‍යා මහාචාර්ය අතුල සේනාරත්න මහතා සඳහන් කරන පරිදි 1966දී සිදු කරන ලද පරීක්ෂණයක් මගින් ශ්‍රී ලංකාවේ කොළඹ සිට රට අභ්‍යන්තරයට පොළව යට දිව යන අසාමාන්‍ය ලක්ෂණ සහිත රේඛාවක් හඳුනාගෙන තිබේ. ඒ කුමක් දැයි යන්න චන්ද්‍රිකා මගින් හඳුනාගෙන නොතිබූ බවත් එවැනි කරුණු පිළිබඳවද අධ්‍යයනය කළ යුතු බවත් ඔහු අවධාරණය කරන්නේ ය.

කොළඹ බටහිර දෙසට වන්නට ඉදිරියේදීත් භූ කම්පන සිදුවිය හැකි බවට අනුමානයන් කළ හැකි බව හෙතෙම කියන්නේය. අධික ජන ඝනත්වයක් පවතින කොළඹ ආශ්‍රිතව ප්‍රබල භූ කම්පනයක් ඇති වුවහොත් ඉන් සිදුවන හානිය අති විශාල විය හැකි බව නොරහසකි.

මේ නිසා ඒ සම්බන්ධව විශේෂ අවධානයෙන් පසුවීම අතිශයින් වැදගත් බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

කොළඹ බටහිර දෙසට වන්නට ඇති ගැඹුරු මුහුදු පතුලේ විශාල පැලීම් දක්නට ලැබෙන බව කී මහාචාර්යවරයා ඒවා හා බස්නාහිර පළාතට බලපාන භූ කම්පන අතර සම්බන්ධතාවක් තිබේද යන්න පිළිබඳව විධිමත් විමර්ශනයක් සිදුකළ යුතුව තිබේ. මේ මත පිහිටා අවධානය යොමු කළ විට පසුගියදා බේරුවල ප්‍රදේශයේ ඇති වූ භූ කම්පනය පිළිබඳ සුළුවෙන් තැකිය නොහැකිය.

ඒ සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් සිදුකර භූ කම්පනවලට බලපාන ප්‍රධාන හේතුව කුමක් ද යන්න සොයා බැලීම කාලීන අවශ්‍යතාවකි.

කොළඹ ආශ්‍රිතව භූ කම්පන මාන සවිකර ඒ ඔස්සේ ලබා ගන්නා දත්ත විශ්ලේෂණය කරමින් භූ කම්පන සඳහා බලපාන ප්‍රධාන හේතු මොනවාද යන්න හඳුනා ගැනීමට හැකි පර්යේෂණයන් දැන් ආරම්භ කොට ඇති බව මහාචාර්යවරයා කියයි.

වර්ෂ 1615 සිට කොළඹ ආශ්‍රිත ප්‍රදේශවල භූ කම්පන වාර්තා වී ඇතත් ඒවාට හේතුව කුමක් ද යන්න මෙතෙක් හඳුනාගෙන නොමැත.

ඉන්දු ඔසට්‍රේලියා භූතලය තුළ ඇතිවන විභේදනය නිසා යම් යම් සුළු කම්පන තත්ත්වයන් මෙරටට දැනිය හැකි යි.

ශ්‍රී ලංකාවට ආසන්න මුහුදු තීරයේ ඉන්දු ඔසට්‍රේලියානු භූ තලය කලක පටන් වෙන් වෙමින් පවතී.

භූ තලයක් නිර්මාණය වන්නට වසර මිලියන බිලියන ගණනක් ගත වන අතර ඒ වනවිට ඇතිවන තත්ත්වයන් භූතලය අභ්‍යන්තරයේ විවිධ බලපෑම් සඳහා හේතුවිය හැකිය.

දශකයකට පමණ පෙර ඉන්දු ඔසට්‍රේලියා භූ තලය ලෙස හැඳින්වුවත් මේ වනවිට එය ඉන්දු භූතලය හා ඔසට්‍රේලියානු භූ තලය ලෙස භූ විද්‍යාඥයන් වෙන්කර හඳුන්වයි. ඊට හේතුව මෙම තලවල දැන් පැහැදිලිව වෙන් වූ ස්වරූපයක් දක්නට ලැබීම ය.

පොළොව අභ්‍යන්තරයේ නිරන්තරයෙන් භූකම්පන සිදු වුව ද ඒවා පිටතට දැනෙන තත්ත්වයකට සිදු වන්නේ කලාතුරකිනි. ශ්‍රී ලංකාවට මෑත භාගයේ අවසානයේ භූ කම්පනයක් ඇති වූයේ අක්‍රීයව තිබූ පැලුම් තලයක් සක්‍රීය වීමෙනි. මහාචාර්ය අතුල සේනාරත්න මහතා පැවසූ පරිදි ගැඹුරු විභේදනයක් සක්‍රීය වීම හරහා බුත්තල ප්‍රදේශයට භූකම්පන තත්ත්වයක් ඇතිවූයේ ය. මේ වන විට තත්ත්වය බස්නාහිර පළාත දක්වා දිවෙන අතර ඒ පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන්නට සිදුව ඇත්තේ වැඩි ජනගහනයක් සහ වැඩි ගොඩනැඟිලි සංඛ්‍යාවක් පිහිටන බවත් නිසාය.

සමන්ති වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment