කැළඹුණු කාලගුණය!

282

ඉහළ කොත්මලේ අධික වැස්සෙන්
වාන් දොරටු දෙකක් ස්වයංක්‍රීයව විවෘත වෙයි

ඉහළ කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට (05 දා) පස්වරුවේ සිට ඇද හැළෙන අධික වර්ෂාව හේතුවෙන් එම ජලාශයේ වාන් දොරටු දෙකක් (05දා) රාත්‍රියේ ස්වයංක්‍රීයව විවෘත වී (06 දා) අලුයම ඉන් එක් වාන් දොරටුවක් වැසී ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ආපදාකළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ රංජිත් අලහකෝන් මහතා පැවසීය.

එම ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් වැසි ලැබුණහොත් එම ජලාශයේ සෙසු වාන් දොරටු ස්වයංක්‍රීයව විවෘත වන නිසා ජලාශ වේල්ලට පහළින් කොත්මලා ඔය දෙපස පදිංචිකරුවන් සැලකිලිමත්ව සිටින ලෙස සහකාර අධ්‍යක්ෂවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියි.
ජායාරූප හා සටහන නුවරඑළිය නාලක රත්නායක

කැලණි ගඟ උතුරා ගොස් මල්වානත් යට වේ

කැළඹුණු කාලගුණය!

කැලණි ගඟ උතුරා පිටාර යෑමෙන් මල්වාන හා අවට ප්‍රදේශවල පහත් බිම් ඊයේ ( 06 වැනිදා ) උදේ වනවිට සම්පූර්ණයෙන්ම ජලයෙන් යට වී ඇත.

මල්වාන හා සම්බන්ධ සියලුම මාර්ග ද ජලයෙන් යට වී ඇති හෙයින් ගමනාගමනය ද අඩපණ වී තිබේ. මේ ප්‍රදේශවල පාසල් කීපයක්ම ජලයෙන් යට වී තිබෙන බැවින් පාසල් සිසුන් මෙන්ම ගුරුවරුන් ද මහත් අපහසුතාවයකට පත් වී ඇත. තව ද මල්වාන හා අවට කැලණි ගඟ අසලබඩ වෙසෙන නිවැසියන් මේ වනවිට ආරක්ෂිත ස්ථාන කරා පැමිණෙනමින් සිටිති.
දෙල්ගොඩ ඩබ්ලිව් ඩී විතාන හා බියගම සුදත් පුබුදු කීර්ති

යාපනයේ වැස්සට කුණුවලින් කාණු පිරෙයි

කැළඹුණු කාලගුණය!

යාපනයට ඇද හැළුණු ධාරානිපාත වර්ෂාවත් සමග ම නගරයේ කාණු අපද්‍රව්‍යවලින් පිරී දැඩි ජල ගැල්මකට 5 දා සවස ලක්ව තිබුණි.

යාපනය මහ නගර සභාවේ සේවකයින් පැමිණ කාණුවල සිර වී තිබූ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කළ අතර ඔවුන්ට කිලෝ 5000කට අධික වූ කසළ ඉවත් කිරීමේ කටයුතු මධ්‍යම රාත්‍රිය දක්වා සිදු කිරීමට සිදුවී තිබුණි. නගර සභා සේවකයින් කියා සිටියේ යාපනයේ කාණු පද්ධතියේ වැඩි වශයෙන්ම සිර වී තිබුණේ ප්ලස්ටික් බෝතල් හා පොලිතීන් බවයි.
දිනසේන රතුගමගේ

කෑගල්ලත් යටවෙයි

කැළඹුණු කාලගුණය!

කෑගල්ල ට මේ දිනවල පවතින අධික වර්ෂාව නිසා ඇකිරියගල කෑගල්ල මාර්ගය ජලයෙන්යට වී තිබෙන ආකාරයයි මේ.
කෑගල්ල එම්.බී.පහළවත්ත

මාවුස්සාකැලේ හා කාසල්රී ජලාශ පිටාර මට්ටමට
ආසන්නයි: දිය ඇලි සක්‍රීය වේ

කැළඹුණු කාලගුණය!

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට දින කිපයක් තිස්සේ අඛණ්ඩව ඇද හැළෙන අධික වර්ෂාව හේතුවෙන් ජාතික ජල විදුලිබල පද්ධතියට අයත් මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට ආසන්නව පවතී.

ජලාශ ජල මට්ටම ඉහළ යෑමත් සමග ලක්ෂපාන ජල විදුලිබලාගාර සංකීර්ණයට අයත් ලක්ෂපාන, නව ලක්ෂපාන, විමලසුරේන්ද්‍ර, පොල්පිටිය හා කැනියෝන් යන විදුලිබලාගාර 05 න් උපරිම විදුලිය නිෂ්පාදනයක් ලබා ගන්නා බව විදුලිබල මණ්ඩලය පවසයි.

අධික වර්ෂාවත් සමග ශ්‍රීපාද රක්ෂිතයේ පිහිටි දිය ඇලි හා ලක්ෂපාන දිය ඇල්ල සක්‍රීය වී ඇති අයුරු මේ දිනවල දක්නට ලැබේ.
සටහන හා ඡායාරූප මස්කෙළිය – ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක

කුකුලේ ගඟත් වාන් දොරටු අරියි

කැළඹුණු කාලගුණය!

කුකුලේගඟ ජලාශයේ වාන් දොරටු දෙකක් ඊයේ (06 දා) උදෑසන වනවිට විවෘත කර ජල ඝණ මීටර් 180ක් කුඩා ගඟට මුදාහැරීමට කටයුතු කර ඇතැයි කළුතර ආපදාකළමනාකරණ අධ්‍යක්ෂ කර්නල් ඒ. අමරසේකර මහතා ඊයේ පැවසීය.

පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් බුලත්සිංහල මෝල්කාව මාර්ගයේ පරගොඩ ප්‍රදේශයේ අඩි 9 ක් සහ දඹල ප්‍රදේශයේ අඩි 5ක් ඇතුළුව බදුරලිය සහ පාලින්ද නුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල මාර්ග කිහිපයක් ජලයෙන් යටවී ඇති බවද ඒ මහතා පැවසීය. මිල්ලකන්ද මඟුර ජලමාපකයේ ජලමට්ටම මීටර් 6.89ක් ද, කලවැල්ලාව මාපකයේ මීටර් 5.72ක්ද වශයෙන් ඉහළ ගොස් ඇති බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
ආර්.ඒ.එස්.ප්‍රේමතිලක බණ්ඩාරගම

නෝර්ටන් බ්‍රිජ් විවමලසුරේන්ද්‍ර පිටාර ගලයි

කැළඹුණු කාලගුණය!

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශයන්ට ඇද හැළෙන අධික වැසි හේතුවෙන් නොර්ටන් බි්‍රජ් විමලසුරේන්ද්‍ර ජලාශයේ ජලය 05වැනි දින සවස් කාලයේ සිට පිටාර ගැලීිම ආර්ම්භ වී ඇත.

මෙම ප්‍රදේශයන්ට ඇද හැළෙන අධික වැසි හේතුවෙන් අගෝස්තු මස 01 වැනි දින සිට මේ දක්වා හතර වන වරටත් විමසුරේන්ද්‍ර ජලාශය පිටාර ගැලීම 05 වැනි දින සවස ආරම්භවූ බව එම ජලාශ භාර නිලධාරියකු පැවසීය. විමලසුරේන්ද්‍ර ජලාශයේ ජලය මෙසේ පිටාර ගැලීමත් සමග කැලණි ගංගාවේ ජල මට්ටම ඉහළ යෑමේ අවදානමක් පවතින බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.
හැටන් මනුර සුදත් සෙල්ලහේවා

මධ්‍යම කඳුකරයටත් වැසි

කැළඹුණු කාලගුණය!

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට (05 දා) පස්වරුවේ සිට කඩින් කඩ ඇද හැළෙන අධික වර්ෂාව හේතුවෙන් ලක්ෂපාන සහ කැනියොන් ජලාශවල වාන් දොරටු (06 දා) අලුයම සිට විවෘත කර ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ආපදාකළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ රංජිත් අලහකොන් මහතා පැවසීය.

ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු තුනක්, කැනියොන් ජලාශයේ එක් වාන් දොරටුවක් අගල් තුන බැගින් විවෘත කර ඇති බව සහකාර අධ්‍යක්ෂවරයා කියා සිටියේය. කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශ ද පවතින වර්ෂාවත් සමග පිටාර මට්ටමට ආසන්න වී ඇති බවත්, එම ජලාශවල ජල මට්ටම ඉහළ යෑමත් සමග කැනියොන් , ලක්ෂපාන , නව ලක්ෂපාන , පොල්පිටිය සහ විමලසුරේන්ද්‍ර යන ජල විදුලි බලාගාරවල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවෙන් සිදු කරන බව එම ජල විදුලි බලාගාර ඉංජිනේරුවන් පැවසීය.
ජායාරූප හා සටහන නුවරඑළිය නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment