ජනමතය කාටද කියලා සමුපකාර ඡන්දවලින් පේනවා

4045

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ සාගර කාරියවසම් මහතා

දෙමළ නිජභූමියක් තිබුණේ නැහැ…කුරුන්දි විහාරය සිංහල බෞද්ධයන්ගේ

කුරුන්දි විහාරයට අයත් ඉඩම් නිදහස් කිරීමට කටයුතු නොකිරීම නිසා පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට ඉල්ලා අස්වීමට සිදුවිය. එම විහාරයට අයත් ඉඩම් පිළිබඳ ප්‍රශ්නය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කීර්ති නාමය කෙරෙහිද ඍජුවම බලපාන කාරණයකි. එම කාරණය පිළිබඳව මෙන්ම ආණ්ඩුව සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන දීගය පිළිබඳව ද අප ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතාගෙන් විමසා සිටියෙමු. ඒ සම්බන්ධයෙන් මහලේකම්වරයා පළ කළ අදහස් පහත පරිදිවේ.

ප්‍රශ්නය – පසුගිය 14 වැනිදා ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුවට සම්බන්ධ පක්‍ෂවල නායකයන් සහභාගි වූ රැස්වීමක් පැවැත්වූවා. එම රැස්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ඔබත්, බැසිල් රාජපක්‍ෂ මහතාත් සහභාගි වූ බව වාර්තා වනවා. එම රැස්වීමේදී සාකච්ඡා වූ කරුණු කාරණා මොනවා ද?

පිළිතුර – එහිදී රජයක් ලෙස කටයුතු කිරීමේදී රජයට සම්බන්ධ පක්‍ෂ දායකත්වය දක්වන ආකාරය පිළිබඳ මූලික සාකච්ඡාවක් එදින පැවැත්වූවා. එම රැස්වීම ඉතා සුහදව පැවති සාර්ථක රැස්වීමක් බව සඳහන් කිරීමට පුළුවන්.

ප්‍රශ්නය – ආණ්ඩුවේ ඉදිරි කටයුතු පිළිබඳව එහිදී සාකච්ඡා වූයේ මොනවාද?

පිළිතුර – පසුගිය සඳුදා ජනාධිපතිතුමාගේ රැස්වීමක් කැඳවා තිබෙනවා කමිටුවක් විධියට. එම කමිටුවට ආණ්ඩුවේ ඇමැතිවරුන්ට අමතරව අපගේ පක්‍ෂයේ දිස්ත්‍රික් නායකයනුත් කැඳවා තිබුණා. එම රැස්වීම පිළිබඳව වැරදි තොරතුරු සමහර මාධ්‍යවල පළ වී තිබුණා. එම රැස්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයා ලෙස මහින්ද රාජපක්‍ෂ මහතාටත්, ලේකම්වරයා ලෙස මටත් ආරාධනා කර තිබියදී ඊට සහභාගි නොවීම පිළිබඳවත් සඳහන් කරලා තිබුණා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට ඇමැති ධුර ලබා නොදීමට උරණ වී අපි එම රැස්වීමට සහභාගි නොවූ බවත් සඳහන් කරලා තිබුණා. එම නිසා ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් කළ යුතු වනවා.

අපි පක්‍ෂයක් ලෙස ස්ථාවරයක සිටියා කමිටු පිහිටුවීමට පෙර පක්‍ෂවල නායකයන් හමුවී එම කමිටුවල කාර්යභාරය කුමක්ද කියන එක පිළිබඳව මෙන්ම වපසරිය කුමක්ද කියන එක පිළිබඳව යම් තීන්දුවක් ගත යුතු බවට. අපි ඒ පිළිබඳව ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමකුත් කරලා තිබුණා. ඒ අනුව අපි පක්‍ෂයක් ලෙස තීන්දු කළ පසුගිය සඳුදා පැවති කමිටු රැස්වීමට සහභාගි නොවන්න. අපි බොහොම ස්තුතිවන්ත වනවා ජනාධිපතිතුමා පක්‍ෂ නායක රැස්වීමක් කැඳවා අපගේ අදහස්වලට සවන් දීලා ඉදිරියේදී කටයුතු කිරීමේදී එක් එක් පක්‍ෂවල ප්‍රතිපත්තිවලට අනුකූලව කටයුතු කරන්නේ කෙසේද යන්න පිළිබඳව යම්කිසි සාකච්ඡාවක් පැවැත්වීම පිළිබඳව.

ප්‍රශ්නය – එම රැස්වීමේදී අමාත්‍ය ධුර ලබානොදීම පිළිබඳව සාකච්ඡා වූවාද?

පිළිතුර – නැහැ. එම රැස්වීම අමාත්‍ය ධුර ලබාදීමට අදාළ එකක් නොවෙයි. නමුත් අමාත්‍ය ධුර ඉල්ලීම සම්බන්ධයෙන් යම් සඳහනක් කළ යුතු වනවා. මේ රටේ ජනතාව පසුගිය මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන සංධානයට 2/3 බලයක් පාර්ලිමේන්තුවේ ලබා දුන්නා. ඒ වගේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉදිරිපත් කළ අපේක්‍ෂකයාට 69%ක ජනවරමක් ලැබුණා. එම ජනවරම ඕපපාතිකව ලැබුණු එකක් නොවෙයි. එම ජනවරම සඳහා මහින්ද රාජපක්‍ෂ මහතා මේ රට හමුවේ තැබූ ප්‍රතිපත්ති මෙන්ම එතුමා ඒ සඳහා කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් ජනතාව තුළ ප්‍රසාදයත් බලපෑවා. ඒ වගේම බැසිල් රාජපක්‍ෂ මහතාගේ දැඩි සංවිධාන ශක්තිය මත ගොඩනැගුණු පක්‍ෂයක් තුළින් අපේ නායකයන් ගමින් ගමට ගෙයින් ගෙයට ගිහිල්ලා සාමාජිකයන් බඳවා ගනිමින් ජනතාව දැනුවත් කිරීමත් එම ජයග්‍රහණය සඳහා බලපෑවා. එම සාධකයන් මත ජනාධිපති ධුරයට පත් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට, සිය ධුර කාලය සම්පූර්ණ කිරීමට නොහැකි වූ අවස්ථාවේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බහුතරයක් තීරණය කළා ඉතිරි ධුර කාලය සඳහා රනිල් වික්‍රමසිංහ මහතා පත් කිරීමට. එම නිසා පක්‍ෂයක් ලෙස අපිට අයිතියක් තිබෙනවා ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කළ නායකයන් වෙනුවෙන් යම් ඉල්ලීමක් කිරීමට ඒ අනුව අපි රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වූ අවස්ථාවේදීම ලිඛිතවම ඉල්ලීමක් කළා අපගේ පක්‍ෂය ගොඩනැගීම සඳහා කැපවුණ ජනතා ප්‍රසාදයට පත්වූ නායකයන්ට රජයේ වගකීමක් බාරදෙන්න කියලා. ඒක බොහොම සාධාරණ ඉල්ලීමක්. එම නිසා කාටවත් එහි වරදක් දකින්න බැහැ. ඒ ඉල්ලීම අදටත් වලංගුයි. එම ඉල්ලීම කිරීමට පක්‍ෂයක් ලෙස අපිට අයිතියක් තිබෙනවා. ජනාධිපතිතුමා විවිධ අවස්ථාවල විවිධ කාරණා කියමින් එම ඉල්ලීම මේ දක්වා ඉටුකිරීමට කටයුතු කර නැහැ. නමුත් පක්‍ෂයක් ලෙස බැගෑපත්ව එම ඉල්ලීම කරන මට්ටමක අපි නැහැ. අපි හිතනවා එතුමා අපගේ ඉල්ලීමට ප්‍රතිචාර දක්වාවි කියලා. නමුත් එතුමා හිතනවා නම් එම ඉල්ලීමට ප්‍රතිචාර දැක්විය යුතු නැහැ කියලා. එසේ වුවත් අපි බැගෑපත්වීමට සූදානම් නැහැ කියලා ඉතා පැහැදිලිව කිව්වා.

ප්‍රශ්නය – කුරුන්දි විහාරයට අයත් ඉඩම් නිදහස් නොකිරීම නිසා පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට ඉල්ලා අස්වීමට සිද්ධවූවා. අපි දන්නවා ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ සමයේදී කූරගල බෞද්ධ උරුමය තහවුරු කිරීමට කටයුතු කළා. කුරුන්දි විහාරයට අයත් ඉඩම් සම්බන්ධයෙන් සඳහන් කිරීමට තිබෙන්නේ කුමක් ද?

පිළිතුර – පසුගිය ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී මේ රටේ ජනතාව ගෝඨාභය රාජපක්‍ෂ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආණ්ඩුවක් බලයට පත් කළේ මේ රටේ ඒකීයභාවය. මේ රටේ ජාතික උරුමයන් සහ මේ රට රැකගනීවි යන විශ්වාසය ඇතිව. එම ජනවරමේ ඉතිරි කාලය සඳහා තමයි රනිල් වික්‍රමසිංහ මහතා අද වන විට බලයට පත් වී සිටින්නේ. ඒ වගේම ජනාධිපතිතුමා ව්‍යවස්ථාවෙන්ම බැඳිලා සිටිනවා බුද්ධාගම මෙන්ම මේ රටේ ජාතික සම්පත් ආරක්‍ෂා කිරීමට. එම නිසා ව්‍යවස්ථාවට සහ ජනවරමට පටහැනි දෙයක් නොකළ යුතුය යන තැන අපි සිටිනවා. එයින් මම අදහස් කරන්නේ නැහැ එතුමා ඊට පටහැනි දෙයක් කළා කියලා.

මේ ඇතිවෙලා තිබෙන ප්‍රශ්නය අපි නිරවුල්ව අවබෝධ කරගත යුතුව තිබෙනවා. වාර්තා වන ආකාරයට ගැටලුකාරී තත්ත්වයක් ඇති වී තිබෙන්නේ අක්කර පහක පමණ ඉඩමක් සම්බන්ධයෙන්. එම ඉඩම පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් ඉඩමක්ද එසේත් නොමැති නම් කුඹුරක් ද කියන එක පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවටම සොයා බැලීමේ හැකියාව තිබෙනවා. වසර ගණනාවක් පුරා වගා කළ ඉඩමක් නම් එහි පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුතු නටබුන් සාක්‍ෂි සාධක තිබෙන්න විධියක් නැහැ. ඒ පිළිබඳව හොඳින් සොයා බලා කටයුතු කළා නම් මෙම ප්‍රශ්නය පහසුවෙන්ම විසඳා ගැනීමේ හැකියාව තිබෙනවා. මෙම ප්‍රශ්නය විශාල ජාතික ප්‍රශ්නයක් ලෙස තවම අපි දකින්නේ නැහැ. අපි බලයට පත්වීමෙන් පසුව ගොවීන්ට වගා කිරීමට ඉඩම් ලබාදීමේදීත් මෙබඳු ප්‍රශ්න මතුවූවා. ගූගල් හරහා සීමා මායිම් ලකුණු කිරීමේදී ගොවීන්ගේ හේන් පවා අත්පත් කරගෙන තිබුණා. එවැනි ප්‍රශ්න නිරාකරණය කිරීමට කරුණු කාරණා හොඳින් සොයා බලා කටයුතු කළ යුතුයි.

එහෙත් මෙහිදී තවත් කාරණයක් සඳහන් කළ යුතු වනවා. මේ රට වසර තිහක් දෙමළ බෙදුම්වාදී යුද්ධයකින් බැට කාලා තිබෙනවා. ඒ වගේම දෙමළ බෙදුම්වාදයට උදව් කළ උඩ ගෙඩි දුන්නු අයගේ ප්‍රධාන තර්කය වූයේ මේ රටේ උතුරේ සහ නැගෙනහිර දෙමළ නිජභූමියක් තිබුණා කියන එක. එම අදහස සමග අපි එකඟ වන්නේ නැහැ. මේ රට සියලු ශ්‍රී ලාංකිකයන්ගේ නිජභූමිය මිස මේ රට තුළ දෙමළ නිජභූමියක් තිබෙන්න බැහැ. මේ රටේ දෙමළ නිජභූමියක් තිබුණා කියලා කියන්න ඓතිහාසික සාධක නැහැ.

කුරුන්දි විහාරය මිහිඳු මාහිමියන්ගේ කාලයේ සිට පැවතෙන්නක්. ඉතිහාසය පිළිබඳ විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයකුගෙනුත් මට ඒ පිළිබඳව තොරතුරු දැනගන්න ලැබුණා. එම පුදබිමේ සිට අටුවාවන් පවා රචනා කරලා තිබෙනවා. එම අටුවාවන් කුරුන්දි අටුවාවන් ලෙස නම් කරලා තිබෙනවා. මෙම කුරුන්දි විහාරය පිහිටි භූමියේ අතීතයේදී සිංහල භාෂාව කතාකරන ජනතාවක් ජීවත් වෙලා තිබෙනවා. එම නිසා කුරින්දි විහාරය දෙමළ බෞද්ධයන්ගේ විහාරයක්ය යනුවෙන් ජනාධිපතිතුමා කළ ප්‍රකාශය සමග එකඟවන්න බැහැ. මෙබඳු කාරණා පදනම් කරගෙන දෙමළ බෙදුම්වාදීන් නැවත නැගී සිටීමට උත්සාහ කරනවා. එම නිසා එම විහාරය සම්බන්ධයෙන් ජනාධිපතිතුමා කළ ප්‍රකාශය සමග පක්‍ෂයක් ලෙස අපට නම් එකඟ විය නොහැකි බව සඳහන් කළ යුතු වෙනවා.

ප්‍රශ්නය – පසුගිය 14 වැනිදා පැවති රැස්වීමේදී මෙම කාරණා පිළිබඳව සාකච්ඡා කළාද?

පිළිතුර – එම රැස්වීමේදී අපි පක්‍ෂයක් ලෙස ඉතා පැහැදිලිව ප්‍රකාශ කර සිටියා මේ රටේ ජනතාව අපට ඡන්දය දුන්නේ, අපි මේ රටේ ඒකීයභාවය ආරක්‍ෂා කරාවිය යන විශ්වාසය ඇතිව බව. එම ප්‍රතිපත්තිය තුළ සිට අපි දිගින් දිගටම කටයුතු කරන බව එතුමාට අපි ඉතා පැහැදිලිව ප්‍රකාශ කළා. ජනාධිපතිතුමා ඉතා පරිණත දේශපාලනඥයෙක්. එම නිසා අපි විශ්වාස කරනවා අප කළ ප්‍රකාශය එතුමා හොඳින් තේරුම් ගත්තා කියලා.

ප්‍රශ්නය – දෙමළ ජාතික සන්ධානය ඇතුළු දෙමළ දේශපාලන පක්‍ෂ ප්‍රකාශ කරලා තිබෙනවා ජුලි 30 ට පෙර ඔවුන්ට විසඳුමක් ලබාදිය යුතු බව.

පිළිතුර – කිසියම් පුද්ගලයන් පිරිසකට ප්‍රශ්නයක් තිබෙනවා නම් ඊට විසඳුම් දෙනවාට පක්‍ෂයක් ලෙස අපි ඊට විරුද්ධ වන්නේ නැහැ. කාලය පිළිබඳ ප්‍රශ්නයකුත් නැහැ. නමුත් මෙහිදී තිබෙන ගැටලුව තමයි ඉල්ලා සිටින විසඳුම කුමක්ද කියන එක. මෙහිදී වැදගත් වන්නේ මෙම ඉල්ලීම් මොනවාද කියන එක තමයි. ඒකීයභාවයට හෝ ජනතාව අතර තිබෙන සමගියට බාධාවන යම් ඉල්ලීමක් කරනවා නම් ඊට එකඟ වන්න බැහැ. පක්‍ෂයක් ලෙසත් එම කටයුත්ත කරන්න අපි පසුබට වන්නේ නැහැ.

ප්‍රශ්නය – පළාත් පාලන මැතිවරණය සඳහා බාරගෙන තිබෙන නාම යෝජනා අහෝසිකර එම මැතිවරණය පැරණි සම්ප්‍රදායික ක්‍රමයට පැවැත්වීමේ සූදානමක් තිබෙන බව වාර්තා වනවා. ඒ වගේම පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධනයක් කිරීමට සූදානම් බවත් වාර්තා වනවා. ඒ අතර රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ප්‍රධාන ආණ්ඩුව ජනාධිපතිවරණය පැවැත්වීමට සූදානම් බවත් වාර්තා වෙනවා.ඇත්තටම පළමුවෙන්ම පවත්වන්නේ කුමන මැතිවරණයද?

පිළිතුර – පළමුවෙන්ම නාමයෝජනා අරන් තිබෙන පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ වගකීම රජයට තිබෙනවා. එම මැතිවරණය කල් දමා තිබෙන්නේ මැතිවරණය පැවැත්වීම සඳහා මුදල් නැහැ කියන පදනමේ සිට. මුදල් ලැබුණු වහාම එම මැතිවරණය පැවැත්වීමේ වගකීම රජයට තිබෙනවා.

ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදය අගයන දේශපාලන පක්‍ෂයක ලේකම්වරයා ලෙස මම ප්‍රකාශ කරනවා පළාත් සභා මැතිවරණය ඉතා ඉක්මනින් පවත්වනවා නම් අපි එයට ඉතා කැමති බව. පළාත් සභා මැතිවරණය අතුරුදන් කිරීම සඳහා කටයුතු කළේ එවකට අගමැතිවරයා ලෙස කටයුතු කළ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු 2015 සිට බලයේ සිටි යහපාලන ආණ්ඩුව. එම කටයුතු සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයත් ජනතා විමුක්ති පෙරමුණත්, දෙමළ සන්ධානයත් සම්බන්ධ වූවා. එම මැතිවරණයන් හැකි ඉක්මනින් පැවැත්විය යුතුය යන ස්ථාවරයේ අපි සිටිනවා. මේ වන විට පළාත් සභාවල ජනතා නියෝජිතයන් නැහැ. එම සභාවන් පාලනය වන්නේ ජනාධිපතිතුමා විසින් පත්කරන ලද ආණ්ඩුකාරවරුන් හරහා. එය ප්‍රජාතන්ත්‍රවාදයට ඉතාම අහිතකර තත්ත්වයක්.

පාර්ලිමේන්තු මැතිවරණයත්, ජනාධිපතිවරණයත් නිසි පරිදි පැවැත්විය යුතුය යන ස්ථාවරයේ අපි සිටිනවා.

ප්‍රශ්නය – ඔබ එලෙස සඳහන් කළත්, විපක්‍ෂය නියෝජනය කරන දේශපාලන පක්‍ෂ චෝදනා කරනවා ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්‍ෂය ඇතුළු පක්‍ෂවලට ඡන්ද නොමැති නිසා මැතිවරණ කල් දාන බවට. එම චෝදනා සම්බන්ධයෙන් සඳහන් කිරීමට තිබෙන්නේ කුමක්ද?

පිළිතුර – කිසිම අවස්ථාවක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විධියට අපි ජනාධිපතිතුමාගෙන් පළාත් පාලන ඡන්දය කල්දාන්න කියලා ඉල්ලා සිටියේ නැහැ. අපි තමයි එම මැතිවරණයට කලින්ම සූදානම් වූයේ. නමුත් ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේදී චෝදනා කළා විපක්‍ෂයේ සමහරුන් එතුමාට දුරකථනයෙන් අමතල පළාත් පාලන මැතිවරණය කල් දමන ලෙස ඉල්ලා සිටිය බව.

ඡන්දය නොමැති නිසා පළාත් පාලන මැතිවරණය කල් දැම්මා කියන එක අපට අදාළ වන්නේ නැහැ. අපිට ඡන්ද තිබෙනවාද නැද්ද කියන එක පසුගිය කාලය තුළ පැවති සමුපකාර මැතිවරණවලදී පැහැදිලි වූවා. පසුගිය සතියේදී දැරණියගල – පනාවල සමුපකාර සමිතිය සඳහා පැවති මැතිවරණත්‍ය්දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් තරග කළ අපේක්‍ෂකයන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබා තිබෙනවා. ඒ වගේම ඊට පෙර පැවති බිංගිරිය සමුපකාර සමිති මැතිවරණයේදීත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට විශිෂ්ට ජයග්‍රහණයක් අත්වූවා. ඊටත් පෙර පැවති යටියන්තොට සමුපකාර මැතිවරණයේදීත් අපගේ පක්‍ෂයට විශිෂ්ට ජයග්‍රහණයක් අත්වූවා. එම මැතිවරණ ප්‍රතිඵලවලින් පැහැදිලි වනවා මේ රටේ ජනතාවගේ ජන ජීවිතය නඟාසිටුවීමේ හැකියාව තිබෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පමණයි යන විශ්වාසය ජනතාව තුළ නොනැසී පවතින බව. ඒ වගේම මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රමුඛ රාජපක්‍ෂවරුන් මේ රටට හානියක් කරන්නේ නැහැ කියන විශ්වාසයත් මේ රටේ නියම උරුමක්කාරයන් තුළ තිබෙනවා.

සාකච්ඡා කළේ
එරික් ගාමිණි ජිනප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment