ජගත් තරගාවලි 3ක් අරබයා අවසන් තේරීමේ තරගාවලිය මාර්තු 01 සහ 02

45

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලි 3 ක් ඉලක්ක කොට ගෙන අවසන් තේරීමේ තරගාවලිය ලබන මස 01 වැනිදා සහ 02 වැනිදා දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය තීරණය කර ඇත.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය විසින් මේ වන විට වයස අවුරුදු 20 න් පහළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 33ක ගෙන් සමන්විත ජාතික කනිෂ්ඨ සංචිතයක් පිහිටුවා ඇති අතර ඒ සඳහා ක්‍රීඩකයින් 22ක් සහ ක්‍රීඩිකාවන් 11ක් ඇතුළත් වෙති.

අදාළ තේරීමේ තරගාවලිය විවෘත ආකාරයෙන් පැවැත්වීමට තීරණය කොට ඇති හෙයින් සංචිතයට ඇතුළත් නොවන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ද පෙබරවාරි 12 වැනිදා තෙක් අයදුම්පත් යොමු කළ හැකි බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය පවසයි.

මෙම වසරේ කනිෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා ඇති ප්‍රධානතම තරගාවලි ලෙස 21 වැනි ආසියානු කනිෂ්ඨ 20න් පහළ මලල ක්‍රීඩා ශූරතාවලිය අප්‍රේල් 24-27 (ඩුබායි එක්සත් අරාබි එමීර් රාජ්‍යය), ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාව අගෝස්තු 26-31 (පේරු ලීමා) සහ දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාව අගෝස්තු 12-14 (චෙන්නායි, ඉන්දියාව) දැක්විය හැක.

ඒ අතරින් ආසන්නතම තරගාවලිය වන ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 15 කට ආසන්න සංඛ්‍යාවක් සහභාගි කරවීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය දැනට සැලසුම් කොට ඇත.

ආසියානු මලල ක්‍රීඩා සංගමය විසින් අදාළ තරගාවලිය නියෝජනය කරවීමේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් 13ක් පමණක් සහභාගි කරවන ලෙස මෙරට බලධාරීන්ට උපදෙස් දී ඇත.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment