චමරිගේ දිරිය පිතිහරඹය ශ්‍රී ලංකාවට මිහිර තරගාවලි ජයක් ගෙන දෙයි

1404

පන්දු 80 යි ලකුණු 140 යි 4-13, 6-8

ශ්‍රී ලංකා නවසීලන්ත කාන්තා එක්දින ක්‍රිකට් තරග ඉතිහාසය වෙනස් කරමින් මෙන්ම ක්‍රිකට් වාර්තා පොත් අලුත් කරමින් නවසීලන්තයට එරෙහිව පළමු එක්දින තරගාවලි ජයග්‍රහණය ශ්‍රී ලංකාව ඉදිරියේ සටහන් කිරීමට ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු ඊයේ (03 වැනිදා) සමත් වූවාය.

ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සතර අතට වැරෙන් පන්දුවට පහර දෙමින් චමරි දියත් කළ දිරිය පිතිහරඹය හමුවේ නවසීලන්තයට කඩුලු අටක පරාජයක් හිමි වූ අතර පළමු තරගයෙන් ද ශ්‍රී ලංකාව හමුවේ පරාජයට පත්වූ නවසීලන්තයට ඒ අනුව තරඟාවලි පරාජයක් හිමිවිය.

ශ්‍රී ලංකාව නවසීලන්තයට එරෙහිව ලද එම එක්දින තරගාවලි ජයග්‍රහණයේ පළමු තරගයේද නොදැවී ශතකයක් ලබා ගනිමින් වීරවරිය බවට පත්වූ චමරි විවාදයකින් තොරවම තරගාවලියේ වීරවරිය සහ දෙවන තරඟයේ වීරවරිය බවටද පත් වූවාය.

වර්ෂාව හේතුවෙන් පන්දුවාර 31 කට සීමා වූ නවසීලන්ත ඉනිම කඩුළු දෙකක් දැවී ලකුණු 127 ක් ලෙස සටහන් වූ අතර ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ශ්‍රී ලංකාවට පන්දු වාර 29 ක දී ලකුණු 196 ක ඉලක්කයක් හිමිවිය.

ප්‍රබල නවසීලන්ත පන්දු යවන්නියන් හමුවේ චමරි, නිලක්ශිගේ සහාය ද ඇතිව එම ඉලක්කය පසුකර යාමට ගත කර තිබුණේ පන්දු වාර 26 යි පන්දු 5ක් පමණි.

එම ලකුණු 196 න් ලකුණු 140 කටම වගකියමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා රැගෙන ගිය චමරි දෙවැනි කඩුල්ල සඳහා නිලක්ශි ද සිල්වා සමග පන්දු වාර 23.2 කදී නොබිඳුණු ලකුණු 190 ක වාර්තාගත සම්බන්ධතාවයක් පැවැත්වූවාය.

චමරි ඊයේ පන්දු 80 කදී හතරේ පහර 13ක් සහ හයේ පහර 9 ක් සමගින් නොදැවී ලකුණු 140 ක් ලබා ගත් අතර එම ශතකය චමරිගේ ක්‍රිකට් දිවියේ 8 වැනි ශතකය වූවාය.

ඒ අනුව ලෝක එක්දින ක්‍රිකට් පිටියේ ශතක අටක් ලැබූ 8 වෙනි පිතිකාරිනිය බවට ද ඇය පත් වූවාය. තමන් මුහුණ දුන් 60 වන පන්දුවේදී ඇය ලබාගත් එම ශතකය ලොව වේගවත්ම 4 වන එක්දින ශතකය මෙන්ම ඇයගේ පිත්තෙන් වාර්තා වූ වේගවත්ම එක්දින ශතකය ද විය.

තරග 94 කට සහභාගී වී ඇති වමත් පිතිකාරිණි චමරි අතින් ඊයේ වාර්තා වූ ඇගේ 8 වෙනි එක්දින ජාත්‍යන්තර ශතකයට සහ ශ්‍රී ලංකා ජයග්‍රහණයට අනගි සහායක් ලබාදුන් අංක 4 පිතිකාරිණි නිලක්ශි ද සිල්වා පන්දු 68 කදී නොදැවී ලකුණු 48 ක් ලබාගත්තාය.

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ක්‍රීඩිකාව වන නායිකා චමරි අතපත්තු නැවැත්වීම සඳහා සැලසුම් කීපයක් තිබෙන බව තරඟාවලිය ආරම්භයට පෙර නවසීලන්ත නායිකා සෝපී ඩිවයින් පැවසුව ද මෙම තරඟයේ දී සහ පළමු තරඟයේ දී චමරි නතර කරන්නට ඔවුන් එකොළොස් දෙනාටම නොහැකි විය.

ඒ සමගම ශ්‍රී ලංකාවට එරෙහි පළමු හා අමිහිරි තරඟාවලි පරාජය ද නවසීලන්තයට විඳින්නට ඊයේ සිදුවිය.

දෙරට අතර පන්දුවාර විස්සයි විස්ස තරගාවලිය ලබන 6 වෙනිදා ආරම්භ වෙයි.

ලකුණු සාරාංශය

නවසීලන්තය 127/2 (31)

සුශී බේට්ස් නොදැවී 63, සෝපියා ඩිවයින් නොදැවී 38

ශ්‍රී ලංකාව 196/2 (26.5)

චමරි අතපත්තු නොදැවී 140, නිලක්ශි ද සිල්වා නොදැවී 48

advertistmentadvertistment
advertistmentadvertistment