ගොවීන්ට වැස්සත් බැට දෙයි

203

සහසක් අපේක්‍ෂාවන් ඉටුකර ගැනීම වෙනුවෙන් දැඩි කැපකිරීම් කරමින් ජනතාව පත්කරගත් රජය, අදූරදර්ශීව, අඥානවන්තව, හා හිතුවක්කාරී ලෙස ‘පිස්සු නැටීම’ හේතුවෙන් අද දවසේ රටේ සමස්ත ජනතාවම බරපතළ පීඩාවකට, විඩාවකට හා වේදනාවකට පත් වී සිටිති. ඒ මදිවාට කිඹුලා කනවා මදිවාට කොහිල කටු ඇනෙන්නා සේ කට කැඩිච්ච මැති ඇමැත්තන් අධෝමුඛ වලින් දොඩන දුර්ගන්ධනීය වදන් වාක්‍ය, බයිලාවලින්ද තව දුරටත් ජනතාව කලකිරෙමින් සිටිති. ගෑස්, පැට‍්‍රල්, ලාම්පුතෙල්, පොහොර, සීනි, එළවළු, සිමෙන්ති, වැටුප් හා තවත් අටෝරාශියක් ගැටලූ වලින්ද ජාත්‍යන්තර කොවිඞ්, ඔමික්‍රෝන් වසංගත වලින් ද තවතව ජනතාව අසරණවෙමින් සිටිති.

එසේ තිබියදී ජනතාවට පසුගිය දිනවල සොබා දහමත් සැලකුවේ කෲර අයුරිනි. ඒ කෲරත්වය කෙතෙක් ද යත් ගොවි ජනතාව අද දවසේ කිසිත් කරකියාගත නොහී ‘නට්ටන්’ වී සිටිති. මෙයිනුදු වඩාත්ම ප‍්‍රබල ලෙස දුකට පත් වී සිටින්නේ වයඹ ගොවි ජනතාවයි.

දින ගණන්, සති මාස් ගණන් එක සීරුවට වයඹ, කුරුණෑගල, පුත්තලම දිස්ත‍්‍රික්කවලට වට මහවැසි. එහි ගොවි ජනතාව අසරණ කොට බිමට ඇද දැමුවේ සිත් පිත් නොමැති යක්‍ෂයෙකු කඩා පැන හැසිරෙන අයුරිනි.

මාස් කන්නයේ වගා කටයුතු සූදානම් කළ ගොවි බිම් ද, ඒ වන විටත් වගාකළ හේන්, කුඹුරු, එළවළු කොටු සියල්ලද මහ වැස්ස විසින් මහ පොළවටම දියකර හරින ලදී. මේ වනවිටත් සරු ලෙස වැඩෙමින් මල් පූදිමින් තිබූ තල, කවුපි, උඳු, මුං, කුරහන්, අබහේන් වගාවන් ද, රටකජු, මිරිස්, වට්ටක්කා මහා පරිමාණ වගාවන්ද, කල්පිටි ප‍්‍රදේශයේ වගාවන් වූ රතුලූනු, බීට්, ගෝවා, බටු, මාලූ මිරිස් ආදී වගාවන්ද විවිධාකාර එළවළු වගා කළ සුළු පරිමාණ එළවළු කොටු ද, බුලත් වගා ද ආදී සියලූ කෘෂිකාර්මික වගාවන් මහ වැස්ස විසින් දියකර හරින ලදී. එමතුදු නොව මේ වන විටත් තෙල් පෝර කඳුලකුදු නැතිව, සිතේ ධෛර්ය පමණක් ඇතිව කුඹුරු වගාකළ ගොවීන්ටද මහ වැස්ස ඉතිරි කළේ ගොවි දෑස්වලින් ගැලූ කඳුළු ගංගාවන් පමණි.

වියළි කලාපයේ ඇති සුළු වැව් කීපයක් නොකඩවා ඇද හැලෙන මහ වැස්සෙන් වාන් බිදී, බැමි බිදී ගිය අතර, දහස් ගණනක් ඇති අනෙකුත් ජලාශ, මහවැවු, සුළු වැවු වාර ගණනක් වාන් දැමීම නිසා එම ජලය ද අහසින් දිනපතා, නිතිපතා වැටෙන වැසි ජලයද ඒ වනවිට වී ගොවිතැන් කොට තිබූ කුඹුරුද, ගොයමද සහමුලින් සති ගණන් යට කොට දැමීය. එපමණක්ම නොව රුදුරු ලෙස වේගයෙන් ගලා ආ ජල කඳන්, කුඹුරු, ඇළ වේලි නියර බිඳ දමමින් මහ පොළව ගලවා ගනිමින් ගොයම් තිබූ කුඹුරු වැලි වලින් වැසී ගොසිනි.

ගොවීන් සිටින්නේ කතා බහක් කළ නොහැකි තරමේ මානසික පරාජිත මට්ටමකය. සොබා දහමට බැණ, දොස් කියා, හැවිල්ලීමට ද ඔවුනට නොහැකිය. අපේ කරුමේ යැයි ඔවුහු කෙටියෙන් කර්මයට සියල්ල භාරදෙති.

අසීරුවෙන්, අමාරුවෙන් ඔවුනගේ හඬවල් විවර කරගත් පසු, ඔවුන් බිඳුණු හඬින් හා නෙතග කඳුළු පිරවෙමින් පැවැසූවේ මෙසේය.

අපි මේ සල්ලි තියෙනවට නොවෙයි ගොවිතැන් බත් කළේ. රටේ තියෙන කොරෝනා වගේම රටේම තියෙන දාහක් ප‍්‍රශ්න එක්ක අපේ පවුල් ජීවත් කරවන්නයි. අපිට පුළුවන් මේ කුරුසිකරුමේ කළේ අද ඒක කරුමෙට හිටලා.

ගොයිතැන් බත් ලාභ වෙනවා පාඩු වෙනවා තමයි. ඒත් ඉතින් මේ වගේ අබග්ග වෙනකොට අපිට ආයිත් ඔලූව උස්සනවා තියා මොනවද මීට පස්සේ කොරන්නේ කියලා හිතා ගන්නවත් බැරුවයි ඉන්නේ. ඇයි තාමත් මේ වතුර අපේ ගොවිබිම් වලින් බැහැලා ගිහින් නෑ. ආයිත් වහිනවා. ආයිත් එකතු වෙනවා. පැළයක් වුණත් නිසි කල වයසේදී වැඩෙන්න ඉර එළිය වාතය ඕනි. දැන් වතුරට යට වෙලා හින්දා ඒවා ලැබෙන්නේ නෑ. මුල් වලින් පොහොර ලබාගන්න බෑ. ඉතින් ගහ ඇට්ටර වෙනවා. වැඩෙන්නේ නෑ. මල් පීදෙන කාලය පහු වෙලා. අල බහින, කරල් ගෙඩි හැදෙන කාල පහු වෙලා. ගස් පැළ හීන්දෑරි වෙලා. කහවෙලා, මලානික වෙලා. ඉක්මනින් මැරෙනවා. අපට දැන් ඉතිරි වෙලා තියෙන්නේ කහ ගැහුණු පරඬැල් විතරයි.

අක්කර පහක පමණ කහ වගාවක් සිදුකළ සුමනසිරි ගොවි මහතා පැවැසුවේ ලක්‍ෂ හතර පහක් වියදම් කොට මහන්සි වී තමා සෑදූ කහ වගාවන් ජලයට යට වී කොළ කහ ගැන්වී ඇති බවත්, අල බැසීමට පෙරම තමාගේ වගාව විනාශ වී යෑමෙන් තමා දැනටමත් බලවත් සේ දුකෙන් කණගාටුවෙන් පසුවන බවත්ය. ජනවාරි මාසයේදී අල ගලවා ලක්‍ෂ දහයක් පමණ උපයාගැනීමට අපේක්‍ෂා කළද අද වැය කළ මුදල අපතේ ගොස් එම මුදල් ලබාගත් බැංකුවට ආපසු ණය මුදල් ගෙවීමට බැරි ගොවියෙකු ලෙස තමා පත්වී ඇති බවත්ය.

ගොවීන්ට වැස්සත් බැට දෙයි

මෙදා මං මුං ඇට බීජ ගත්තේ කිලෝව රුපියල් දාහ (1000/-) ට. දැන් වගාවේ මල් පීදෙමින් තිබුණේ. මල් වැස්සට හේදිලා ගස් වැස්සට කහ වෙලා මැරීගෙන යමින් තියෙනවා. ආයෙ ඉතින් සුම්මා තමා. මුං ගොවියෙක් පැවැසුවේ බලාපොරොත්තු සියල්ල දිය වී සේදී ගිය නියායෙනි.

තල වගා කළ ගොවීන් ද පැවැසුවේ, මහ වැස්ස තල මල් ද සෝදා, තල ගස් ද දිය කරමින් වැස්ස වැටුණු නිසා, තල ලබන කන්නයට ඉසීමටවත් සොයාගැනීමට නොහැකි වන බවයි. දිගු කලක්ම අවුව නොවැටුණ නිසාවෙන්, පණුවන්, දළඹුවන් වැනි පළිබෝධකයින්ද, දිලීර පුස් රෝග ද ඉතිරි වී ඇති බෝග වගාවල ව්‍යාප්ත වෙමින් තිබේ. එය ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නා සේය.

ඒ මදිවාට දිගුකලක් තිස්සේ මහ වැසි නිසා ආහාර සොයායෑමට නොහැකි වූ රිළවුන්, වඳුරන්, දඬු ලේනුන්, වලි කුකුළන්, මොනරුන්, සාවුන්, ඉත්තෑවුන්, ඌරන්, මුවන් ඉතිරිව ඇති ගොවි බිම්වල ඉතිරිව ඇති මල්, ගෙඩි හා පැළද කාදැමීමට පැමිණ සිටින බැවින් ගොවියාට සිටින සතුරාට මදිව තව සතුරන් රැළකගේ ප‍්‍රහාරයන්ටද මූණදීමට සිදුව තිබේ. පැරදුණු, වැරදුණු ගොවියා තව දුරටත් පැරදෙමින් සිටී.

වඩාත්ම බිහිසුනු හා ප‍්‍රචණ්ඩකාරී අභියෝගය හා මරණීය තර්ජනය එල්ල වන්නේ ගම් වදින වන අලින්ගෙනි. වැවු, ජලාශ, දිය කඩිති පිරී ඇති හෙයින් කෑමසොයා අලි ගම් වදිති. උන් කුඹුරුවල ඇති දළු ගොයම්, පොල්, කෙසෙල්, අඹ මෙන්ම නිවෙස්වල ඇති ගොවීන් සතුව ඉතිරිව ඇති එකම ආහාරවේල වී මිටි පිටින් නිවෙස් කඩාදමා හෝ ගිල දැමීමට සූදානම් වී සිටින්නේ. පාතාල චණ්ඩින් හා මැරයින් පරිද්දෙනි. මේ දිනවල ගොවීන්, ගම්මාන අසලම මරුවැල් තුවක්කු කඳන් බඳින්නේද හොර තුවක්කුවලින් අලින්ට වෙඩි තබන්නේද ඔවුනට වෙනත් කිසිත් කළ නොහැකි නිසාවෙනි. චණ්ඩින්ට උණ්ඩෙන් මිස දණ්ඩෙන් හා දණ්ඩ නමස්කාරයෙන් පිළිතුරු දීමෙන් ඵලක් නැතැයි වේදනාවටත්, කෝපයටත් පත් ගොවීහු පවසති. සෙම්බුකුලිය ගම්මානයේ කජු ගොවියෙකු වන ටී. එම්. කපුරුබණ්ඩා ගොවි මහතා පැවැසුවේ මෙසේයි.

මම වපුරපු තල අක්කර පහම වතුරට දියවෙලා. එක ගහක් නෑ. මට ඉතිරිවෙලා තිබුණ අක්කර පහක කජු වගාවේ ලොකු ගස් 50-60 ක් අලින් පෙරලලා කජු මුල් කන්නට. දැන් කජු ඉඩමට යන්නත් බයයි. උන් ඒක අරක්ගෙන. හරක් වගේ අලි රැළක් එක්කලා මං මොනව කරන්නද? අලි වෙඩිවලට උන් පුරුදු වෙලා. කන් දෙපැත්තට හොල්ලලා නිකං ඉන්නවා හරියට උන්ටම අධෝවාතයක් ගියා වාගේ. මම වගාව අතෑරලා දාලා තියෙන්නේ. උඹලටම ඇතිවෙන තුරු කාලා පලයල්ලා කියලා. මට නිකරුණේ මැරුම් කන්න බෑ. ඔහු සමග කතා කරද්දීත් ගම්මුන් ගමපුරා අලි වෙඩි පත්තුකරන ශබ්දය දසතින් ඇසුනි. වන ජීවි මහතුන්ට ද අලින් එළවා එපා වී ඇති සෙයකි.

අලියාද මිනිසාගේ ක‍්‍රියාකාරකම්වලට අනුගත වෙමින්, බුද්ධිමත් වෙමින්, කපටි වෙමින්, සිය ආහාර වේල සොයා සපයාගන්නේ කාටත් පුදුම සිතෙන ආකාරයෙනි. ගම්වටා අලි වැට ගසා තිබුණද, දිගු ගස් කඩා පෙරළා දමා හෝ එසේත් නැතිනම් දැවැන්ත කොට උසුලා රැගෙන විත් අලිවැට මත දමා පෙරළා එහාමෙහා යනෙනයුරු විශ්මය උපදවයි. අලින්ගේ ගමනට කිසිදු බාධාවකින් බාධා කළ නොහැකි බව උන් අපට අපගේ ඇස් පනාපිටම පෙන්වා දෙයි. අලියට පෑගිලා වසුරුත් ගියා දැයි ගැමි කියමනට අනුව අලිනට හසු වූ වගාවන් ගැන කියනුම කවරේද?

රජයෙන් නම් අපට ශත පහක සහනයක් ලැබෙයි කියලා හිතන්නවත් බෑ. රජය හා රජයේ සහන ගැන දැඩි කලකිරීමෙන් හා පිළිකුලෙන් යුතුව ගොවියෝ පවසති. උන් අද අසරණය. ගොවීන් අද දුකේය. වැළපුනේය. රජයට ඒවා ඇසේද, පෙනේ ද? හරියට අර ජාතක කතාවක තියෙනවානේ ගැල් පන්සීයක් අරන් ගැල් කරුවෝ කාන්තාරය මැදින් වෙළදාමේ යද්දී කට්ටියට නින්ද ගිය වේලේ ගවයින් කරත්ත ඇදගෙන මුළු රැයක් පුරා වටයක් ඇද ගෙන ගිහින් ආපසු හිටි තැනටම ආවා කියලා. ආණ්ඩුවත් ඒ වගේ. පොහොරයි, රසායනික තෙල් ප‍්‍රශ්නයට ලොකු වටයක් ආණ්ඩුව කැරකිලා ආයිත් හිටි තැනටම ඇවිත් දැන් අපට රසායනික පෝර, තෙල් දෙන්න හදනවා. දැන් කෝ අපට වගාව. ආණ්ඩුව කොරන මඤ්ඤං වැඩ හින්දා ගොයියක් හාන්සියි, රටත් හාන්සයි. දැන් ආණ්ඩුව අපට ආපසු වගාවට, මුදල්, බීජ සහන සපයා දෙන්න ඕනි. එත්් දැන් කන්නෙ ගිහිල්ලා ගාල වහන කොට හරක් ටික පැනලා ගිහිල්ලා. දැඩි කේන්තියෙන් පසු වූ, පසුගිය දිනවල ගොවි උද්ඝෝෂණවලටද හවුල් වූ ගොවියෙක් මා සමඟ පැවැසූවේ වේගවත් වෙමිනි. ගොවිරාළ ලා කියන්නේ කාටවත් වරදක් කරන්න අකමැති පිරිසක්. අඩුම තරමේ වක්කඬේ වතුර බොන තලගොයාටත් අනුකම්පා කරන පිරිසක්. එහෙව් පිරිසක් අලින්ට වෙඩි තියන්ඩ, හක්ක පටස් හදන්ඩ, කඳන් බඳින්ඩ, වයිරක්කාරයෝ වුණේ කොහොමද? වෙන කොරන්ඩ දෙයක් නැති හන්දයි ආණ්ඩුව ගොයියා, ගොයිතැන රැක බලාගන්නේ නැති හන්දයි. මිනිස්සුන්ගෙ වයිරය කොච්චරද කියනවා නම් පහුගිය දවස්වල මැති ඇමැත්තන්ගේ පඹයෝ පිච්චුවා. කෝටුවලින් පාර දුන්නා. කවුද ගොයියගේ කේනිතිය, වයිරය ඇවිස්සුවේ? වයෝවෘද්ධ ගොවිරාළ තිලකෙ අයියා මා සමඟ පැවැසුවේ මේවා රටටම ඇහෙන්ඩ කියන්ඩ ඕනි කියාය.

ගොවියන්ට මේ මාස් කන්නය දැනටම හොඳටම වැදී අවසන්ය. ඔවුන්ගේ ගොවිතැන් සේදී අවසන් ය. ඊළඟ කන්නය වගාව සඳහා බීජ ද, මුදල් ද ඔවුන් සතුව නැත. එමතුද නොව එතෙක් ජීවත් වීමටද උගහටය. වස බීමෙන් ඵලක් නැති බවද ඔවුහු දනිති. මේ ප‍්‍රශ්න, ගැටලූ වලට මුහුණ දීමෙන් ඒ මත්තේම හැපීමෙන් පිළිතුරු සොයා ජීවිත ජයග‍්‍රහණය කිරීම සුදුසු බව දිගු කාලීන ජීවිත පරිඤාණයෙන් ඔවුහු උගෙන සිටිති. රජයද, ගොවි ජනතාවට බීජ, පෝර, මුදල්, සහන සපයා, ගොවි ජනතාව ජීවත් කරවා සුරක්‍ෂිත කිරීම කළ යුතුව තිබේ. මන්ද, තවමත් අපේ කොඳු නාරටිය කෘෂි කර්මාන්තයම වන බැවිනි. තවමත් අපේ රටේ ඔල මොට්ටලයින් තේරුම් නොගෙන ඇත්තේද ඒ ටික මය.

හාල් වෙළෙඳුන්ට කෙළවන්නට යයි කියමින්, සහල් ඕනෑවටත් වඩා සහල් නිෂ්පාදනය කරන අපේ රටට, ගොවියාට නිගා කරමින් රජය පිටරටින් හාල් ගෙන්වයි. කෙළ වුණේ හාල් වෙළඳුනටද අපටද ජනතාව සිතුවේම රටේ පාලකයා සෘජු තීරණ රැගෙන ගොවියා රකිමින් වෙළෙඳුන් මාෆියා කරුවන් අතරමැදියන් පාලනය කරනු ඇත කියාය. අද දවසේ වැඩියෙන් චන්ඩිකම් පාන්නේද වැඩිම ආර්ථික ලාභ ලබනුයේද ඔවුන්ම මිසක අසරණ නිෂ්පාදකයින් වන ගොවීන් නොවේ. දමනය වූ වෙළෙන්දෙක් නැත. රමණය වූ පාලකයින්ද, නිලධාරීන්ද ඇත. මරණය කරා සෙමෙන් ළගා වන රටේ ගොවි පිරිස්ද ඇත.

ගොවියා හා ගොවිතැන නම් වූ මහා යාන්ත‍්‍රික දත්ත ක‍්‍රියාවිරහිත වූ විට සමස්ත යන්ත‍්‍රයම අඩපණ වනු ඇත. නවතිනු ඇත. එවිට රුපියල් පමණක් නොව ඩොලර්ද නොලැබෙනු ඇත.

එපමණක් ද නොවේ. බඩගින්න, පිපාසාව, රට පුරා ඉතිරී පැතිරී යනු ඇත. ඒ පසුපස දරිද්‍රතාව, දූෂණය, සොරකම මැරකම, හඬා එනු ඇත. රට අවුල් ජාලයක්ම වනු ඇත. එවිට පඹයින් පමණක් නොව පණ පිටින්ම ඇතැමුන් පහර කනු ඇති. තවමත්ම මහ වැසි දිනපතාම පාහේ ඇද හැළෙමින් පවතී. ඒ වැටෙන්නේ ගොවි කඳුළුයි. ඒ ගොවි කඳුළු, හේන්, කුඹුරු වගා බිම් හරහා වැව්, ජලාශ, ගංගා හරහා මහ මුහුදටම ගලායනු ඇති. කොටසක් පොළවට උරා මිහිමව හඬවනු ඇති. ඉදින් හෙළුෑ කඳුළු පොළවට එක් වුණා දෝ ගැලූ කඳුළු මුහුදට එක් වුණදෝ.

ටෙරන්ස් වනිගසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment