ගුවන්යානයේ බෝම්බය රත්තරන්

505

කටුනායක ගුවන් තොටුපොළෙන් ඉන්දියාවේ චෙන්නායි බලා පිටත් වූ ගුවන් යානයේ වැසිකිළියක් තුළ වූ කළු පැහැති පාර්සලය බෝම්බයක් යැයි සිතා ගුවන් ගමන අත්හිටුවා, බෝම්බ නිෂ්ක්‍රීය අංශය මගින් පරීක්ෂා කිරීමේදී එය කිලෝ ග්‍රෑම් දෙකක් බරැති රත්තරන් පාර්සලයක් බව තහවුරු වීමෙන් පසුව එය ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් වෙත භාර දී තිබේ.

ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 272 දරන ගුවන් යානය ඊයේ (10 දා) පස්වරු 01.35 ට කටුනායක ගුවන් තොටුපොළෙන් ඉන්දියාවේ චෙන්නායි නුවර බලා පිටත්ව යෑමට ධාවන පථය වෙත ගමන් ආරම්භ කළේය.

එහෙත් එම ගුවන් යානයේ පසුපස වැසිකිළිය තුළ අයිතිකරුවකු නොමැති කළු පැහැති පාර්සලයක් ඇති බව එහි ආරක්ෂක නිලධාරීන් පිරිසක් විසින් සිය අවසන් පරීක්ෂණයේදී සොයා ගෙන තිබුණි.

ඒ අනුව මෙම ගුවන් යානය ගුවන් ගත නොවී ඊයේ (10 දා) පස්වරු 01.40 ධාවන පථයෙන් ආපසු හරවා ගෙන ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.

ඉන්පසුව මෙම ගුවන් යානයේ සියලුම ගුවන් මගීන් පිටතට බස්සවා, ගුවන් යානය හුදෙකලා ස්ථානයකට රැගෙන ගොස්, බෝම්බ නිෂ්ක්‍රීය අංශය මගින් පරීක්ෂා කිරීමකට ලක් කර ඇති අතර, එහිදී මෙම පාර්සලය බෝම්බයක් නොව රත්තරන් පාර්සලයක් බවට තහවුරු කර තිබේ.

ගුවන්යානයේ බෝම්බය රත්තරන්

ඉන් අනතුරුව කිලෝ ග්‍රෑම් දෙකක් බරැති රත්තරන් ක්‍රීම් වශයෙන් අඩංගු පාර්සලය ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් වෙත වැඩිදුර විමර්ශන කටයුතු සඳහා භාර දී ඇති අතර මෙම පාර්සලයේ හිමිකරුවන් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නැත.

මෙම ඉන්දීය ගුවන් යානය ඊයේ (10 දා) යළිත් පස්වරු 04.43 ට ඉන්දියාවේ චෙන්නායි නුවර බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගියේය.

කටුනායක ටී.කේ.ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment