ටයිටැනික් ඛේදවාචකයේ අපේ යුගයේ දුක හිතෙන කතාව ටයිටන්

5595

මිලියනපතියන් හතර දෙනෙක් සමග නියමුවා මුහුණ දුන් අවාසනාවන්ත ඉරණම

මුහුදට දැම්මේ සීල් කරලා

ගිනස් වාර්තාවක් තබපු අයකුත් ඒ අතර

පසුගිය 16 වැනිදා එනම් සිකුරාදා දින ශාන්ත ජෝන් නිව්ෆවුන්ඩ්ලන්තයෙන් පොලාර් ප්‍රින්ස් (Polar Prince) නෞකාව ඓතිහාසික ගමනකට මුල පිරුවේය. එම නෞකාව තුළ ඕෂන් ගේට් (Ocean Gete) සමාගම සතු ටයිටන් (Titan) සබ්මර්සිබලය සහ තවත් සුවිශේෂී පුද්ගලයෝ පස්දෙනෙක් සිටියහ. එනම් ඕෂන් ගේට් (Ocean Gete) ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ස්ටොක්ටොන් රෂ් (Stockton Rush), බ්‍රිතාන්‍ය බිලියනපතියෙක් වන හර්මීෂ් හාඩින් (Hamish Harding), ප්‍රංශ කිමිදුම් ශිල්පී හෙන්රි නාජොලෙට් (Henry Nargoeolet), පාකිස්තාන සම්භවයකින් පැවත එන බ්‍රිතාන්‍යයේ පදිංචි බිලියනපතියෙක් වන ෂෙහෙසාදා ඩාවුඩ් (Shahzada Dawood) සහ ඔහුගේ පුතු වන සුලෙයිමන් ඩාවුඩ් (Suleman Dawood) යන අයයි. මෙම පුද්ගලයන් පස් දෙනාගේ අරමුණ වී තිබුණේ වර්ෂ 1912 දී මුහුදුබත් වූ ටයිටැනික් නෞකාවේ සුන්බුන් පිළිබඳව ගවේෂණයක් සිදු කිරීමයි. එමෙන්ම ඕෂන් ගේට් (Ocean Gete) සමාගම යනු සාගර පුරාවිද්‍යාව සහ සාගර ජීව විද්‍යාව පිළිබඳ පර්යේෂණ සහ ගවේෂණ සිදු කරන ලෝකයම පිළිගත් ආයතනයකි.

මුහුදු ගමන් අරඹා දිනකට පසු පොලාර් ප්‍රින්ස් (Polar Prince) නෞකාව ගමනාන්තයට ළඟා විය. එලෙස ළඟා වූ දිනට පසු දින එනම් ජූනි 18 වැනිදා උදෑසන නමයට පමණ පස්දෙනකුගෙන් සමන්විත වූ එම පිරිස දහසකුත් බලාපොරොත්තු සහිතව ටයිටන් (Titan) සබ්මැරීනයෙන් ඓතිහාසික චාරිකාව ඇරඹීම සඳහා ලක ලෑස්ති වූහ. ඔවුන්ගේ සම්පූර්ණ චාරිකාව පැය අටකට සීමා වී තිබුණි.

ටයිටන් (Titan) සබ්මර්සිබලය ප්‍රමාණයෙන් කුඩා වෑන් රථයකට සමාන විය. එහි දිග අඩි විසිදෙකක් වන අතර බර කිලෝ ග්‍රෑම් දසදහසකි. මෙහි නියමුවා සමග පුද්ගලයන් පස් දෙනකුට ගමන් ගත හැකි වුවත් තිබුණේ එකම ආසනයක් පමණි. ඒ කුඩා ප්‍රමාණයේ වැසිකිළියක් සහිත ආසනයයි. එම නිසා මගීන් අසුන් ගත යුතුව ඇත්තේ බිමයි. තවද දින හතරකට ප්‍රමාණවත් ඔක්සිජන් ප්‍රමාණයක් එහි ගබඩා කර තැබිය හැකිය. පැයට කිලෝමීටර් 5.6 ක උපරිම වේගයකින් මෙම සබ්මර්සිබලය ධාවනය කළ හැකිය. බැටරි බලයෙන් ක්‍රියාත්මක වෙන විදුලි තෙරපුම් හතරකින් තමයි මෙය ධාවනය වන්නේ. මෙම සබ්මර්සිබලය පාලනය කරන්න පාලන පුවරුවක් ආදී කිසිවක් නොමැත. ඒ වෙනුවට තියෙන්නෙ බ්ලූටූත් කන්ට්‍රෝලර් එකක්. තවද සංචාරකයන්ට මෙම යානය තුළදී කැමැති කෝණයකින් මුහුද යට නැරඹිය හැකිය.

ටයිටන් (Titan) සබ්මර්සිබලය පිටත ආවරණ සාදා ඇත්තේ ඝනකම් කාබන් ෆයිබර් වලින්ය. දෙපස අර්ධ ගෝලාකාර කොටස් ටයිටේනියම් වලින් නිම කර තිබේ. එම නිසා මීටර 4000ක් ජලය යටදී එන තෙරපුමට ඔරොත්තු දෙන්න මේ බිත්ති වලට පුළුවන්. සෝනාර් සහ රේඩාර් සංවේදක තියෙන නිසා අඳුරේ වුණත් බාධක මග හැරගන්න මෙම යානයට හැකියාව තියෙනවා. එළියේ අධි තාක්ෂණයෙන් යුතු කැමරා සවිකරලා තියෙනවා. ගැඹුරු මුහුද වුණත් හොඳින් ආලෝකවත් වෙන විදියේ විදුලි පහන් තියෙනවා. සංචාරකයන්ට පිටත නරඹන්න අඩියක විෂ්කම්භයක් සහිත ඝනකම් වෘත්තාකාර වීදුරුවකුත් සපයලා තියෙනවා.

මෙම සබ්මර්සිබලයට අවශ්‍ය වගකීම් සහතික ඒවා නිකුත් කරන සමාගම් වලින් ලබා දීලා නැහැ. එයට හේතුව ඕෂන් ගේට් (Ocean Gete) සමාගම ඒවා ලබාගැනීමේ ක්‍රියාවලියට උනන්දු නොවීම. ඔවුන් ඒ පිළිබඳව දරනුයේ මෙවැන් මතයකි. “වගකීම් සහතික වලින් සබ්මර්සිබලයක ගමන් කරන්නන්ගේ ආරක්ෂාව පිළිබඳ තහවුරුවක් දෙන්න බැහැ. ඒවායෙන් ලබාදෙන්නෙ සබ්මර්සිබලයේ ක්‍රියාකාරිත්වය පිළිබඳ මිනුම් ලකුණු (benchmarks) විතරයි.”

කොහොම නමුත් මේ ටයිටන් සබ්මර්සිබලයෙන් ටයිටැනික් නරඹන්න යනවා නම් එක්කෙනෙක් ගෙන් ඩොලර් 250,000ක් අය කරනවා. ඕෂන් ගේට් (Ocean Gete) සමාගම එක් පුද්ගලයකුගෙන් එලෙස අධික මුදලක් අය කර ගන්නේ ඩොලර් මිලියනයකට වඩා වැඩි මුදලක් එක චාරිකාවකට වැය වෙන නිසා. එම ගෙවීමට අමතරව ගිවිසුමකට අත්සන් තියන්නත් ඕන. ඒ ගිවිසුමේ තැන් තුනකම “මරණය” වචනය සඳහන් වෙලා තියෙනවා.

සල්ලිත් ගෙවලා ගිවිසුමත් අත්සන් කළ පසු එම පිරිස පොලාර් ප්‍රින්ස් (Polar Prince) නෞකාවෙන් ටයිටැනික් නෞකාව මුහුදුබත් වූ උතුරු අත්ලාන්තික් සාගරයේ අදාළ ප්‍රදේශයට රැගෙන ගියහ. ඒ පසුගිය 18 වැනිදා පෙරවරු 9 පමණය. ඉන්පසු ඔවුන් එම ස්ථානයෙන් සබ්මර්සිබලයට ගොඩවූහ. ඔවුන් එලෙස ගොඩ වූ පසු නැවේ ඉන්න කාර්ය මණ්ඩලය සබ්මර්සිබලය පිටතින් වසා බෝල්ට් ඇණ යෙදුවේය. එලෙස බෝල්ට් ඇණ යෙදීමෙන් පසු කිසිදු හේතුවක් මත ඇතුළත ඉන්න අයට චාරිකාව නිමා කර මුහුද මතුපිටට එනතුරු පිටතට පැමිණෙන්න විදිහක් නැහැ. දොරටු එලෙස සීල් කළ පසු ඇතුළේ ඔක්සිජන් ප්‍රමාණවත් වෙන්නේ පුද්ගලයන් පස් දෙනාට පැය අනූ හයකට පමණි.

එලෙස නිරීක්ෂණ චාරිකාවේ නිරත වූ මෙම පිරිස පැය එකයි විනාඩි හතළිස් පහක් මව් යානාව සමඟ සන්නිවේදන කටයුතුවල නිරත වෙමින් සාර්ථකව ගමන් කළහ. එහෙත් පෙරවරු 11.47 එක්වරම ටයිටන් සබ්මර්සිබලය සමග තිබූ සන්නිවේදන කටයුතු ඇනහිටියේය. යළිත් එම සබ්මර්සිබලය සමග සන්නිවේදන කටයුතු ඇති කරගැනීමට උත්සාහ කළත් කිසිවෙකුටත් එය කළ නොහැකි විය. පැය ගණනක් ගත විය. සබ්මර්සිබලය පිළිබඳ කිසිදු තොරතුරක් සොයා ගැනීමට නොහැකි විය. අවසානයේ ඕෂන් ගේට් (Ocean Gete) සමාගම ටයිටන් සබ්මර්සිබලය තම පාලනයෙන් මිදී ඇති බවට තීරණය කළේය. ඒ අනුව එදින සවස 6.35 ට මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ලොවටම ඒ සිද්ධිය පිළිබඳව ඔවුහු පැවසූහ. ඒ සමගම ලෝකවාසී සියලු දෙනාම පාහේ ටයිටන් සබ්මර්සිබලයට සිදුවූ ඛේදවාචකය ගැන දැනගත්හ.

ඛේදජනක මෙම සිද්ධිය දැනගත් පසු පළමුව ඇමරිකන් වෙරළ ආරක්ෂක කණ්ඩායම සහ නාවික හමුදාව එක්ව මෙම සබ්මර්සිබලය සොයා මෙහෙයුම් දියත් කළහ. ඉන්පසු කැනඩාව, ප්‍රංශය ආදී රටවල් දහයක පමණ පිරිස් මෙම මෙහෙයුමට එකතු විය. නවීන තාක්ෂණය උපරිම ආකාරයෙන් භාවිත කරමින් උතුරු අත්ලාන්තික් සාගරයේ වර්ග සැතපුම් දස දහසකට වැඩි වපසරියක ඔවුහු මෙහෙයුම් කටයුතු දියත් කළහ. මෙහෙයුම් වල නිරතවූවන්ට ඉතිරිව තිබුණේ පැය 40 ක කාලයක් පමණි. එම පැය 40 ඇතුළත සබ්මර්සිබලය සොයා ගැනීමට නොහැකි වුවහොත් එහි සිටි පුද්ගලයන්ගේ ජීවිත බේරා ගැනීමට නොහැකි වනු ඇත. එම නිසා කාලය අපතේ නොයවමින් හැකි උපරිම අයුරින් ඔවුහු එම සබ්මර්සිබලය සෙවීමේ මෙහෙයුම් කටයුතුවල නිරත වූහ.

ටයිටැනික් ඛේදවාචකයේ අපේ යුගයේ දුක හිතෙන කතාව ටයිටන්

අඩි 13000 ක් ගැඹුරු මුහුදේ මිනිස්සුන්ට ගිහින් ගවේෂණය කිරීමට අපහසු නිසා රොබෝ යන්ත්‍රයක් යොදවා ගවේෂණ කටයුතු සිදු කළේය. එයිනුත් ඉකුත් 21 වැනිදා සවස වනතුරු සුබදායී තොරතුරක් ලබා ගැනීමට නොහැකි විය. එයට අමතරව ඇමරිකානු නාවික හමුදාව දැනට ලොව ඇති ඉහළම තාක්ෂණයෙන් හෙබි මුහුදු මුර සංචාරක ගුවන් යානා දෙකක් ද යොදවා ගත්තේය. එම යානා මිනිත්තු 30 කට වරක් නිකුතු සංඥා කීපයක් හඳුනාගෙන තිබෙනවා. ඒවා සබ්මර්සිබලය ඇතුළත සිට එහි බඳට පහර දෙන ශබ්ද සංඥාවක් වෙන්න පුළුවන් කියලා සැක කරනවා. එම ශබ්දය අනුව සබ්මර්සිබලය ඒ වෙද්දි තිබිය යුත්තේ ටයිටැනික් නෞකාව තිබෙන ආසන්නයේ බව හෙළිවී තිබේ. ඒ කියන්නේ අඩි 13000 මුහුදු පතුලේ. සමහරු පවසනුයේ එය නිවැරදි සංඥාවක් නොවන බවයි.

තවද සෙවීම් අතර තුර ජලයෙන් කිසියම් ශබ්දයක් සංවේදනය වී ඇති අතර එය ඇසුණු ප්‍රදේශයේ විශේෂඥයන් විසින් සබ්මර්සිබලය සොයමින් සිටින බව එක්සත් ජනපද වෙරළාරක්ෂක බළකාය තහවුරු කළේය. එහි කපිතාන් ජේමි ෆෙඩ්රික් පසුගිය බදාදා බොස්ටන්හි වාර්තාකරුවන්ට පැවසුවේ උතුරු අත්ලාන්තික් සාගරයේ වූ එම ඝෝෂාවන්ට හේතුව තවමත් තහවුරු කර නොමැති නමුත් ටයිටන් සබ්මර්සිබලයෙන් අතුරුදන් වූ පස්දෙනා සොයා ගැනීමට දරන උත්සාහය තවමත් “ගලවා ගැනීමේ මෙහෙයුමක්” බවයි.

එයට අමතරව කපිතාන් ෆ්‍රෙඩ්රික් පැවසුවේ විමර්ශනය කෙරෙන ප්‍රදේශයේ විශාලත්වය දළ වශයෙන් එක්සත් ජනපදයේ කනෙක්ටිකට් ප්‍රාන්තයේ විශාලත්වය මෙන් දෙගුණයක් බවයි. ප්‍රාන්තය වර්ග සැතපුම් 5,000 ක් පමණ වේ.

එසේම ඔවුන් ගමන් කළ සබ්මර්සිබලය අවම වශයෙන් බෝල්ට් 17ක් භාවිත කරමින් පිටතින් ආරක්ෂිතව අගුලු දමා ඇති නිසා ඇතුළට ගිය පසු එලියට පැන යෑමට කිසිසේත්ම මාර්ගයක් නොමැති බවයි.

එසේම ඕෂන් ගේට් (Ocean Gete) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී (සබ්මර්සිබලය තුළ සිටින) ස්ටොක්ටොන් රෂ් (Stocktion Rush) ගේ බිරිඳ වන වෙන්ඩි රෂ් සහ සබ්මැරීනයේ නියමු පුද්ගලයා, 1912 දී මුල් ටයිටැනික් නෞකාවේදී මියගිය යුවළකින් පැවත එන්නන් වීමද සුවිශේෂීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ කපිතාන් ජේමි ෆෙඩ්රික් මෙසේ පැවසීය. “ශුභාරංචිය නම් අපි ශබ්ද අනාවරණය කරගත් ප්‍රදේශයේ සෝදිසි කරමින් සිටිනවා.” ටයිටන් හි ඔක්සිජන් මට්ටම අඩුවීම

ගැන ඔහු මෙසේ පැවසීය: “ඔක්සිජන් යනු එක් දත්ත කැබැල්ලක් පමණි. අපි අධ්‍යයනය කළ යුතු දත්ත ගොඩක් තියෙනවා. ඔක්සිජන් වැදගත් එකම දෙය නොවේ.”

ඒ කෙසේ වෙතත් ඔවුන්ගේ සබ්මර්සිබලයේ සියලු ඔක්සිජන් 22 වැනිදා සවස 3:30 පමණ වන විට අවසන් වන බව පැහැදිලිය.

අවසානයේ නවීන තාක්ෂණය කොතරම් උපයෝගි කරගත්තත් නියමිත වේලාවට පෙර සබ්මර්සිබලය කිසිවකුටත් සොයා ගැනීමට නොහැකි විය. ඒ අනුව පැහැදිලි වනුයේ එහි ගමන්ගත් පස්දෙනා මියගොස් ඇති බවයි.

සබ්මර්සිබලයේ ඔක්සිජන් මට්ටම ඊයේ (22දා) දිනයෙන් අවසන් වුණත්, එම සබ්මර්සිබලය සොයා සිදුකළ මෙහෙයුම් අඛණ්ඩව සිදු කළා.

ඒ අනුව ඉතාමත් ගැඹුරු සාගර පත්ල නිරීක්ෂණය කළ හැකි තාක්ෂණයන් සහිත නෞකාවන් ටයිටැනික් සුන්බුන් සහිත සාගර ප්‍රදේශය වෙත කැඳවා තිබූ අතර ඔවුන් සතුව පවතින ROV මඟින් සාගර පත්ල නිරීක්ෂණය ආරම්භ කළා.

එලෙස නිරීක්ෂණය කිරීමේ දී Horizon Artic නෞකාවට අයත් ROV එක මඟින් ටයිටැනික් නෞකාවේ සුන්බුන්වලට අඩි 1600ක් ඉහළින් පාවෙමින් තිබූ ටයිටන් සබ්මර්සිබලයේ කොටසක් (Tail Cone) සොයා ගත්තේය.

පසුව තවදුරටත් සිදුකරන ලද නිරීක්ෂණයන්වලදී සබ්මැරීනයේ ඉතිරි කොටස් කිහිපයක් ද සොයා ගැනීමට හැකි විය.

අදාළ කොටස් සොයා ගැනීමත් සමඟ මෙහෙයුම්වල නිරත වෙලා සිටි වෙරළ ආරක්ෂක අංශ විසින් සබ්මර්සිබලයට සිදුවූ දේ පිළිබඳව නිගමනයකට පැමිණ තිබූ අතර ඔවුන් මාධ්‍ය හමුවක් කැඳවමින් පවසා තිබුණේ සබ්මර්සිබලය පීඩන කුටීරයේ සිදුවූ දෙයක් හේතුවෙන් විනාශයට පත්ව ඇති බවයි.

ඒ අනුව එහි සිටි සියලු දෙනා මිය ගොස් ඇති බවත් එක්සත් ජනපදයේ වෙරළ ආරක්ෂක බළකාය විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

එමෙන් මිය ගිය පුද්ගලයන්ගේ සිරුරු සොයා ගැනීමට වෙරළ ආරක්ෂක අංශ වෙත අභියෝගයක් වී තිබෙනවා. ඒ අනුව ඇතැම් පුද්ගලයන් විශ්වාස කරන්නේ සිරුරු ටයිටැනික් සුන්බුන් අතරම තිබෙන්නට ඉඩ හරිනු ඇති බවයි. එමෙන්ම මීට පෙර මිනිත්තු 30කට වරක් සෝනාර් බෝයාවන්ට ලැබුණු හඬ සබ්මර්සිබලය වෙතින් ලැබුණු ඒවා නොවන බවත් අදාළ අංශ වාර්තා කරනවා. ඒ අනුව ටයිටන් සබ්මර්සිබලය පළමු දිනයේදීම විනාශයට පත්වන්නට ඇති බවටයි මත පළවන්නේ.

කෙසේ වෙතත් සබ්මර්සිබලයට සැබෑවටම සිදුවූ දේ පිළිබඳව මෙතෙක් කිසිදු ආකාරයක අවසන් නිගමනයකට පැමිණීමට නොහැකි වී ඇති අතර අදාළ සබ්මර්සිබලයේ කොටස් සොයාගත් ප්‍රදේශයේ තවදුරටත් නිරීක්ෂණ කටයුතු සිදුකරමින් පවතී.

මෙම සබ්මර්සිබලයේ සිටි ත්‍රාසජනක නිරීක්ෂණ චාරිකාවක නිරත වූ සියලු දෙනාටම ටයිටැනික් සුන්බුන් හෝ දැකගැනීමට අවස්ථාවක් නොලැබී තිබුණු අතර ඔවුන් අවාසනාවන්ත ලෙස හිරු එළිය පවා නොලැබෙන සාගර පත්ල තුළ මියගොස් සිටියේය.

අනතුරට පත් ටයිටන් සබ්මර්සිබලය තුළ සිටි බ්‍රිතාන්‍ය බිලියනපති ව්‍යාපාරික 58 හැවිරිදි හර්මිෂ් හාඩින් මීට පෙර බ්ලූ ඔරිජින් වාණිජ මෙහෙයුම යටතේ අභ්‍යවකාශයට ගොස් ඇති අතර, අවස්ථා රැසකදී දක්ෂිණ ධ්‍රැවයට ගමන් කර තිබේ. එලෙසම ඔහු ලොව

ගැඹුරුම ස්ථානය වන මරියානා ආගාධයේද ගවේෂණය කර තිබේ. සාගර පත්ලේ වැඩිම කාලයක් වැඩිම ගැඹුරක රැඳී සිටි පුද්ගලයාට හිමි ගිනස් වාර්තාවට හිමිකම් කියන්නේ ඔහුයි.

එලෙසම එහි ගමන් ගත් ප්‍රංශ ගවේෂක හැත්තෑ හත් හැවිරිදි පෝල් හෙන්රි ඉතිහාසයට එක්ව සිටින්නේ වැඩිම කාලයක් පුරා ටයිටැනික් සුන්බුන් ආසන්නයේ නිරීක්ෂණයේ නිරත වූ ගවේශකයා ලෙසටයි. අනතුරට පත් සබ්මර්සිබලය තුළ සිටි ඩාවුඩ් පවුල බ්‍රිතාන්‍යයේ රාජකීය පවුල පවත්වාගෙන යන පුණ්‍යායතන කිහිපයකටද මූල්‍ය දායකත්වය සපයති.

ටයිටන් නමැති මෙම සබ්මර්සිබලය අනතුරට ලක්වීමට පෙර පරීක්ෂණ කිමිදුම්වාර 50 ක් පමණ සාර්ථකව සිදුකර තිබුණි. ඉන් එක් අවස්ථාවකදී එම යානයේ යාන්ත්‍රික දෝෂයක් ඇති වුවත් ඔවුන් නිරුපද්‍රිතව මතුපිටට පැමිණ තිබුණි.

ගයාන් සමරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment