කූඹියෝ වෙනස් රහකින් – අචල සොලමන්ස්

99

මේක බලන්නම ඕනෑ වැඩක්

වසර දොළහකට අධික කාලයක් ජාතික රූපවාහිනියේ චැනල් Eye නාලිකාවේ නිෂ්පාදකවරයෙක් විදිහටද සේවය කළ ශ්‍රී ලාංකීය සංගීත ඉතිහාසයේ බොහෝ ශ්‍රාවක හදවත් සංගීත අධ්‍යක්ෂණයෙන්” පද රචනයෙන් මෙන්ම ගායනයෙන්ද මුසපත් කරන්නට සමත් වූ සංගීතඥයෙක් තමයි අචල සොලමන්ස්. අචලගේ ප්‍රථම සංගීත ප්‍රසංගය වන “කූඹියෝ” පෙබරවාරි දෙවැනි දා සවස හතට බිෂොප් විද්‍යාලයේ පැවැත්වීමට මේ වන විටත් කටයුතු සියල්ල සූදානම් කර අවසන් බව ඔහු මේ කතාබහේදී වැඩිදුරටත් අපත් සමඟ පවසා සිටියා.

“කුඹියෝ” සූදානම්ද?

ඔව්. මේ වන විට සියල්ල සූදානම් කරලා අවසාන අදියරේ වගේ තියෙන්නේ. දැන් ඉතිරි ටිකත් සැලසුම් කරගෙන යනවා.

“කූඹියෝ” වෙනස්ම අත්දැකීමක් වෙයිද?

ඔව්” අනිවාර්යයෙන්ම. මොකද මේ ප්‍රසංගයේ මම ගායකයෙක් විදියට” පද රචකයෙක් විදියට වගේම සංගීතඥයෙක් විදියට අවුරුදු විස්සක කළ සේවාවේ අත්දැකීම්වල එකතුවක් තියෙන්නේ. තව මගේ ගීත නිර්මාණත් තියෙනවා. වැඩිපුරම තියෙන්නෙ පද රචනා වගේම ගායනයන්. “කුඹියෝ” ටෙලිනාට්‍යයේ සංගීත අධ්‍යක්ෂණය සහ ගායනයත් දෙකම මම කරපු නිසා ඒ දේවලුත් මේ ප්‍රසංගයට ඇතුළත් වෙනවා. තවත් ගීත තියෙනවා” ඒක පොඩි සර්ප්‍රයිස් එකක්. දුමාල් වර්ණකුලසූරිය ගායනා කරන තවත් අලුතෙන්ම මියුසික් කරපු ගීතයකුත් තියෙනවා” එදාටම ඒකත් රිලීස් වෙනවා. තව කසුන් කල්හාරගේ ප්‍රසිද්ධ ගීත රැසක එකතුවකුත් එකතුවෙලා ඊට අදාළව නර්තනාංග ඉදිරිපත් කිරීම් තියෙනවා. මේ විදියත් එක්ක මේක හැමෝටම නැවුම් අත්දැකීමක් වෙනවා කියලා මට අනිවාර්යයෙන්ම කියන්න පුළුවන්.

කූඹියෝ වෙනස් රහකින් - අචල සොලමන්ස්

“කූඹියෝ” ප්‍රසංගය සාර්ථක කරගන්නට ඔබට සහාය වන පිරිසත් මතක් කරමු?

මුලින්ම විශේෂයෙන්ම ස්තූති කළ යුතුයි” මේ ප්‍රසංගයට “කූඹියෝ”කියලා නම භාවිත කරන්න අවසර ලබා දුන්න “කූඹියෝ” ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂ ලක්මාල් ධර්මරත්නට සහ නිෂ්පාදක අසංක දොඩංතැන්න දෙපළට. සම්පූර්ණ ඉවෙන්ට් එක මැනේජ් කරන්නෙ මගේ බිරිඳ ඉනෝකා ප්‍රේමවර්ධන. නිෂ්පාදනය එලමෙන්තා ප්‍රඩක්ෂන්. ශෙරෝන් ප්‍රගීත් නිර්මාණ අධ්‍යක්ෂණයත්” ඩිල්ෂාන් පතිරත්න පූරක ධුරයත්” පහන් සංදීප සංගීත අධ්‍යක්ෂණයත්” අසංක ද සිල්වා නර්තනයත්” පර්ෆෙක්ට් සවුන්ඩ් චතුර ශබ්ද පරිපාලනයත්” ඊට අමතරව තවත් බොහෝ පිරිසක් මට සහාය වෙනවා මේ ප්‍රසංගය සාර්ථකව කරගන්න.

ඔබේ ආදරණීය රසික රසිකාවියන්ටත් අපි ආරාධනා කරමු “කුඹියෝ” සංගීත ප්‍රසංගය රසවිඳින්නට එන්න කියලා?

ඔව්” අනිවාර්යයෙන්ම. මගේ ගීත රසවිඳින සියලුම රසික රසිකාවියන්ට මම ආරාධනා කරනවා පෙබරවාරි 02 වැනිදා සවස 7.00ට කොළඹ බිෂොප් විද්‍යාලයේ රඟහලට පැමිණෙන්න කියලා. මගේ රසික රසිකාවියන්ට එදාට නැවුම් අත්දැකීමක් ලබාගන්න පුළුවන් වේවි. Mytickets.lk වෙබ් අඩවියෙන් වගේම නුගේගොඩ සරසවි ශාඛාවෙන් ඔබට ප්‍රවේශපත්‍ර මිලදී ගන්නටත් පුළුවන්. අපේ ප්‍රසංගයේ ටැග් ලයින් එක වෙන්නෙත් ‘මේක බලන්නම ඕනෑ කොන්සර්ට් එකක්. කියලා. ඒ නිසා මම රසික රසිකාවියන්ට කියන්නෙත්” මේක බලන්නම ඕනෑ කොන්සර්ට් එකක් කියලා.

වර්තමානයේ රටේ පවතින තත්ත්වයත් එක්ක කොන්සර්ට් එකක් කරනවා කියන්නේ ලේසි පහසු වැඩක් නෙමෙයි නේද?

ඇත්තටම ඒක අමාරු වැඩක්. හැබැයි ගොඩක් දෙනෙක්ගේ සහයෝගය ලැබෙනවා. බොහෝ දුරට විනෝදාස්වාදය වගේ දේකට වියදම් කරන්න මිනිස්සුන්ට අමාරුයි. හැබැයි ඒක එහෙමයි කියලා නැහැ” ගොඩක් දුරට මේ මාසෙ ඇතුළේ තවත් ගොඩක් ප්‍රසංග සංවිධානය වෙලා තියෙනවා. ඒ වගේම ඒවා රස විඳින්නත් පිරිස එකතු වෙලා ඉන්නවා. ඒ වගේම මේක සංවිධානය කරන එක දුෂ්කර ක්‍රියාවක් වගේ අමාරු කර්තව්‍යයක් කියලත් තේරෙනවා. ඒ වුණාට ඉතිං අපේ ආදරණීය රසික රසිකාවියන් වෙනුවෙන්” හොඳ දෙයක් කරන්න ඕනෑ නිසා කොහොම හරි සියලු දෙනාගේ ආශිර්වාදය සහ උදව් උපකාරත් එක්ක අපට පුළුවන් උපරිමයෙන් හොඳම දේ කරන්න උත්සාහ කරනවා.

ඔබේ අතින් නිර්මාණය වූ ගීත ගැනත් අපි මතක් කරමු.

කසුන් කල්හාර ගායනා කරන සඳ මිතුරි” මත්මල් සේනා” මේලා” නැවතී මෙතැනින් ගීතත්” ඉරාජ් ගායනා කරන මනමාලී” ගිනියම් රෑ” ආලේ කතා” නිල්දෙනති” බාචි සුසාන් ගායනා කරන සරුංගල් සිත් අපේ ගීතය” මම ලියපු ගීත අතරින් කිහිපයක්. ඊට අමතරව සංගීත අධ්‍යක්ෂණය සහ ගායනා කරපු ගීත වන්නේ” කුඹියෝ” ඉක්කො සහ සාරි ගප්පි යන ටෙලි නාට්‍යවල තේමා ගීතයන් තමයි.

අචලගේ පවුලේ විස්තර?

මගේ පවුලේ ඉන්නේ බිරිඳ සහ දුව” බිරිඳ ඉනෝකා ප්‍රේමවර්ධන” දුව රියානා සොලමන්ස්.

අචල සොලමන්ස් කියන කලාකරුවා ගැන කතා කළොත්?

නිර්මාණකරුවෙක් විදිහට මම විවිධ ශෛලීන්වල ගීත නිර්මාණය කරන්න කැමැති කෙනෙක්. ඒ වගේම විවිධ රසයන්වලට කැමැති කෙනෙක්. නිර්මාණය ඇතුළේ කොටුවෙන්නේ නැතුව උපරිම විදිහට මම බලනවා ඒ නිර්මාණය ඇතුළේ විවිධත්වයක් ඇති කරන්න. තව අපේ පෙර පරපුරේ තියෙන නිර්මාණවල ගුණාත්මකභාවයන් එක්කත් සංගීතයේ තියෙන විවිධ ශෛලියේ ගීත නිර්මාණය කරමින් විවිධ අත්හදා බැලීම් කරන කලාකරුවෙක්. පද රචනය පැත්තෙනුත් විවිධ ආරයේ සංගීත ශිල්පීන් සහ නිර්මාණකරුවන් සමඟ වැඩ කරන්න කැමැති පුද්ගලයෙක්.

2024 වසරේ අලුත් බලාපොරොත්තු මොනවාද?

ප්‍රධානම බලාපොරොත්තුව මේ කොන්සර්ට් එක. ඊට අමතරව මම ගායනා කරන ගීත නිර්මාණ කිහිපයකුත් කරන්න බලාපොරොත්තු වෙනවා. තව අලුතෙන් ගීත කිහිපයකුත් එළි දක්වන්නත් තියෙනවා සහ අලුත් ටෙලි කතා මාලාවක සංගීත අධ්‍යක්ෂණයත්” ගීත ගායනයත් කරන්න තියෙනවා. “කූඹියෝ” කොන්සර්ට් එකත් සංගීත ප්‍රසංග පැත්තෙනුත් තවත් වෙනස් විදියේ” වෙනත්ම රසයක සංගීත ප්‍රසංගයක් විදිහට කරන්න අදහසක් තියෙනවා.

පාරමී කෞෂිකා

advertistmentadvertistment
advertistmentadvertistment