ගොවි විරෝධතා නැවැත්වීමට නවදිල්ලියේ පිවිසුම් මාර්ග වසයි

372

සිය වගා අස්වැන්න සඳහා සහතික මිලක් නියම කරන ලෙස ඉල්ලමින් ඉන්දීය ප්‍රාන්ත ගණනාවක සිට නවදිල්ලි අගනුවර වෙත ළඟා වෙමින් තිබෙන ගොවි විරෝධතා ගමනක් හේතුවෙන් නවදිල්ලි නගරයේ මාර්ග බාධක යොදමින් ආරක්ෂාව තර කිරීමට ඉන්දීය රජයේ බලධාරීන් විසින් පියවර ගෙන තිබේ. මේ යටතේ නවදිල්ලි නගරයට පිවිසෙන පිවිසුම් මාර්ග ගණනාවක් මාර්ග බාධක යොදාගෙන සීල් තබා වසා දමා ඇති පොලිස් බලධාරීන් කටු කම්බි හා සිමෙන්ති ගල් ද පිවිසුම් මාර්ග වසා දැමීම සඳහා යොදා ගෙන ඇති බව වාර්තා වේ. මෙම ගොවි විරෝධතා පාගමන නවදිල්ලි නගරයට ළඟා වීම හා රැස්වීම් පැවැත්වීම වැළැක්වීම සඳහා නගරයේ දැවැන්ත රැස්වීම පැවැත්වීම තහනම් කිරීමටත් අන්තර්ජාල සේවාවන් අත්හිටුවීමටත් පියවර ගෙන තිබේ.

මෙම ගොවි විරෝධතා පා ගමන උතුරු ඉන්දීය ප්‍රාන්තයන් වන හරියානා හා පන්ජාබ් ප්‍රාන්තයන්ගෙන් ආරම්භ වී ඇති අතර ඒ සඳහා ගොවීන් දහස් ගණනක් එක් වී සිටින බව වාර්තා වේ. ඉන්දීය රජය විසින් ක්‍රියාත්මක කර තිබූ මතභේදාත්මක කෘෂිකර්ම නීති ඉවත් කිරීමට අගමැති නරේන්ද්‍ර සිං මෝදී විසින් පියවර ගැනීමෙන් අනතුරුව ඉන්දියාවේ පැවැත්වෙන ප්‍රථම ප්‍රධාන පෙළේ ගොවි විරෝධතා ව්‍යාපාරය මෙය සේ සැලකේ. සිය ආදායම් මාර්ග දෙගුණ කරගැනීම සඳහා සිය ඉල්ලීමට ඇහුම්කන් දෙන ලෙස ගොවි සංගම් විසින් රජයෙන් ඉල්ලීම් කර තිබේ. මේ අතර ඇතැම් ගොවි සංගම් හා වෘත්තීය සමිති මෙම සිකුරාදා සිය ඉල්ලීම් මුල් කරගෙන දීප ව්‍යාප්ත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ. ගොවීන්ගේ වගා අස්වනු සඳහා සහතික මිලක් ලබා දීමේ යෝජනාව සම්බන්ධයෙන් ගොවි සංගම් නියෝජිතයන් හා රජයේ ඇමැතිවරු අතර පැවති සාකච්ඡා දෙකම අසාර්ථක වී තිබීම හේතුවෙන් සිය ඉල්ලීම දිනා ගැනීම සඳහා විරෝධතා ව්‍යාපාර දියත් කිරීමට ගොවි සංගම් තීරණය කර තිබේ.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment