කොටවෙහෙරේ සිද්ධිය සහ සාපරාධී සංස්කෘතිය

1077

කොටවෙහෙර ප්‍රදේශයක විහාරස්ථානයකට කඩාපිනූ කාන්තාවන් 7 දෙනකු විසින් විසි දෙහැවිරිදි භික්‍ෂුවක් දූෂණය කර ඇතැයි දැන ගන්නට ලැබී තිබේ. මේ කිසියම් ආකාරයක ගැටලු සහගත කතාවක් වුවද, මෙබඳු සිදුවීම් සාහිත්‍යයේ ද ඇති බැවින් නොතකා හැරිය නොහැක. භාවනානුයෝගීව සිටින තාපසයන් ඔවුන්ගේ කිසිදු අනුදැනුමකින් තොරව කායික සම්බන්ධකම්වලට පොළඹවාගෙන දරුවන් උපදවා ගත් කාන්තාවන් ගැන ආගමික සාහිත්‍යයේ තිබේ. එහෙත් කොටවෙහෙර පන්සලේ අපේ තරුණ හාමුදුරුවන් වහන්සේ ඉහත සඳහන් සිද්ධියට ලක්වන විට භාවනානුයෝගීව සිටි බවක් දැන ගන්නට නැත. දූෂණය යනු ලිංගික අපහරණයම පමණක් නොවේ. දූෂණය විවිධ ආකාරයෙන් අර්ථ නිරූපණය කළ හැකිය. සමහර විට වචනයෙන් කරන දූෂණය කායික දූෂණයකට වඩා දරුණුය. එසේම ලිංගික ක්‍රියාවලියේ නොයෙදී ගැහැනුන් හෝ පිරිමින් ලිංගික වධවලින් දූෂණය කළ හැකි අවස්ථා තිබේ. මෙයින් මොක කළත් අවසානයේදී එය දූෂණයක් හෝ අපහරණයක් ලෙස අර්ථ නිරූපණය කළ හැකිය. ස්ත්‍රීන් 7 දෙනා භික්‍ෂුව කෙළෙසීමෙන් පසු උන්වහන්සේ විහාරස්ථානය තුළට කොටු කර විහාරස්ථානයේ දොරවල් අගුල් දමා පැනගොස් ඇත. මේ කියන පුරුෂ දූෂණ ස්ත්‍රීන් කණ්ඩායම ප්‍රදේශයේ තුන්වැනි කැලෑසියේ දේශපාලනඥයකු සමග සම්බන්ධකම් පවත්වන බව දැන ගන්නට තිබේ.

අවුරුදු 2500 ක ශිෂ්ට සංස්කෘතියක් ඇති රටක් වුවද, ශ්‍රී ලංකාව එදා සිටම සාපරාධී රටකි. මේ රටේ රජවරු වැරදි කරන වැසියන් උල තබා මරා ඇත. නොඑසේ නම් අලින්ට පාගවා මරා ඇත. එහෙමත් නැත්නම් පුවක්ගස් දෙකක බැඳ දෙකට ඉරා මරවා ඇත. මිනිසුන් මරණ වධ 32 ක් තිබේ. මේ තරම් ප්‍රචණ්ඩකාරී ලෙස මිනිසුන් මැරූ යුගය මධ්‍යකාලීන යුගය වේ. ඒ නිසා මීට අවුරුදු දෙතුන්සියයකට පෙර ශ්‍රී ලංකාවත් මුළු මහත් ලෝකයත් ඉතාමත් දරුණු සහ ප්‍රචණ්ඩකාරී ජනයාගෙන් පිරී ඉතිරී තිබිණ. මේ කාලයේ අපරාධ වාර්තාවීමේ ක්‍රමයක් තිබුණේම නැත. අපරාධවලට ප්‍රසිද්ධිය ලැබෙන්නට පටන් ගත්තේ පුවත්පත් සහ කවිකොළකාරයන් නිසාය. මේ මාධ්‍ය මගින් දෙවුන්දර තුඩුවේ සිදු වූ අපරාධය පේදුරුතුඩුව දක්වාම ගෙනයන ලදි. ශ්‍රී ලංකාවේ ජනවාර්ගික යුද්ධය පැවැති සමයේදී අපරාධ පිළිබඳ තොරතුරු යට ගොස් යුද්ධය පිළිබඳ තොරතුරු උඩට එන්නට පටන් ගත්තේය. එහෙත් යුද්ධය අවසන් වූ පසු නැවත වතාවක් සිවිල් අපරාධ උඩට එන්නට පටන් ගත්තේය. කිසිම කෙනෙකුට අපරාධයක් කර ගැලවීමට නොහැක. තාජුඩීන් මැරූ අය, ලසන්ත වික්‍රමතුංග මැරූ අය, ප්‍රදීප් එක්නැලිගොඩ මැරූ අය, දිනේෂ් ෂාෆ්ටර් මැරූ අය සදාකාලික රහස් සේ යටපත් වී තිබීමට ඉඩ ඇතැයි අප සිතුවද එවැන්නක් කිසිසේත්ම සිදුවන්නේ නැත. මේ ළඟදී එක්තරා පුද්ගලයකු විසින් අවුරුදු 16 කට පෙර කරන ලද ස්ත්‍රී දූෂණයක් පිළිබඳ තොරතුරු හෙළිවිය. ඒ වන විට එකී අපරාධය වෙනුවෙන් සිරබත්කමින් සිටි පුද්ගලයකු වූ අතර ඔහු මේ අපරාධයට කිසිදු සම්බන්ධයක් නැත. ළඟකදී අපරාධකරු මාර්ගයෙන් ම මේ කතාව හෙළිවිය. අනුන්ගේ එකවුන්ට්වලට මිනී මරා ගැලවීමට බැරිය. ස්වභාවධර්මය විසින් ලෝකය බැලන්ස් කරනු ලබන කිසියම් ක්‍රමයක් තිබේ. එසේ බැලන්ස්එක ගිලිහෙන දා ලෝකයේ අවසානය එළඹෙනවා ඇත. තරුණ හාමුදුරුවන්ට මේ ආකාරයේ හදියක් වූවා නම් එය නොබෝ කලකින් හෙළිදරව් වීමට ඉඩ තිබේ. එවිට සිද්ධියට කිසිදු සම්බන්ධයක් දැනට නොපෙන්වන අලුත්ම පිරිසක් ගස් යෑමට ඉඩ ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment