කිරිබත්ගොඩ වෙසක් කූඩු තරගාවලියේ තෑගි මුදල් නුදුන්නැයි වෙළෙඳ සංගමයේ ලේකම්ට හා සභාපතිට නොතීසි

91

ඉකුත් වෙසක් සමයේ කිරිබත්ගොඩ පොදු වෙළෙඳ සංකීර්ණ භුමියේ කැලණිය ප්‍රාදේශීය සභාව හා කිරිබත්ගොඩ එක්සත් වෙළෙඳ සංගමය මගින් පවත්වන ලද වෙසක් කුඩු තරගයේ තෑගි මුදල් නිසි ආකාරව ලබා නොදීම ගැන කිරිබත්ගොඩ පොලිසිය විසින් පෙරේදා (29 වැනිදා) මහර මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව එම කරුණු සලකා බැලූ මහර අංක 01 අධිකරණයේ මහෙස්ත්‍රාත් සමන් දිමුතු කුමාර පරණ ලියනගේ මහතා විසින් එම වෙළෙඳ සංගමයේ සභාපති හා ලේකම්වරයාට ලබන ඔක්තෝබර් මස 03 වන දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නොතීසි නිකුත් කරන ලදී.

මේ වෙසක් කුඩු තරගයේ පළමු ස්ථානය සඳහා සහතික පත් සමග රුපියල් ලක්ෂ 02 ක් ද දෙවන ස්ථානය සඳහා රුපියල් 1,50,000 ක්ද තෙවැනි ස්ථානය සඳහා රුපියල් ලක්ෂයක් ද එතැන සිට 10වන ස්ථානය දක්වා රුපියල් 50,000ක් බැගින් ද ගෙවන බවට දන්වා සිටි නමුත් තරග සංවිධායකයන් තරග අවසානයේ ප්‍රදානය කර තිබුණේ ඊට වඩා අඩු මුදලක් බව සඳහන් වේ.

ඒ අනුව පළමු, දෙවන හා තෙවන ස්ථාන සඳහා ලබාදී තිබුනේ දන්වා තිබූ මුදලට වඩා රුපියල් 50,000 බැගින් අඩුකර බවට හා සැනසිලි තෑගි ලෙස ලබාදෙන බව ප්‍රකාශ කළ රුපියල් 50,000 මුදලින්ද දී තිබුනේ 4, 5, 6 හා 7 ස්ථාන සඳහා රුපියල් 25,000ක මුදලක් ද 8, 9 හා 10 ස්ථාන සඳහා රුපියල් 10,000ක මුදලක් බවද වාර්තා කර තිබිණි.

මෙසේ ලබා දිය යුතු නිසි තෑගි මුදල් ලබා නොදෙමින් රුපියල් 3,70,000ක මුදලක් සම්බන්ධව සාපරාධී විශ්වාසය කඩ කිරීම යටතේ චෝදනා කරමින් කිරිබත්ගොඩ පොලිසිය විසින් මහර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත බී වාර්තාවක් මගින් කරුණු වාර්තා කෙරිණි.

මෙහිදී අගතියට පත් වෙසක් කුඩු නිර්මාණ ශිල්පීන් වෙනුවෙන් නීතීඥ සුදර්ශන වික්‍රමරත්න මහතා පෙනී සිටි අතර කිරිබත්ගොඩ පොලිසියේ නඩු මෙහෙයුම් අංශයේ සැරයන් අරුණ කුමාර (27909), පො. කො. රත්නායක (90071) හා කුලසිංහ (10789) යන නිලධාරීහු වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරති.

දෙල්ගොඩ – ඩබ්ලිව්. ඩී. විතාන හා බියගම – සුදත් පුබුදු කීර්ති, කැලණිය – මංගලා මදුරප්පෙරුම

advertistmentadvertistment
advertistmentadvertistment