කොටි දෙනට දුන් කාලය අවසන්ව කොටි පැටවුන් පීඑච්අයි භාරයට

6612


මස්කෙළිය ග්ලැනුජි වතුයායේ තේ පඳුරු අතර සැඟව සිටියදී හමු වු කඳුකර කොටි පැටවුන් දෙදෙනා කොටි මවට රැගෙන යාමට දින කීපයක් සිදු කරන ලද මෙහෙයුම අසාර්ථක වු බැවින් එම පැටවුන් දෙදෙනා රන්දෙණිගල පශු වෛද්‍ය ඒකකයට රැගෙන යාම සඳහා රන්දෙණිගල පශු වෛද්‍ය ඒකකයේ පශු වෛද්‍ය අකලංක පිණිදිය මහතා භාරයට ගත්බව නල්ලතන්නිය වනජීවී කාර්යාලයේ නිලධාරීහු පවසති.
කොටි පැටවුන් දෙදෙනා කොටි මවට රැගෙන යාමට වනජීවී නිලධාරීන් විසින් පැය 72 ක පමණ කාලයක් දැඩි පරිශ්‍රයක් දැරූ මුත් පැටවුන් රැගෙන යාමට කොටි මව පැමිණියේ නැති බව එම නිලධාරීහු කියති.
කොටි මව මෙම පැටවුන් දෙදෙනා රැගෙන යාමට නොපැමිණියේ බොහෝ විට කොටි මවට තවත් එක් කොටි පැටවකු සිටිය හැකි බවත් එම පැටවාගේ ආරක්ෂාව සඳහා කොටි මව එම ප්‍රදේශයෙන් බැහැරව වෙනත් ප්‍රදේශයකට ගොස් ඇති බවට සැක කරන බවද එම නිලධාරීහු කියති.
වතුයායේ සේවය කරනු ලැබු කම්කරුවන් පිරිසක් විසින් මෙම කොටි පැටවුන් දෙදෙනා තේ පඳුරු යට සැඟව සිටියදී ඉකුත් 17 වැනිදා සොයා ගෙන එම පැටවුන් දෙදෙනා නල්ලතන්නිය වනජීවී කාර්යාලයේ නිලධාරීන්ට භාරදීමට පියවර ගෙන තිබිණි.
දිවා කාලයට කොටි මව විසින් මෙසේ පැටවුන් ආරක්ෂිත ස්ථානවවල සඟවා ආහාර සොයා ගැනීමට යන බවත් ජනතාව ඔවුන් අතරමංව ඇති පැටවුන් ලෙස සිතා අල්ලා ගැනීමට කටයුතු කරන බව වනජීවී නිලධාරීහු පවසති.

advertistmentadvertistment
advertistmentadvertistment