චීන සමාගමේ අභියාචනය විසිවෙයි

245

මහකිතුල උමග සහ මහකිරුළ ජලාශ ව්‍යාපෘතිය අතරමග නවතා දැමීමෙන් සේවය අහිමි වූ ඉංජිනේරුවන් ඇතුළු සේවකයින් 25 දෙනකුට මාස දෙකක වැටුප් ලෙස රුපියල් අනූ ලක්ෂ හැටදහසක් ගෙවන්නැයි කම්කරු කොමසාරිස් ජෙනරාල්වරයා කළ නියෝගයකට එරෙහිව ව්‍යාපෘතිය භාරව කටයුතු කළ චීන සමාගම ගොනු කළ අභියාචන පෙත්සම නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය නියෝග කළේය.

2023 අංක 23 දරන අති විශේෂ සංශෝධිත පනතේ 10 ආ වගන්තිය ප්‍රකාරව සහ 1971 අංක 45 දරන කම්කරුවන්ගේ රස්සාව අවසන් කිරීමේ විශේෂ විධිවිධාන පනත ප්‍රකාරව මාස දෙකක පඩි ගෙවීමකින් තොරව සේවකයකුගේ සේවය අවසන් කිරීමට නොහැකි බවට ඉංජිනේරුවන් ඇතුළු සේවකයින් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ඒ. ඒ. තිලකරත්න මහතා ඉදිරිපත් කළ විරෝධතාව පිළිගත් අභියාචනාධිකරණ විනිසුරුවන් වන සම්පත් විජේරත්න මහතා සහ එම්.ඒ.ආර්. මරික්කාර් යන මහත්වරු මෙම නියෝග නිකුත් කළහ.

මහකිතුළ ඇතුල්වීමේ උමග සංවර්ධන ව්‍යාපෘතිය ශ්‍රී ලංකා මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය සමග ඒකාබද්ධව ඇතිකර ගත් ගිවිසුමක් ප්‍රකාරව චීනයේ සී.ඒ.එම්.සී ඉංජිනේරු සමාගම විසින් ඉදිකිරීම් ආරම්භ කරන ලදි.

මෙරට ඇති වූ කොවිඩ් වසංගත තත්ත්වය සහ ආර්ථික අර්බුදය හේතුකොට ගෙන ව්‍යාපෘතිය අඩාල වීම හේතුවෙන් අදාළ ගිවිසුම අවලංගු කර ව්‍යාපෘතිය නතර කිරීමට චීන සමාගම කම්කරු කොමසාරිස්වරයාගෙන් අවසර ඉල්ලා සිටියේය.

පසුගිය 2023 අප්‍රේල් මස 16 වැනිදා ව්‍යාපෘතිය නතර කිරීමේ ඉල්ලීම කම්කරු කොමසාරිස්වරයාට කළ අතර ඒ සම්බන්ධයෙන් නියෝගයක් ජූලි මස 13 වැනි දින නිකුත් කළ කම්කරු කොමසාරිස් ජනරාල්වරයා රුපියල් අනූ ලක්ෂ හැට දහසක් (9060000.00) කම්කරු දෙපාර්තමේන්තුවේ තැන්පත් කිරීමෙන් අනතුරුව ව්‍යාපෘතිය අවසන් කරන ලෙසට දන්වා සිටියේය. 1971 අංක 45 දරන කම්කරුවන්ගේ රස්සාව අවසන් කිරීමේ පනතේ දෙකේ, දෙක වගන්තිය ප්‍රකාරව මෙම මුදල් තැන්පත් කරන ලෙසට වැඩිදුරටත් නියෝග කර ඇත. කොමසාරිස්වරයා නිකුත් කළ එම නියෝගයට එරෙහිව චීන සමාගම විසින් අභියාචනා පෙත්සම ගොනුකර තිබිණි.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment