ගාලු එන්නත් සිද්ධියට සම්බන්ධ අයගේ බැංකු ගිණුම් පරීක්‍ෂාවට

222

කොළඹින් ගිය ධනවතුන් පිරිසකට ගාල්ල උණවටුන දිස්ති‍්‍රක් සෞඛ්‍ය සේවා කාර්යාලයේදී කොරෝනා එන්නත ලබාදුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වන ගාල්ල කොට්ඨාස අපරාධ ඒකකය එම එන්නත්කරණයට සම්බන්ධ වූ වෛiවරුන්, කාර්ය මණ්ඩලය සහ අතරමැදියන් ලෙස කටයුතු කළ පුද්ගලයාගේ බැංකු ගිණුම් පරීක්‍ෂා කිරීම ආරම්භ කර ඇත.
 
 මෙම එන්නත්කරණය මුදල් අය කිරීමකින් සිදු වූයේද යන්න සොයා එම විමර්ශන කි‍්‍රයාත්මක කර ඇති බවද පොලිසිය පවසයි.
 
 එන්නත්කරණයේදී මුදල් හුවමාරුවක් සිදුවූ බවට සාක්‍ෂි කිසිවක් මේ වන තුරුත් ලැබී නොමැති බවද විමර්ශන කණ්ඩායම් කියා සිටියි.
 
 ඇස්ට‍්‍රාසෙනිකා කොවිෂීල්ඞ් එන්නතේ දෙවැනි මාත‍්‍රාව ලබා ගැනීම සඳහා කොළඹින් ගිය ධනවත් පුද්ගලයන් 58 දෙනකු පිළිබඳ සියලූ තොරතුරු සහ ඔවුන් ගමන් ගත් සුඛෝපභෝගී වාහන පිළිබඳ තොරතුරු පොලිසිය විසින් මේ වන විට අනාවරණය කරගෙන ඇත.
 
 මෙසේ එන්නත් ලබා ගැනීම සඳහා පැමිණි පිරිස අතරින් බහුතරයක් මුස්ලිම් ජාතිකයෝ වෙති. සංචරණ සීමා නීති උල්ලංඝනය කරමින් මෙම පිරිස දක්‍ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ ගාල්ලට පැමිණ ඇති බව විමර්ශනවලින් හෙළිවී තිබේ.
 
 මේ අතර මෙම එන්නත්කරණයේදී මැදිහත්කරුවකු ලෙස කි‍්‍රයා කළ ගාල්ල කොටුව පල්ලිය වීදියේ පදිංචි මොහොමඞ් ෆාරිස් නමැති අයකුගෙන් පොලිසිය දීර්ඝ ලෙස ප‍්‍රශ්න කර ප‍්‍රකාශ ලබාගෙන ඇත. මෙම පුද්ගලයාගේ ජංගම දුරකථන දත්ත වාර්තා පරීක්‍ෂා කිරීමටද පොලිසිය අධිකරණ නියෝගයක් ලබාගෙන ඇත.
 
 ඇස්ට‍්‍රාසෙනිකා කොවිෂීල්ඞ් එන්නතේ දෙවැනි මාත‍්‍රාව ප‍්‍රමාණවත් තරම් නොමැති වීම නිසා එය ලබා ගැනීමට විශාල ඉල්ලූමක් පවතී. මෙම එන්නත් මුදල් ලබාගෙන ලබාදුන් බවට ද පසුගිය දිනවල විවිධ පාර්ශ්ව වෙත චෝදනා එල්ල වී තිබිණි.
 
 එවන් අවස්ථාවක ගාල්ල දිස්ති‍්‍රක් සෞඛ්‍ය සේවා කාර්යාලයේදී මෙම එන්නතේ දෙවැනි මාත‍්‍රාව ලබාදීම ඉකුත් 5 සහ 7 යන දිනවලදී සිදු කෙරිණි. මෙම එන්නත ලබා
 
 ගැනීම සඳහා සුඛෝපභෝගී වාහනවලින් කොළඹ සිට විශාල පිරිසක් පැමිණි බවට චෝදනා එල්ල වී තිබිණි.
 
 ඒ අනුව ගාල්ල කොට්ඨාස අපරාධ මෙහෙයුම් ඒකකය මෙම එන්නත් අක‍්‍රමිකතාව පිළිබඳව සෙවීමේ විමර්ශන කටයුතු ආරම්භ කළේය.
 
 මෙම එන්නත්කරණයට සම්බන්ධවූ වෛiවරුන්ගේ කාර්ය මණ්ඩලයෙන් සහ කොළඹ සිට එන්නත් ලබා ගැනීමට ගාල්ලට පැමිණි පුද්ගලයන්ගෙන් ඉදිරි දිනවලදී ප‍්‍රශ්න කර ප‍්‍රකාශ ලබා ගැනීමට නියමිතය.
 
 බස්නාහිර, දකුණ සහ ඌව පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත ගාල්ල කොට්ඨාස අපරාධ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති දිනේෂ් සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් පරීක්‍ෂණ පැවැත්වෙයි.

හේමන්ත රන්දුණු සහ බෝගහගොඩ – ඒ. ඩබ්. ඒ. නිමල්

advertistmentadvertistment
advertistmentadvertistment