දිනකට අනවසර ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 1000-2000 ලංකා මුහුදේ

ලංකා මුහුදු සීමාවේ ඉන්දීය ධීවරයාට ට්‍රෝලින් ක්‍රමය තහනම් කරන්න

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළ මත්ස්‍ය සම්පත කොල්ලකන ඉන්දීය ධීවරයන්ගේ කතාව මේවනවිට යළි උත්සන්න වී ඇති බව පසුගිය කාලය තුළ සිදුවූ සිද්ධීන් තුළින් වාර්තා වේ. මෙරට මත්ස්‍ය සම්පත කොල්ලකන ඉන්දීය ධීවරයන් විසින් කොල්ලකනු ලබන්නේ මෙරට ධීවර ප්‍රජාවද ආර්ථික මට්ටමේ අඩියටම වැටී ඇති අවදියකය.”

උතුරු මුහුදේ අයිතිය ඉන්දියාවටද?

පසුගිය වසරේ මන්නාරම නගරයේදී ධීවරයන් විසින් දැවැන්ත විරෝධතාවක් පැවැත්වූයේ උතුරු මුහුද ඉන්දියාවට විකිණීමට එරෙහිවය. එනම් ලංකා මුහුදේ මසුන් මැරීමට ඉන්දීය ධීවරයන්ට බලපත්‍රයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් සැලසුම් කිරීමට රජය මගින් කටයුතු යොදා ඇති බව සැලවීමත් සමඟය. තවද පසුගිය කාලය තුළ මෙරට ධීවරයින් වීථි බැස පෙළපාලි යන්නට වූයේ මෙරට මුහුදේ ඉන්දීය ධීවරයින් සිදුකරන මත්ස්‍ය සම්පත කොල්ල කෑම නතර කර දෙන ලෙසටය. මෙරට මුහුදු සීමාව තුළ පවතින කච්චතිව් දූපත ඉන්දු ලංකා ධීවරයන්ගේ ධීවර නවාතැන්පොළක් වන අතර මෙම දූපත අතීතයේ සිටම භාවිත වන්නකි. ස්වභාවික සම්පත්වලින් හෙබි කච්චතිව් දූපත ආශ්‍රිතව මුහුදු ප්‍රදේශයේ ඉන්දීය ධීවරයින් හා ලංකා ධීවරයන් බහුල වශයෙන් ධීවර කර්මාන්තයේ යෙදෙන ස්ථානයක් බවටද ප්‍රචලිතය. මෙම දූපතෙහි පරම අයිතිය පිළිබඳ ගැටලුව මෙරට ඉතිහාසයට ඇදී යන්නකි. මෙරට අග්‍රාමාත්‍ය ලෙස කටයුතු කළ සිරිමාවෝ බණ්ඩාරනායක හා ඉන්දීය අග්‍රාමාත්‍ය ලෙස කටයුතු කළ ඉන්දිරා ගාන්ධි අතර 1974 ජුනි 26 වැනිදා අත්සන් කළ ගිවිසුමක් මගින් කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට හිමිවිය. එකල සිට මෙරට උතුරු ධීවර ජනතාව මෙම සිය නවාතැන් පළ ලෙසද තෝරාගෙන ඇත. මෙම දූපත ආශ්‍රිත මසුන් බෙහෙවින් ගැවසෙන බැවින් මෙම දූපත ආශ්‍රිත මුහුදු කලාපයද මත්ස්‍ය අස්වැන්න බෙහෙවින් නෙළාගන්නා ප්‍රදේශයකි. 1976 වසරේ ඉන්දු ලංකා නායකයින් තවත් ගිවිසුමක් මගින් කච්චතිව් දූපත ආශ්‍රිතව මසුන් ඇල්ලීමට ඉන්දීය ධීවරයන්ටද තහනම් කලාපයක් බවට පත්කර ඇත.

යළි හිස ඔසවන ඉන්දීය ධීවර ගැටලුව

මෙරට උතුරු ධීවර ජනතාව කියා සිටින්නේ ඉන්දීය ධීවරයන් මෙරට මුහුදු සීමාවට පැමිණ තහනම් පන්න ක්‍රම භාවිත කරමින් මෙරට මත්ස්‍ය සම්පත පැහැර ගන්නා බවයි. මෙම ගැටලුවට මුල්වී ඇත්තේ ඉන්දීය ධීවරයින් බහුදින යාත්‍රාවලින් පැමිණ ලයිට්කෝස් වැනි තහනම් ක්‍රම භාවිතයෙන් මසුන් මැරීම නිසා මෙරට මත්ස්‍ය සම්පත බහුල ලෙස විනාශ වීමයි. ඉන්දීය කල්ලතෝනි ධීවරයින් විසින් පෝක් සමුද්‍ර සන්ධිය ආශ්‍රිත මුහුදු සීමාව තුළ මත්ස්‍ය සම්පත බහුලව ගැවසෙන බැවින් එම මසුන් අල්ලා ගැනීමෙන් මෙරට ධීවරයන්ට විශාල ලෙස මත්ස්‍ය අස්වැන්න අඩුවී ඇති බව ධීවරයෝ චෝදනා කරති. මෙම ධීවරයින් කියා සිටින ආකාරයට සාමාන්‍ය දිනකදී බහුදින යාත්‍රාවකින් ලබාගත හැකිවූ ටොන් 4 ක් පමණ මත්ස්‍ය අස්වැන්න හරි අඩකටත් වඩා මේ හේතුවෙන් පහත වැටී බවකි. තවද තහනම් ආම්පන්න වන ලයිට්කෝස්, බොටම් ට්‍රෝලින් වැනි ආම්පන්න භාවිත කිරීම හේතුවෙන් කුඩා මසුන් විශාල ලෙස මියයෑමෙන් මත්ස්‍ය සම්පත අඩුවී ඇති බවද මෙරට ධීවරයින් නගන අනෙක් චෝදනා ය. මෙරට ආරක්‍ෂක අංශ මගින් ඉන්දීය කල්ලතෝනි ධීවරයින් කොතෙක් දැනුවත් කළද ඉන්දීය ධීවරයින්ගේ මෙම මත්ස්‍ය මංකොල්ලය මේ වනවිටද නැවතී නොමැත. මෙම ඉන්දීය ධීවරයින් මෙරට මුහුදු සීමා ආක්‍රමණය කරනු ලබන්නේද හිතාමය. බහුදින යාත්‍රා මගින් ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළුවන මෙම ඉන්දීය කල්ලතෝනි ධීවරයෝ ඔවුන්ගේ යාත්‍රා සතුව ජී.පී.එස්. උපාංග තිබුණද ඒ කිසිවක් නොතකා නොබලා මෙරට මත්ස්‍ය සම්පත කොල්ලකෑමේ පුරුද්ද තවමත් අත්හැර නැත. ඉන්දියාවේ රාමේෂ්වරම් සිට පෝක්සමුද්‍ර සන්ධිය හා කච්චතිව් මුහුදු කලාපය වෙත පැමිණෙන ඉන්දීය ධීවරයා බහුදින යාත්‍රා මගින් පැමිණ සාමාන්‍ය ධීවර බෝට්ටු භාවිතා කරන මෙරට උතුරු ධීවරයාගේ දැල් පවා කපා දමන බවටද මෙරට ධීවරයෝ පවසති. මෙසේ ඇතුළුවන ඉන්දීය ධීවරයින් වැඩිවැඩියෙන් ලයිට් කෝස් වැනි නීති විරෝධී ක්‍රම භාවිත කර එක් බහුදින යාත්‍රාවක් අවම වශයෙන් කිලෝ 4000 ත් 5000 ත් අතර ප්‍රමාණයක් මසුන් රැගෙන යන්නේද මෙරට ධීවරයාට කුමක් වූවත් තමන්ගේ මඩිය තද කරන්නා ආකාරය මේ කල්ලතෝනි ධීවරයින් හොඳහැටි දන්නා හෙයිනි.

ලංකා ධීවරයන්ගෙන් ඉන්දීය ධීවරයන්ට රතුඑළි

නීති විරෝධීව මෙරට මුහුදු සීමාවට ඇතුළුවන ඉන්දීය ධීවරයින්ට එරෙහි විරෝධතාවක් පසුගියදා ලංකා ධීවරයින් පිරිසක් පැවැත්විය. මෙම විරෝධතාවට උතුරු ධීවරයින් සියයකට වැඩි ප්‍රමාණයක් එහිදී සහභාගි විය. ඔවුන් ඉන්දීය මුහුදු සීමාවේ ජාත්‍යන්තර මුහුදු කලාපයට ඇතුළුවී කළු කොඩි ඔසවමින් ඉන්දීය ධීවරයින් ප්‍රකාශ කොට ඇත්තේ මින් ඉදිරියට උතුරේ මත්ස්‍ය සම්පත කොල්ල කෑමේ නිරත වුවහොත් මීට වඩා දැඩි ලෙස ක්‍රියාමාර්ග ඉන්දීය ධීවරයින්ට එරෙහිව ගන්නා බවකි. මෙම ඉන්දීය ධීවරයාගේ අනවසර මසුන් ඇල්ලීම නිසා යාපනය, මුලතිව් හා මන්නාරම දිස්ත්‍රික්කවල ධීවරයින් විශාල සංඛ්‍යාවක් පීඩාවටද පත්ව සිටිති. අදාළ දිස්ත්‍රික්කවල ධීවරයන් පසුගිය කාලය තුළම විරෝධතාවන් දක්වා රජයෙන් ඉල්ලා සිටින්නේද මෙම ඉන්දීය ධීවරයාගේ අනවසර මසුන් මැරීම නවතා දෙන ලෙසටය.

කච්චතිව් දේව මෙහෙයට නොආ ඉන්දීය ධීවරයින්

දෙපැත්තටම උත්තර නැති …ධීවරයාට මාළුත් නැති…ඉන්දු - ලංකා මාළු යුද්ධය…

ඉන්දු – ලංකා ධීවර ගැටුම උත්සන්න වීම හේතුවෙන් කච්චතිව් දූපතේ පිහිටි ශාන්ත අන්තෝනි දේවස්ථානයේ දේව මංගල්‍යය සඳහා තමන් සහභාගි නොවන බව ඉන්දීය ධීවරයින් පසුගියදා ප්‍රකාශ කොට ඇත. මෙයට හේතුව වන්නේ පසුගියදා ලංකා මුහුදු සීමාවේ මසුන් මරමින් සිටි ධීවරයින් පිරිසක් ලංකා නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගැනීමය. ඉන්දියානු ධීවරයින් හා ලංකා ධීවරයින් සහෝදරත්වයෙන් සමරනු ලබන එකම දේව මංගල්‍යය වසර සිය ගණනාවකට සිට පැවැත්වෙන අතර ඉන්දියා හා ශ්‍රී ලංකා බැතිමතුන් අටදහසක් පමණ දෙනා මෙම වාර්ෂික දේව මංගල්‍යයට සහභාගි වෙති. එහෙත් තමන්ගේ ධීවරයින් ලංකා අත්අඩංගුවට පත්වීම නිසා ඉන්දීය ධීවරයෝ පසුගියදා පැවැති මෙම දේවමංගල්‍යයද වර්ජන කරන්නට වූහ.

උතුරු මුහුදේ පවතින තත්ත්වය ගැන උතුරු ධීවර එකතුවේ ලේකම් මොහොමඩ් ආලම් මහතා දැක්වූයේද මෙවන් අදහසකි.

“ඉන්දීය ලංකා ධීවර ප්‍රශ්නය දැන් අවුරුදු තිහකටත් වැඩියි. අපි ඉල්ලන්නේ මුලින්ම ට්‍රෝලින් ක්‍රමය නවත්වන්න කියලයි. අපි කියන්නේ ලංකා සහ ඉන්දියා රජයන් එකට සම්බන්ධ වී මෙම දෙපැත්තේම සිටින ධීවර ප්‍රජාව සම්බන්ධයෙන් නිවරැදිව සීමා මායිම් වෙන් කරන ක්‍රමයක් හදන්න කියලා. ට්‍රෝලින් ක්‍රමය ලංකාවේ තහනම් පන්න ක්‍රමයක්. මෙයට නීතිමය වශයෙන් ක්‍රියාකරන්න ඕනෑ. එය අපේ ධීවර නීතියේ තියෙන එකක්. නමුත් ඉන්දියාවේ ඒක තවම තහනම් කරලා නෑ. ඒ නිසා ඒ අය මෙහෙට එනවා. මේ අය අපේ පළාතට ඇවිත් තහනම් ක්‍රම භාවිත කරමින් මසුන් මරන එක තමයි අපට තියෙන ප්‍රශ්නය. ඔවුන් අපේ රටේ මුහුදු සීමා සියල්ලම අල්ලගෙන මසුන් මැරීමේ නිරත වෙනවා.

ඔවුන් අපේ ගම්මාන ළඟටම රස්සාව කරන්න දැන් එනවා. මේවා නැති කරන්න කියල තමයි ධීවර ඇමැතිතුමාගෙන් අපි ඉල්ලුවේ. මෙය කරන්න බැරිවුණොත් ඇමැතිවරයා ඉල්ලා අස්වෙනවා කියලත් ඉතින් කතාවට කියනවා. සමහර විට අපේ රට ඉන්දියාවට වඩා කුඩා නිසා ලංකාව පහත් තත්ත්වයකට දමල ඔවුන් එසේ කටයුතු කරනවද කියලත් අපට හිතෙනවා. මේ වනවිට රාමේෂ්වරන් ධීවරයන් තුන්දෙනක් නාවික අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ නිසා ඔවුන් පසුගියදා පැවැති කච්චතිව් දේව මංගල්‍යයටද නොපැමිණෙන ලෙස දැන්වූවා.”

නීතියට කොටුවන ඉන්දීය ධීවරයෝ

මොහොමඩ් මහතා ඉන්දීය ආක්‍රමණික ධීවරයා ගැන තවත් බොහෝ දෑ හෙළිකරන්නට මැලි නොවීය. මෙරට මුහුදු සීමාවට නීති විරෝධීව ඇතුළු වන ඉන්දීය ධීවරයා මෙරටට අහිමි කරන මත්ස්‍ය සම්පත ගැනද හේ දීර්ඝ විස්තරයක් කරන්නට විය.

“දැනට මාසයකට පමණ ඉහතදී ඉන්දීය බෝට්ටු දෙකක් අත්අඩංගුවට ගන්න මෙරට නාවික හමුදාව සමත් වුණා. මේ බෝට්ටු දෙකේම තිබුණ මාළුවල වටිනාකම කෝටියකට අධිකයි. මේ බෝට්ටු දෙකම එකම ඉන්දීය ධීවරයෙක්ගේ. අපි අහන්නේ බෝට්ටු දෙකකට එච්චර මාළු අරගෙන යනව නම් දැන් අවුරුදු 25 කට අධික කාලයක සිට ඔවුන් මේ රස්සාව කරගෙන යනවා. ඔවුන් සතියකට තුන් පාරක් අපේ සීමාවට ඇවිත් මසුන් අල්ලාගෙන යනවා. එතකොට මාසයකට දොළොස් වතාවක් මේ අය එනවා. ගණන් හැදුවොත් අවුරුද්දකට කීයද? දැන් ගතවූ අවුරුදු 25 ට ගණනය කළහොත් මෙරටට අහිමි වූ මත්ස්‍ය සම්පත හිතාගන්නත් අමාරුයි. සමහරවිට ඒ අගය බිලියන ගණනක් වෙන්න ඇති. මෙතුවක් කාලයක් නාරා ආයතනය ඇවිත් බලලා නිවැරදි තීරණයක් අරන් නැහැ. දවසකට ඉන්දීය ධීවරයින් 1000 සිට 2000 දක්වා බෝට්ටු ප්‍රමාණයක් ලංකාවේ මුහුදු සීමාවට ඇතුල් වී මසුන් මරනවා. ලොකු මාළු අරගෙන යන ඔවුන් බොහෝමයක් කුඩා මසුන් අපතේ දැමීම තමයි සිදුකරන්නේ. මේ නිසා මේ අයගෙන් අපේ මත්ස්‍ය සම්පතට එල්ලවෙන්නේ දැඩි බලපෑමක්. ආණ්ඩුවෙන් මේ ගැන තවමත් හොයලා නැහැ. අපට ඉන්දියාව කොතරම් උදව් කළත් ඔවුන්ගේ ධීවරයින් ඇවිත් අපේ මසුන් අල්ලාගෙන යෑම නිසා පාඩුව සිදුවෙන්නෙ අපිට. අපේ රටේ මුහුදු සතු සියලුම සම්පත් ටික ඒ අය අරගන්නවා. ලංකාවේ බලධාරීන්ට ඒ ගැන උනන්දුවක් නෑ.”

ලංකා ධීවර සංගම් පවසන ආකාරයට මෙම ගැටලුව විසඳීමට ඔවුන් ඉදිරිපත්වූයේද අදක ඊයේක නොවේ. දීර්ඝ කාලයක සිට මෙරට ධීවරයා වීථි බැස පෙළපාලි යන්නට වූයේ මෙම ගැටලුවට විසඳුම් සෙවීමටය. මොහොමඩ් මහතා පවසන්නේ අවුරුදු 25 ක් තිස්සේ ඔවුන් දැවෙන මෙම ගැටලුවට තිරසර විසඳුමක් සෙවීමට ඉන්දීය අග්‍රාමාත්‍යවරයාටද ලිපියක් ඉදිරිපත් කර ඇති බවකි. පවතින තත්ත්වය ගැන ඔහු යළි හඬ අවදි කරන්නට විය.

“ඉන්දීය ධීවරයෝ මසුන් ඇල්ලීමට නව තාක්‍ෂණය පාවිච්චි කරනවා. ලොකු බෝට්ටු, තහනම් දැල් තමයි මේ අය පාවිච්චි කරන්නේ. අප ඉල්ලන්නේ ඔවුන්ගේ ට්‍රෝලින් ක්‍රමය මගින් මසුන් මැරීම තහනම් කරන්න කියලා. අපි කියන්නේ මේ කරන තහනම් මසුන් මැරීමේ ක්‍රම නවත්වලා සුහදව සාකච්ඡා මාර්ගයකට එන්න කියලයි. මෙතුවක් කාලයක් බලධාරීන් අවුරුදු දෙක තුන ඉල්ලුවේ මේ ප්‍රශ්නයට විසඳුම් ලබා දෙනවා කියලා. නමුත් තාමත් මේකට විසඳුමක් නෑ. මේ ප්‍රශ්නෙට දැන් අවුරුදු 25-30 ක් ගතවෙනවා. පසුගියදා අපේ ධීවර සමිතිය මගින් පෙළපාලියක් දියත් කළා. එහිදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයාටද මෙම ගැටලු සම්බන්ධයෙන් ලිපියක් භාරදීමට කටයුතු කළා. යාපනය ආණ්ඩුකාරවරයා වෙත ගොස් ජනාධිපතිතුමාටද ලිපියක් ලබාදුන්නා. අනෙක් ප්‍රශ්නය තමයි අපේ ධීවරයන්ට මුහුදු යන්න ධීවර සම්පත් ඉතා අඩුයි. අපේ ධීවරයින් මාස ගණන් මුහුදු යන්නේ නැහැ. ලොකු බෝට්ටු උතුරේ ධීවරයින්ට නැහැ. අපි භූමිතෙල් පාවිච්චි කර පොඩි බෝට්ටු මගින් තමයි රැකියාව කරන්නේ. භූමිතෙල් මිල අධික නිසා දැන් ධීවරයාට ඒකත් පාඩුවක්. සමහර දිනවල තෙල් ගාණවත් මෙම ධීවරයන්ට ලැබෙන්නේ නැහැ.”

උතුරේ පවතින ධීවර ගැටලුව සම්බන්ධයෙන් මොහොමඩ් මහතා කියා සිටි විස්තරය ඇසූ අපට ලංකාවේ ධීවර ප්‍රජාව වැටී ඇති තැන ගැන බොහෝ පැහැදිලි වන්නේය. ලංකාවේ ධීවරයාට අත්වී ඇති ඉරණම ගැන මෙරට ධීවර අමාත්‍යවරයාද, රටේ වගකිවයුතු බලධාරීන්ද තවමත් නිරුත්තර වී ඇති බවද පෙනී යන කාරණාය. මෙරට ධීවරයාට මත්ස්‍ය සම්පත නෙළාගැනීමට අවශ්‍ය ඉන්ධන ටිකද මේ වනවිට සපයා ගත නොහැකිව තම රැකියාව කරගත නොහැකිව මුහුද දෙස බලා සුසුම් හෙළන ධීවරයෝ අපේ රටේද අනන්තවත් සිටිති. තවද ඔවුන්ගේ ඕනෑ එපාකම් සොයා බලන්නට මෙරට ධීවර අමාත්‍යාංශයක් ඇතත් රටේ ධීවරයාගේ ප්‍රශ්නවලට හැමදාමත් කුඩම්මාගේ සැලකිලි දක්වන රටක උතුරු ධීවරයාගේ ද දැවෙන ප්‍රශ්නයට පිළිතුරු කවදාක හෝ ලැබේදැයි සිතීමද හිතලුවකි.

රමින්ද මාවතගේ

advertistmentadvertistment
advertistmentadvertistment