ගුරු භවතුන්ගේ වගකීම දරුවන් උදෙසා ආලෝකයක් වීමයි

132

සංක්‍රමණික ශ්‍රමිකයන් පිළිබඳ ජාතික අධ්‍යක්‍ෂ පියතුමන් කෑගල්ලේදී කියයි

ගුරු වෘත්තිය යනු සමාජයේ අඳුර දුරු කරන මාර්ගෝපදේශය වන බවද ඒ නිසා අද සමාජයේ දක්නට ලැබෙන අඳුර ඉවත් කිරීම සඳහා කටයුතු කිරීමත් ඒ සඳහා දරුවන් උදෙසා පාසල තුළ ආලෝකයක් වෙමින් ආදර්ශයක් හා කැපවීමෙන් සේවය කිරීමත් ගුරු භවතුන්ගේ පරම වගකීම හා යුතුකම වන බවද සංක්‍රමණික ශ්‍රමිකයන් පිළිබඳ ජාතික අධ්‍යක්‍ෂ හා කෑගල්ල මීසම් සේවක බී. ඇන්ටන් ශ්‍රීයාන් පියතුමන් කෑගල්ල සාන්ත ජෝසප් කන්‍යාරාමයේ ශුද්ධ වූ ජුසේ මුනිඳුන්ගේ දෙව් මැඳුරේදී ප්‍රකාශ කළේය.

කෑගල්ල මීසමේ හා කෑගල්ල ප්‍රදේශයේ කතෝලික දියණියන්ට කිතුනු පරිසරයක් ආශ්‍රිතව අධ්‍යාපනය හැදෑරීම සඳහා ඇති එකම පාසල වන කෑගල්ල සාන්ත ජෝසප් බාලිකා මහ විදුහලේ නව විදුහල්පතිනිය ලෙස ඉකුත්දා පත්වූ ගංගානී තිලකරත්න මහත්මිය පිළිගැනීම සඳහා කෑගල්ල සාන්ත ජෝසප් කන්‍යාරාමයේ ශුද්ධ වූ ජුසේ මුනිඳුන්ගේ දෙව්මැඳුරේ පැවති විශේෂ දිව්‍ය පූජාවේදී පියතුමන් එසේ අවධාරණය කළේය. ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ පළවන ශ්‍රේණියේ දීප්තිමත් ක්‍රියාකාරී නිලධාරිනියක් වන නව විදුහල්පතිනියට දේවාශීර්වාදය දානය කිරීම සඳහා ද පැවති මෙම විශේෂ දිව්‍ය පූජා යාගය බී. ඇන්ටන් ශ්‍රියාන් හා කෑගල්ල දිසා නායක, රන්ජන්මාල් මොරායස් යන පියතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර කෑගල්ල මීසම් සහයක ෂමීර බුදීෂ සිල්වා හා කාමලයිට් නිකායික සවරියාර් සහ ඇන්ටන් රීගන් යන පියතුමන්ද දිව්‍ය පූජා යාගය සඳහා හවුල් වූහ.

කතෝලික සභාවේ හා කතෝලික ජනතාවගේද පියතුමන්ගේ සහ පැවැදි සොහොයුරියන්ගේද ශ්‍රමය හා පරිත්‍යාග තුළින් එදා ඉදිකළ මෙම බාලිකා විදුහල මගින් සිරිලක දස දෙස දියණියන් ගුණවත් හා නැණවත් කිරීම සඳහා ජාති හෝ ආගම් හෝ භේදයෙන් තොරව සුවිශේෂී මහ මෙහෙවරක් ඉටුකර තිබෙන අතර නව විදුහල්පතිනිය ලෙස පත්ව තිබෙන ගංගානී තිලකරත්න මහත්මිය ද සාන්ත ජෝසප් බාලිකාවේ දීප්තිමත් ආදි ශිෂ්‍යාවක් වීමද ඉතාමත් සුවිශේෂී කරුණකි. කෑගල්ල සාන්ත ජෝසප් කන්‍යාරාමයේ ප්‍රධාන මව්තුමිය වර්ජනියා ඩැනියල් පැවිදි සොහොයුරිය හා කෑගල්ල ලුර්දු දේවමාතා වැඩිහිටි නිවාසයේ ප්‍රධාන මව්තුමිය නදීෂා මිස්කිත පැවිදි සොහොයුරිය ඇතුළු පැවිදි සොහොයුරියන්ගේ සහභාගීත්වයෙන් සාන්ත ජෝසප් බාලිකාවන්ගේ හා සාන්ත ජෝසප් ආචාර්ය මණ්ඩලයේද සහභාගීත්වයෙන් ආචාරිනී දීපානි ප්‍රනාන්දු, පැවිදි සොහොයුරිය විසින් සාන්ත ජෝසප් ආදි ශිෂ්‍ය දියණියන්ගේ කතෝලික සංගමය සමග එක්ව මෙම දිව්‍ය පූජාව සංවිධානය කර මෙහෙය වූ අතර නියෝජ්‍ය හා සහකාර විදුහල්පතිනියන් ඇතුළු ආචාර්ය මණ්ඩලය ද ගරුතර පූජ්‍ය දිවුල්ලෑපිටියේ විමලරත්න හිමියන් දිව්‍ය පූජාව සඳහා සහභාගි වූහ.

ජෝ. ඇ. සකරායස්

advertistmentadvertistment
advertistmentadvertistment