කොළේ වහල ගහලද? අද තීන්දුයි! නිවාරණයි!!

124

ආණ්ඩුව විසින් යෝජනා කරන ලද අස්වැසුම සුබ සාධන වැඩපිළිවෙළට එරෙහිව රට පුරා නැගෙන ජනතා විරෝධතා උත්සන්න වෙමින් තිබියදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ තවත් දේශපාලන හා ආර්ථික මෙහෙයුමකට ලක ලෑස්තිවෙමින් සිටි සතියක නිමාව අද එළඹ තිබේ. සමාජ දේශපාලන හා සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් මෙන්ම වෙනත් විද්වතුන්ද දැඩි අවධානයකින් හා තිගැස්මකින් බලා සිටි ඒ මෙහෙයුම දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙනි. මෙම ක්‍රියාන්විතය එක් අතකින් පුදුම සහගතය. මේ ලියන මොහොත වනවිට එම ක්‍රියාදාමයෙහි පළමු අදියර අවසන් වී තිබුණි. එහි සමාප්තිය සිදු වන්නේ මෙම සෙනසුරාදා හා ඉරිදා දිනවලය. කුමක් වුවත් ආණ්ඩුවේ මෙම දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ යෝජනාවලිය කෙබඳු දැයි කිසිවෙක් තවම නොදනිති. ජනාධිපති රනිල් හා ඔහුට සමීප කීප දෙනෙක් හැර මේ සතියේ සිදුවන ආර්ථික හෝ දේශපාලන ක්‍රියාන්විතය මොන පාටදැයි විපක්‍ෂය හෝ නොදන්නා බව ඔවුන් විසින් කරනු ලබන ප්‍රකාශවලින්ම පැහැදිලි වේ. ස. ජ. බ.යට දේශපාලනික වසයෙන් පමණක් නොව අවලාද නැංවීම සඳහා කැපවී සිටින චරිත මෙන්ම තවමත් ජ. වි. පෙ දේශපාලන මිනීවළවල් අවුස්සමින් සිටින කීප දෙනෙක් මෙම දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් සපයන විහිළු හැර ඒ පිළිබඳ අර්ථවත් විග්‍රහයක් මෙතෙක් ඉදිරිපත්ව නැත. ජුලි 01 වැනිදා පාර්ලිමේන්තුවට ඒ සම්බන්ධ යෝජනාවලිය ඉදිරිපත් කර අද දින එනම් ඉරිදා (02) එය සම්මත කර ගැනීම ජනාධිපති රනිල්ගේ අපේක්‍ෂාව බව ජනමාධ්‍ය වාර්තා කර තිබුණි.

කෙසේ වුවද මෙම ක්‍රියාන්විතය සැලසුම් කළ ආණ්ඩුව පළමුවෙන්ම කළේ සියලුම බැංකු ආයතන දින කීපයකට වසා තැබීමය. ඊළඟට ආණ්ඩුවේ මන්ත්‍රී පිරිස ජනාධිපති මන්දිරයට කැඳවා ඒ කාර්ය සම්බන්ධයෙන් කිසියම් පැහැදිලි කිරීමක් කළ ජනාධිපති රනිල් එදිනම ඒ සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ද ලබා ගෙන තිබුණි. ඒවා පිළිබඳව පොහොට්ටුවේ කීප දෙනෙක්ම මාධ්‍යවේදීන්ට කරුණු දැක්වූහ. එහෙත් ඒවා ගැඹුරු ආර්ථික හෝ දේශපාලන විග්‍රහයන් නොවූ බව පමණක් සඳහන් කරමු.

නිදහස ජනතා සභාවේ ඩලස් සඳහන් කළ කරුණු එක්තරා ආකාරයක චෝදනා පත්‍රයක්ද විය. ඔහුට අනුව මෙම යෝජනාවලිය අනුමත කර ගැනීමට සති අන්තය යොදා ගෙන ඇත්තේ ඒ සම්බන්ධයෙන් අධිකරණයට යෑමේ අයිතිය ද අහිමි කිරීමටය. එයින් මෙම කාර්ය සම්බන්ධ දැඩි සැකයක් මතුවන බවද ඔහු පවසා තිබේ. මෙහිදී ඩලස් සුවිශේෂ කරුණක් ද මතු කර තිබුණි. එනම් බ්‍රිතාන්‍යය සම්ප්‍රදාය අනුගමනය කරන පාර්ලිමේන්තුවක් තිබෙන රටක් ලෙස මෙසේ සෙනසුරාදා හා ඉරිදා දිනවල එම සභාව රැස්කිරීම එම සම්ප්‍රදායන් කඩා දැමීමක් බව ඔහු අවධාරණය කර ඇත. බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තු ඉතිහාසය තුළ එබඳු අවස්ථාවක් උදා වී ඇත්තේ පෝක්ලන්ත යුද්ධය වැනි බැරෑරුම් කරුණක් සම්බන්ධයෙන් අනුමැතියක් ලබා ගැනීමට බවද ඔහු පෙන්වා දෙයි. එසේ නම් මෙම දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම ද එබඳුම රටේ ඉරණම හා බැඳී පවතින්නක් දැයි කෙනෙකුට කුතුහලයක් ඇතිවීම ද සාධාරණය.

කොළේ වහල ගහලද? අද තීන්දුයි! නිවාරණයි!!

විපක්‍ෂනායක සජිත් හා ඔහුගේ පක්‍ෂයේ ආර්ථික කටයුතු සම්බන්ධයෙන් ක්‍රියාකරන ආචාර්ය හර්ෂ සමග ජනාධිපති රනිල් කතා කළ බවක් ද වාර්තා විය. පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ සභාපති වන ආචාර්ය හර්ෂ මාධ්‍යවලට කතා කළේ දැඩි ප්‍රවේශමකින් බව පෙනුණි. ඔහුගේ හිත තුළ වූ බර අපට දැක ගත හැකි විය. විපක්‍ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු ප්‍රකාශ කළේ මෙම ක්‍රියාන්විතය සම්බන්ධයෙන් අදාළ සියලු මූල්‍ය ආයතන ප්‍රධානීන්ගෙන් විමසා නිගමනයකට එළඹිය හැකි බවය. ඔහුගේ ඇඟවුම වූයේ මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් කරන ලද ප්‍රකාශ පිළිගැනීම අසීරු බවය. සජිත් කියා සිටියේ ජනාධිපති රනිල්ට ජාතිය අමතා මෙම කාර්ය පිළිබඳ රටට හෙළිකිරීමට තිබුණු බවය. ඇත්ත වසයෙන්ම එබඳු ප්‍රකාශයක් සිදු වූයේ නම් එය මේ සම්බන්ධ යථාර්ථවාදී අවබෝධයක් ලබා ගැනීමට ද හේතු වන්නට තිබුණි.

අද වන විට මෙරටේ තිබෙන ආර්ථික පීඩනය මෙන්ම එහි බැරෑරුම් ස්වරූපයද ප්‍රබුද්ධ පුරවැසියන්ට මෙන්ම පොදු ජනතාවට ද රහසක් නොවේ. එයට දශමයකින් තරම්වත් ඒ ජනතාව සම්බන්ධ වී නැති බව ආණ්ඩුව ද දනී. අප විසින්ද මේ දේශපාලන චෞරයන්ගෙන් රටට සිදුවූ මෙන්ම සිදුවන හානිය ගැන යම් යම් වැදගත් කරුණු ඉදිරිපත් කරනු ලැබ ඇත. එහෙත් අදටත් එම දූෂිත හා ගර්හිත දේශපාලන නිරයෙන් රට ගොඩ දැමීමට නිසි ක්‍රමවේදයක් ඇති බවක්ද නොපෙනේ. දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් ආණ්ඩුව පැවසූ බොහෝ දේ සත්‍යය නොවන බව මෙම අදිසි හා හදිසි මෙහෙයුම තුළින් වුවද පැහැදිලි වේ. එහෙත් ඒ අමිහිරි සත්‍යය ජනතාවගෙන් සැඟවිය යුත්තේ ඇයි?

ජනාධිපති රනිල් තමන්ට හිමිවූ අභියෝග දුෂ්කරතා විවෘතව ප්‍රකාශ කරමින් මීට වඩා ජනතාවාදී ප්‍රතිපත්ති කෙරෙහි නැඹුරු වූයේ නම් බහුතර ජනතාවක් ඔහු විශ්වාස කරන බව පැහැදිලිව කිව යුතුය. එහෙත් ඔහු තවමත් රාජපක්‍ෂ කඳවුරේ ගැලවුම්කරුවකු ලෙසට ක්‍රියා කරන්නේද යන සැකය ජනතාවට, සිවිල් සමාජ ක්‍රියාකාරීන්ට මෙන්ම බොහෝ විද්වතුන්ට ද ඇත. ගෝඨාභය ජනාධිපති ධුරයට පත් කර ගැනීම බරපතල දේශපාලන වරදක් බව පොහොට්ටුවේ සමහරු මෙන්ම මේ වනවිට ඉන් ඉවත්වී සිටින අයද පාපොච්චාරණ ලෙස කියති. එහෙත් මේ කිසිම කණ්ඩායමක් පවතින සමාජ ආර්ථික හා දේශපාලන අර්බුදය සමනය කළ හැකි සාධනීය මැදිහත්වීමක් කළ බවක්ද කිව නොහැක.

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ආදීනව කෙබඳු වුවත් ඒවා මෙරටේ ජනතාව දරා ගත යුතු යැයි අපට කිසිසේත් යෝජනා කළ නොහැක. පිදුරුතලාගල කන්ද පොල්කටුවකින් වසා තැබිය හැකි යැයි සිතන දේශපාලන විකටයෝ මෙරටේ අදත් සිටිති. එහෙත් ආර්ථික හා දේශපාලන හැසිරීම් කළ පුරුද්දෙන් හා පලපුරුද්දෙන් දන්නා අයත් මෙරටේ වෙති. ආර්ථික විද්වතුන් අතර වුවද තිබෙන ප්‍රතිවිරෝධතා පැහැදිලිය. එසේම මැදහත්ව රටේ ආර්ථිකය විශ්ලේෂණය කරන අය අතරද මෙම ප්‍රතිව්‍යුහගත කරන ක්‍රියාවලිය සම්බන්ධයෙන් සැක සංකා මතුව තිබෙන බවද පෙනී යයි. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සම්මුඛ සාකච්ඡාවකදී පවසා තිබුණේ ආණ්ඩුව තවදුරටත් ජනතාව මුළා කරමින් සිය යටි අරමුණු ඉටුකර ගැනීමට කටයුතු කරන බවකි. ඔහු පැහැදිලිව දක්වන්නේ සේවක අර්ථසාධක අරමුදලට හා සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදලට බලපෑම් වන බවය. එසේම ඔහු පවසන්නේ පාරදෘශ්‍යභාවයකින් සැලැස්මක් අනුව විනිවිදභාවයකින් මෙම ණය ප්‍රතිව්‍යුහගතකරණය කළ යුතුව තිබුණු බවය. ඇත්ත වසයෙන්ම අපටද ඔහු සමග එකඟ වීමට සිදුවේ.

මෙම විෂය ක්‍ෂේත්‍රය පිළිබඳ ප්‍රාමාණිකයන් පවසන කරුණු විනා ආණ්ඩුවල දේශපාලන එහෙයියන්ගේ විග්‍රහ අපට වැදගත් නැත. පොදු ජනයාගෙන් මේ පිළිබඳ කළ විමසීම්වලදී ඒ හැම දෙනෙක්ම දැක්වූ අදහස්වල හරය වූයේ මේ ආණ්ඩුව ගැන මෙන්ම කිසිම දේශපාලනඥයෙකුගේ වචන, පොරොන්දු විශ්වාස කළ නොහැකි බවය. මෙම ක්‍රියාදාමය සම්බන්ධයෙන් පේරාදෙණි විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්ය ආනන්ද ජයවික්‍රමගේ විශ්ලේෂණයක් ද කියවීමට අපට හැකි විය. ඔහු පෙන්වා දෙන්නේත් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී ණය කපා හැරීමට එකඟ විය නොහැකි බවය. මේ ණය රජය විසින් රජයේම ආයතනවලින් ලබා ගත් ඒවා බවත්, ඒවා කපා හැරීමෙන් එම ආයතන පවත්වා ගෙන යෑම අසීරු වන බවත් ඔහු පෙන්වා දී ඇත. එවැන්නක් සිදු වුවහොත් මෙරටේ ලක්‍ෂ 223 ක ජනතාව අර්බුදයකට මැදි වන බවද ඔහු කරන තවත් අනතුරු ඇඟවීමකි.

මේ ප්‍රාමාණිකයන් පෙන්වා දෙන දේවල් බැහැර කළ නොහැක. කුමක් වුවත් ආණ්ඩුව පාර්ලිමේන්තුවේ බහුතර අනුමැතියකින් රටේ ඉරණම සම්බන්ධ තීරණය ගැනීමට සූදානම් බව අපට පෙනෙන දෙයයි. ඇත්තටම චෞර වළල්ලක් හා ස්වාර්ථකාමී දේශපාලන අවස්ථාවාදීන් විසින් සිදු කරන ලද අශිෂ්ට අධම ධන විනාශයක වින්දිතයන් බවට රටක් පත්වීම තරම් අපරාධයක් තිබිය හැකිද?

සෘද්ධිබල සම්පන්න දෙවියන් පා තැබීමට බිය වන තැන්වල මෝඩයෝ පිනුම් ගසතියි අපූරු ජන වහරක් තිබේ. මෙහිදීත් දේශපාලනය හා සමාජ ආර්ථිකය ආදිය පිළිබඳ දැනුමක් ඇති බොහෝ දෙනෙක් මුනිවත රකිද්දී විකටයන් පාන රැඟුම් ගැන කිවයුතු දෙයක්ද නැත. කලකට පෙර රුපියල බාල්දු වූ අවස්ථාවක එකල ආණ්ඩුවට උපදෙස් දුන් විශේෂඥයකු කියා සිටියේ රුපියලට තිබෙන සත සියය එහෙමම බවය. අන්න අපේ රටේ සමහර පඬිවරුන්ගේ තරම! (ඒ ආර්ථික උපදේශකවරයා අද ජීවතුන් අතර නැත.)

කෙසේ හෝ ආණ්ඩුව කියන ආකාරයට කිසිම ආපදාවක් නොවී මේ වැඩේ ගොඩදාගත හැකි නම් අපට ප්‍රශ්නයක් නැත. මහ බැංකු අධිපතිවරයා ඇතුළු මුදල් අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් විසින් පවත්වන ලද විශේෂ මාධ්‍ය හමුවකදීත් (29 වැනිදා) පුන පුනා ප්‍රකාශ කළේ මෙම දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් අවැඩක් නොවන බවය. සැබැවින්ම දේශපාලනඥයන් නොවන රාජ්‍ය නිලධාරීන් මෙබඳු අවස්ථාවල ඉදිරිපත්ව රටටත් ජනතාවටත් කරුණු කීම හොඳ පිළිවෙතකි. එහෙත් මෙරටේ ඇතැම් නිලධාරීන්ට අවශ්‍ය වූයේ (හේතුව කුමක් වුවත්) දේශපාලනඥයන් සමග එක්ව ඔවුන් පිනවමින් රට වැනසීම බවද රහසක් නොවේ. කොහොමටත් මෙරටේ රාජ්‍ය ආයතන මෙහෙයවීම සඳහා බලයට පත්වන ආණ්ඩුවල හිතවතුන් පත් කර ගැනීමේ ක්‍රමවේදය තුළ සෘජු, ප්‍රතිපත්තිගරුක නිලධාරීන් වෙනුවට අපට හමුවන්නේ පිටකොඳු බිඳගත් වහලුන් බවද සඳහන් කළ යුතුය. මේ දිනවල කෝප් කමිටුව වැනි තැන්වල හෙළිවන තොරතුරුවලින් බොහෝ ටයිකෝට්කාරයන් නිර්වස්ත්‍ර වන ආකාරය ද රටටම දැක බලා ගත හැකිය. ඒ ගැන ඊට වඩා කතා කිරීම ද නිෂ්ඵලය.

දැන් අපි තවමත් රටම උණුසුම් කරමින් නැගෙන අස්වැසුම ප්‍රතිලාභය අහිමි වූ ජනතා විරෝධතාව පිළිබඳව විමසා බලමු. අස්වැසුම අහිමි වූ ජනතාව විසින් කරනු ලබන දුක් ගැනවිලි රූපවාහිනී නාලිකාවල ප්‍රචාරය වෙයි. ඒ නැති බැරි පීඩිතයන්ගේ විලාපයන් හද කම්පා කරවන සුළුය. ඒවා දෙස බලන විට නැගෙන්නේ මෙම අස්වැසුම යෝජනාවලටත් වඩා එම සමීක්‍ෂණ භාරව ක්‍රියා කළ පිරිස අතර අලුගෝසුවන් හා වධකයන් සිටියේ ද යන සැකයකි. මෙම සහන මණ්ඩලයට ජනතාවගෙන් එල්ල වන චෝදනා කෙබඳුදැයි විමසා බැලීම එහි සභාපතිවරයාගේද වගකීමකි. සමෘද්ධි නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් මෙන්ම පොහොට්ටුවේ මන්ත්‍රීවරයකුද වන ජගත් කුමාර මෙම අස්වැසුමේ දැඩි විවේචකයෙකි. ඔහු සමෘද්ධිය වෙනුවෙන් මරාගෙන මැරීමට වුවත් සූදානම් චරිතයකැයිද හැඟේ. ඔහු මේ සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයකු මෙන්ම තම පක්ෂයේ නායකයා ද වන මහින්ද රාජපක්‍ෂ හමු වී මේ ගැන මැදිහත් වන ලෙසද ඉල්ලා ඇත. ඔහු නිශ්චිතවම පවසා ඇත්තේ අධිකරණයට හෝ ගොසින් මේ සටන ජයගන්නා බවය. මේ බොහෝ විවේචන දුක්ගැනවිලි අසන විට අපට ද සැක සිතුනේ අස්වැසුම ෂයිලොක් පන්නයේ මෙහෙයුමක් බවය. ඒ සහන මණ්ඩලයත් නාගෙන ආණ්ඩුවටත් නා ගැනීමට පහසුව සලසා තිබෙන බවය.

මෙරටේ දිළිඳු සහන, ක්‍රියාදාමය දේශපාලන කෙමනක් බව අමුතුවෙන් කිව යුතු නැත. මේ සහනාධාර ක්‍රම හා එහි දේශපාලනය ගැන අමුතු විස්තර වුවමනා ද නැත. වැඩි ඈතට නොගියත් ජයවර්ධනගේ ඇට අටේ හෙවත් ධාන්‍ය රාත්තල් අටේ ප්‍රදානය, සිරිමාවන්ගේ හඳෙන් හෝ හාල් සේරු දෙක දීම, ඩඩ්ලිගේ නොමිලේ හාල් සේරුව දීම, දේශපාලන ඡන්ද කඩන කෙකි බව ඉතා පැහැදිලිය. චන්ද්‍රිකාගේ තුනයි පනහේ පාන් ගෙඩියත් එයට ඇතුළත් විය යුතුය. මේ වයිවාරන්න දේශපාලන කඹ ගිලිමින් මෙරටේ ජනතාව විසින් රටටත් තමන්ටත් කර ගන්නා ලද විනාශය සුළුපටු නැත. ඒ කුමක් වුවත් ප්‍රේමදාස ජනාධිපතිවරයා විසින් හඳුන්වා දෙන ලද ජනසවිය නමැති සහන වැඩපිළිවෙළ එකල කැපී පෙනුණි. සුසිල් සිරිවර්ධන බඳු විද්වත්හුද එයට එක්ව සිටියහ. චන්ද්‍රිකාගේ පාලන සමයේදී ජනසවිය වෙනුවට සමෘද්ධි වැඩපිළිවෙළ ක්‍රියාත්මක විය. එය භාරව සිටි ඇස්. බී. දිසානායක විසින්ම පසුගිය දිනක පවසන ලද්දේ සමෘද්ධි ඉල්ලා සිරිකොතින් ලක්ෂ ගණනක ලැයිස්තුවක්ද එවූ බවය. සමෘද්ධි සමග බැසිල්ගේ දිවි නැඟුමක්ද පෙරටම ආවේය.

මේ හැම සුබසාධන වැඩපිළිවෙළකම යහපත් දේ මෙන්ම අයහපත් විපාක ද තිබුණි. ඇත්තටම මෙම කිසිදු සුබ සාධන වැඩපිළිවෙළක් සම්බන්ධයෙන් කිසිම විධිමත් විමර්ශනයක් සිදුවී නැත. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට මේවා එතරම් “සීරියස් වැඩ” නොවූවා හෝ ඔවුන්ගේ අවිවේකය නිසා එසේ වූයේද යන්න අපි නොදනිමු. ඒ මොනවා උනත් මේ වනවිට අස්වැසුම අල කර ගෙන හමාරය. ආණ්ඩුවේ වාතයක් වුවද සැපතක් සේ හිතන වෘෂභයන් හැර ආණ්ඩුවේම සමහරුන්ටද අස්වැසුම ගත යුත්තක් නැති හිස් වැඩකි. සමෘද්ධිය අතට ගත් මැති ඇමැතිවරු අස්වැසුම පලු අරිති. හෙළ උරුමයේ උදය ගම්මන්පිල කීවේ පොලී මුදලාලිටත්, ලොරි හිමියාටත් අස්වැසුම ලැබෙන බවය. මොනවා වුවත් සමෘද්ධි කපා දමා අස්වැසුම නුසුදුස්සන්ට ලබා දී ඇත්ත නම් ඒවාට වගකිවයුතු අයට ඇඟ බේරා ගැනීමට ඉඩ දිය යුතු නැත. එසේම ජනසවියේ සිට සමෘද්ධි තෙක් සුබසාධන සැලසුම් කළ රටක මේ වර්ගයේ දෙයක් සාර්ථකව සමාජ ගත කළ නොහැකිවීම ගැන අපට ඇත්තේ සංවේගයට වඩා කෝපයකි. මේ රටේ සමාජ ආර්ථික සැලසුම් කරන්නේ මීහරක්දැයි අප විමසන්නේ යහපත් නිලධාරීන්ට හිස නමමින්ය. වෙන මොනවා කියන්නද?

කෙසේ හෝ මේ සටහන අවසන් කරන්නේද කිසිවක් හරියටම කිව නොහැකි එළියක සිටියත් බොහෝ දේ අඳුරක සඟවා ඇති පෙනෙනවාට වඩා නොපෙනෙන හා නොපෙන්වන වටපිටාවක ය. හෘදය සාක්ෂියක් නැති සමාජයක සත්‍යයට බියවන කුහක දේශපාලනයක් රජයන රටක ඉරණම වෙනස් කරන පැණසර හා ගරුතර මහජනයාට සවන්දෙන නායකයෝ අපට ලැබෙත්වා!

ගාමිණි සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment