සෙල්ලිපි 500කට වඩා සොයාගත් යතිවර ගවේෂණය…’දිවයින ඉරිදා සංග්‍රහයට’ කරන විශේෂ හෙළිදරව්ව

661

පුරාවිද්‍යා ගවේෂණය ආරම්භ කරනකොට වයස අවුරුදු දහසයයි…

දිඹුලාගල නායක හාමුදුරුවො මට කතා කළේ මහානායක හාමුදුරුවෝ කියලා…

වැලිකන්ද, වඩුමුණේ, තොප්පිගල, නරකමුල්ල, ඕමුණුගම හරහා මහඔය සංචාරය ජීවිතයේ දුෂ්කරම ගවේෂණයක්…

මහ කැලෑවේ සති ගණන් ගත කළත් වනසතුන් ගෙන් කිසිම හිරිහැරයක් වෙලා නෑ…

පුරාවිද්‍යාවේ පරතෙරටම අධ්‍යයනය කර සිටින ‘පුරාවිද්‍යා චක්‍රවර්ති ආචාර්ය එල්ලාවල මෙධානන්ද හාමුදුරුවෝ තරම් මෙරට පුරාවස්තු පරීක්‍ෂා කර ඇති පුද්ගලයෙක් තවත් නැති තරම්ය. වසර 64ට වැඩි කාලයක් මෙරට ගම් සිසාරා අහුමුලු නෑර වැඩම කරමින් වනගහනයන්හි පුරාවිද්‍යා ගවේෂණයන් කර ඇති උන්වහන්සේ රට, ජාතියට, ශාසනයට කර ඇති සේවය මෙතකැයි කිවනොහැකි තරම්ය. උතුර, නැඟෙනහිර ප්‍රදේශයන්හි මෙපමණකට හෝ පුරාවස්තු ආරක්‍ෂා වී ඇත්තේ ත්‍රස්තවාදී යුද්ධයට පෙර, යුද්ධය අතරතුර සහ ත්‍රස්තවාදය වැළලී ගිය පසුව ද උතුර, නැඟෙනහිර පුරාවිද්‍යා ස්ථාන ගැන උන්වහන්සේ සිදු කරන ලද ගවේෂණයන් නිසා බව විශේෂයෙන් සඳහන් කළ යුතුය.

දිවි පරදුවට තබා, හරි හැටි දාන වේලක් නොවළඳා දින, සති, මාස ගණන් එක දිගට වරින්වර, වසර ගණනාවක් තිස්සේ උන්වහන්සේ පුරාවස්තු ගවේෂණයන් සිදු කර ඇත්තේ කීර්ති ප්‍රශංසා, මිල මුදල් ගරු නම්බුනාම බලාපොරොත්තුවෙන් නොවේ. ජාතියේ නියම උරුමය නිවැරැදි ලෙස පෙන්වාදීම සඳහා ය. සැබෑ උරුමය අනාගතයට සුරක්‍ෂිත කර තැබීම සඳහා ය. එවැනි උතුම් සිතුවිලි හද ගැබ තුළ සඟවා ගෙන කරගෙන ගිය ජාතික මෙහෙවර අවසානයේ උන්වහන්සේට ඉතිරි වී ඇත්තේ රෝගී කයක් පමණි. මේ වනවිට විවිධ රෝගාබාධවලින් අනේකවිධ පීඩා විඳින උන්වහන්සේ පරීක්‍ෂා කරන විශේෂඥ වෛද්‍යවරු පවසා ඇත්තේ ජීවිතයේ ඒ, ඒ වයස් සීමාවන්හි දී ශරීරයට ඇවැසි පෝෂණය ප්‍රමාණවත් ලෙස ලබානොදීම පවතින අයහපත් ශරීර සෞඛ්‍යයට හේතු වී ඇති බවය. 2019 වර්ෂයේ සිට නිතර ක්ලාන්ත තත්ත්වයට පත්වන උන්වහන්සේ දීර්ඝව කතා කිරීමට කැමැත්තක් නොදක්වති. එහෙත් අපේ නායක හාමුදුරුවෝ පසුගිය දිනක සැන්දෑ යාමයක පැය කිහිපයක් අප සමග සාකච්ඡා කිරීමට මැලි නොවූහ. වසර හැට හතරකට වැඩි කාලයක් සිදු කරගෙන ගිය පුරාවිද්‍යා ගවේෂණයන්හි දී අමතක නොවන මතක උන්වහන්සේ සතුටින් සිහිපත් කළහ.

“පුංචි කාලෙ ඉඳලා ඉතිහාසය ඉගෙන ගන්න ලොකු ආශාවක් තිබුණා. ඒ වගේම පුරාවස්තු දැකබලා ගැනීමට දැඩි කැමැත්තක් දැක්වුවා. ඒ නිසා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන කාලයේ ඉඳලා, විවේකයක් ලැබුණු සෑම නිවාඩුවකම ගවේෂණ චාරිකාවක නිරත වුණා. ටික කාලයක් යනකොට ඒක මගේ විනෝදාංශයක් වුණා. ප්‍රථමයෙන්ම පුරාවිද්‍යා ගවේෂණය ආරම්භ කළේ 1950 වර්ෂයේ දී. එතකොට මට වයස අවුරුදු දහසයක් විතර ඇති. ඔය කාලයේ දී බළංගොඩට සමීපයෙහි, හඳගිරිය පැරැණි නගරය ගවේෂණය කර ඒ තොරතුරු පාදක කරගෙන පුංචි පොතක් සකස් කර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ එවකට සිටි උපකුලපතිවරයාට ලබා දුන්නා. එතුමා පොත කියවලා බොහෝම අගය කළා. එපමණක් නොවේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ පර්යේෂණයට යොමු කරවීමට එම පොත විශ්වවිද්‍යාල පුස්තකාලයට භාර දුන්නා. ඒ වගේම පොත කියවපු හැමෝම මට ප්‍රශංසා කළා. ‘සිංහල සාහිත්‍ය වංශය’ ග්‍රන්ථය ලියපු පුංචි බණ්ඩාර සන්නස්ගල මහත්තයා, කඹුරුපිටියේ වනරතන නායක හාමුදුරුවෝ ‘පරණවිතානවත් සොයාගත්තෙ නැති ඉතිහාසය හාමුදුරුවෝ සොයාගෙන යනවා…’ කියා ප්‍රශංසා කරමින් ඉදිරියටත් ගවේෂණ කටයුතු කරගෙන යන ලෙසට දිරිගැන්වීම් කළා…”

“කීර්ති ප්‍රශංසා එක දිගට ගලාගෙන එනකොට රටේ නැති වෙච්ච උරුමය මතු කරදීම ජාතික සේවයක් යැයි මට හිතුණා. එවැනි සිතුවිලි මනසේ ඇඳෙනකොට ලංකාව පුරා පුරාවිද්‍යා ගවේෂණ කටයුතු කරගෙන ගියා. එම ගවේෂණ තොරතුරු පාදක කරගෙන පුවත්පත්වලට ලිපි ඉදිරිපත් කළා. ‘උතුර, නැඟෙනහිර බෞද්ධ උරුමය’ නමින් ‘දිවයින’ පුවත්පතට සති පතා ලිපි මාලාවක් ලිව්වා. පත්තරවලට ලිපි ලිවීමට පටන්ගැනීම පුරාවස්තු ගවේෂණයට ලොකු උත්තේජනයක් වුණා. ඒත් පුරාවස්තු ගවේෂණය පහසු කාර්යයක් නෙමෙයි. බොහෝවිට පුරාවිද්‍යා ගවේෂණ කළේ මහ කැලෑවල. අලි, කොටි, වලසුන්, විසකුරු සතුන් ලගින වනාන්තරවල. පාරෙ බස්වල ගිහින්, මහ ට්‍රැක්ටර්, අත් ට්‍රැක්ටර්, බර කරත්තවලින් වනපෙත් තුළට ඇතුළු වී, කිලෝ මීටර් ගණන් පයින් ගමන් කරනවා. ආහාරපාන, අනෙකුත් දෑ මලුවල දමාගෙන කරේ එල්ලගෙන තමයි ගියේ. සෑම ගවේෂණ චාරිකාවකටම හතරපස්දෙනෙක් සම්බන්ධ වුණා. අපි හැමෝම මහ කැලෑව තුළ රෑ පහන් කළේ ගල් ගුහා, ගල් තලා, මහ ගස් යට. ඒ වගේම ගවේෂණ කටයුත්තෙ දී කාලය රන් හා වටිනවා. ඒ නිසා බොහෝ අවස්ථාවල දී ආහාරයට ගත්තෙ කෙටි කෑම. බනිස්, විස්කෝතු වැඩිපුර අපි අරගෙන ගියා. පාන් පිටි අරගෙන ගිහින් රොටි හදාගෙන කෑවා. දෙවේලට ම රොටි කාපු අවස්ථා අප්‍රමාණයි. බත්, හොදි උයන්න කාලය යන නිසා කැලේ ඉන්නකොට බත් කෑවේ කලාතුරකින්. හේනක වැඩ කරන මිනිස්සු, පැලක ජීවත්වන කෙනෙක් මුණගැහිලා තැම්බූ බඩ ඉරිඟු, මක්‍ඳ්fඤාක්කා ටිකක් දීපු අවස්ථා තියෙනවා. මාත් එක්ක ගිය ගිහි මහත්වරුත් කෑම ගැන හිතුවේ නෑ. සංචාරයට සම්බන්ධ සියලුදෙනා වතුර බිව්වේ හරි පරිස්සමට. තොලකට තෙමා ගන්නව විතරයි. ඒ විදිහට ගවේෂණ චාරිකාවේ දී අතපසු වෙච්ච පෝෂණය අද නරක විදිහට බලපානවා…” එල්ලාවල මෙධානන්ද හාමුදුරුවෝ මතක පොතේ පිටු එකිනෙක පෙරළීමට පටන් ගත්හ. දෙසවනට කතාව මිහිරිය. එහෙත් එක දිගට කතා කරගෙන යනවිට උන්වහන්සේ තරමක් අපහසු ගතියකින් පෙළෙන බව අපට දැනිණි.

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් උපාධි ලබාගෙන ගුරු වෘත්තියට යොමු වී ඇති එල්ලාවල මෙධානන්ද හාමුදුරුවන්ට ලැබෙන වැටුප සම්පූර්ණයෙන් වැය කොට ඇත්තේ පුරාවිද්‍යා ගවේෂණ කටයුතු සඳහාය. ඒ හැර පුරාවිද්‍යා ගවේෂණ කටයුතු සඳහා රජයෙන්, සංවිධානයකින්, පුද්ගල පාර්ශ්වයකින් කිසිදු අනුග්‍රහයක් ලැබී නැත. එමෙන්ම ඒ කාලයේ ඡායාරූපකරණය දියුණු තත්ත්වයක නොතිබූ නිසා පින්තූර ලබාගැනීමේදී දැඩි අසීරුතාවලට මුහුණදීමට සිදුව ඇති බව ද සැබෑය. එහෙත් නැඟෙනහිර පළාතේ කෙළවරක් වන කුඹුක්කන්ඔය සිට යාන්ඔය දක්වා ඇති ත්‍රිකුණාමලය, මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්ක ත්‍රිත්වයම ආවරණය වන පරිදි පුරාවිද්‍යා ගවේෂණ සිදු කර ඇති එල්ලාවල මෙධානන්ද හාමුදුරුවෝ උතුරු පළාතේ යාපනය, කිළිනොච්චි, මුලතිව් සහ වව්නියා දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි අවස්ථා කිහිපයක දී පුරාවස්තු ගවේෂණයන් සිදු කර ඇත. එමෙන්ම ලංකාවේ සෙසු පළාත්වල සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි උන්වහන්සේ පුරාවිද්‍යා ගවේෂණයන් සිදු කර ඇත. ඇතැම් පුරාවිද්‍යා ස්ථානවලට තුන් හතර වතාව වැඩම කර ඇති බව ද උන්වහන්සේ සිහිපත් කළහ. එවැනි ස්ථාන නැවත, නැවත ගවේෂණය කරනවිට පෙර නොදැකපු පුරාවස්තු මතු වූ බව ද උන්වහන්සේ පැවසූහ.

එල්ලාවල මෙධානන්ද හාමුදුරුවන්ගේ ගවේෂණ චාරිකාවේදී අතිශය කටුක සංචාර අතර පොලොන්නරුව වැලිකන්ද ප්‍රදේශයෙන් ආරම්භ කර වඩුමුණේ, තොප්පිගල, නරකමුල්ල, ඕමුණුගම හරහා අම්පාර මහඔය ප්‍රදේශයට පැමිණි දින අටක ගමන අතිශය කටුක බව උන්වහන්සේ සිහිපත් කළහ. අපවත් වී වදාළ දිඹුලාගල නායක හාමුදුරුවෝ ප්‍රදේශය පිළිබඳ මනා අවබෝධයක් සහිත වඩිවේල් හඳුන්වා නොදෙන්න එම ගවේෂණ චාරිකාවේ දී මහා කැලෑවේ අතමරං වීමට ද ඉඩ තිබූ බව උන්වහන්සේ පැවසූහ. එම සංචාරයේ දී උන්වහන්සේ ඇතුළු කණ්ඩායම රෑ පහන් කර ඇත්තේ වැසි බැන්දගල, අටු බැන්දගල වැනි මහ විසල් ගල් තලාවලය. තොප්පිගල, නරකමුල්ල ප්‍රදේශය, ඕමුණුගම ඓතිහාසික බෞද්ධ නටබුන්වලින් ගහන ප්‍රදේශයන් බව ද උන්වහන්සේ පැහැදිලි කළහ. එමෙන්ම උන්වහන්සේ දිඹුලාගල නායක හාමුදුරුවන් ගැන ගුණකථනයක් ද කළහ.

“දිඹුලාගල නායක හාමුදුරුවෝ මට කතා කළේ මහානායක හාමුදුරුවෝ කියලා. නායක පට්ටම්වලට මගේ කැමැත්තක් නැති නිසා දවසක් මම උන්වහන්සේගෙන් ඇහුවා ‘කිසිදු නායක පට්ටමක් නැති මට ඔබවහන්සේ මහානායක හාමුදුරුවෝ කියා අමතන්නෙ ඇයි කියලා…”

‘මගේ මහානායක හාමුදුරුවෝ ඔබවහන්සේ… ඔය කිසිම නායක කෙනෙක් මට නායක නෙමෙයි. ඔය කොයි නායකයත් එන්නෙ මගෙන් මොනවහරි අරගෙන යන්න. ඔබවහන්සේ එන්නෙ මට මොනවහරි දීලා යන්න…’ දිඹුලාගලා නායක හාමුදුරුවන්ගේ පිළිතුරට මම නිරුත්තර වුණා. ඒ වගේම පුරාවිද්‍යා ගවේෂණ චාරිකා කිහිපයක දී උන්වහන්සේ සම්බන්ධ වුණා. එක අවස්ථාවක ඌරුඩිකුලම් වැව දිගේ යනවිට කොටියෙක් අපට ගෙරෙව්වා. ඒත් මුතුගල්ලේ නටබුන් පරීක්‍ෂා කරලා මිසක් අපි ආපසු හැරුණේ නෑ. දිඹුලාගල හාමුදුරුවෝ ළඟ සිටීමත් ශක්තියක්. පුදුමාකාර නිර්භීතකමක් තිබුණේ. උන්වහන්සේට කොටි වෙඩි තිබ්බෙ ගොවිපළේ දී. උන්වහන්සේ වගා කළේ ආරණ්‍ය සේනාසනයේ වැඩසිටින ස්වාමීන් වහන්සේගේ දානය උදෙසා නෙමෙයි. ගමේ නැති බැරි මිනිසුන්ට බෙදා දෙන්න.

ගොවිපළෙන් නෙළාගන්නා අස්වැන්න ජීප් එකේ පිටුපස ගොඩගසා ගෙන ගම වටේ ගිහින් නැති බැරි මිනිසුන්ට බෙදලා දෙනවා. ඒ වගේ හාමුදුරුවරු රට, ජාතියට සම්පතක්. ඒත් කොටි ත්‍රස්තවාදීන් තව ටික කාලයක් උන්වහන්සේට ජීවත් වෙන්න ඉඩ දුන්නෙ නෑ…” එල්ලාවල මෙධානන්ද හාමුදුරුවෝ දිගු සුසුමක් පිට කර නිහඬ වූහ.

ඕමුණුගම නටබුන් තලාවක් බව දැන සිටි එල්ලාවල මෙධානන්ද හාමුදුරුවෝ එම ප්‍රදේශයෙ නැවත ගවේෂණ කිරීමට දිනක් මහඔයට වැඩම කළහ. මහඔය සිට ඕමුණුගම ප්‍රදේශයට සැතපුම් පහළොවක් පමණ පයින් වැඩම කිරීමට ඇති බැවින් මහඔය බොල්ලගම් රජමහ විහාරයේ කැකිරිහේනේ නාහිමියන්ගේ අවවාද, අනුශාසනා පරිදි එදින රාත්‍රිය විහාරස්ථානයේ වැඩ සිටීමට තිරණය කර තිබිණි. හිමිදිරියේම පිටත් වූ එල්ලාවල මෙධානන්ද හාමුදුරුවන්ට මඟපෙන්වීමට සම්බන්ධ වී ඇත්තේ සිමියොන් සිඤ්ඤා් මාමා ය. වනාන්තරයට මායිම් වූ පුංචි තේ කඩයකින් උදේ දානයට රොටි සහ කොච්චි සම්බෝල වැළඳුව එල්ලාවල මෙධානන්ද හාමුදුරුවෝ දහවල් දානයට තවත් රොටි කිහිපයක් ඕතාගෙන වනගත වූහ. ඕමුණුගමට යෑමට ස්ථිර මාර්ගයක් නොමැති බවත් වනසතුන් නිතර සැරිසරන බැවින් පරිස්සමට ගමන යා යුතු බව මඟ දිගේ මුණුගැහෙන බොහෝ දෙනා පවසා තිබිණි.

ඉමක් කොනක් නැති වනපෙත අඳුරුය. බියකරුය. සිමියොන් මාමාගේ මාර්ගෝපදේශය යටතේ ඉදිරියට ගමන් කරන එල්ලාවල මෙධානන්ද හාමුදුරුවන්ට එළිමහන් භූමියක් හමු වී ඇත. ඉදිරියට යනවිට එළිමහන් භූමියේ වතුර වළක් ද ඇස ගැටී තිබේ. සෙසු භූමියම තණපිටියකි. වතුර වළ අසල මූණට, මූණ බලා සිටින අලි දෙදෙනෙක් දැක උන්වහන්සේ වනලැහැබකට වහං වී ඇත. එම අලි දෙදෙනා රණ්ඩුවක පැටලී සිටින බව වටහා ගැනීමට එල්ලාවල මෙධානන්ද හාමුදුරුවන්ටත්, සිමියොන් මාමාටත් අපහසු වී නැත. උන්වහන්සේ යන ගමන් මාර්ගය වැටී ඇත්තේ අලි රණ්ඩු කරන ඉසව්වෙනි. අලි ගැටුම අහවර වී උන් කැලයට රිංගන තෙක් පැයකට ආසන්න කාලයක් බලා සිටීම සිදු වූ බව එල්ලාවල මෙධානන්ද හාමුදුරුවෝ සිනා මුවින් සිහිපත් කළහ. එමෙන්ම ඇඟට ලේ බින්දුවක් ඉණුවේ අලි දෙදෙනා ම කැලයට රිංගුව පසු බව ද උන්වහන්සේ පැවසූහ.

“අලි, ඇතුන් රණ්ඩු වෙනකොට හරිම නපුරුයි. ඒ වගේම මගේ පුරාවිද්‍යා චාරිකාවේ දී එවැනි දරුණු අලි ගැටුමක් දැකලා තිබුණේ නෑ. අපි ළඟපාතක ඉන්න බව යාන්තමට හරි දැනුණ නම් පහර දෙන්න ඉඩ තිබුණා. ඒත් මහා මූකලානවල ඇවිදලත් කිසිම දවසක සතෙක් ගෙන් අනතුරක් වෙලා නෑ. අඩුම තරමින් දරුණු සිරීමක්වත් වෙලා නෑ. අපේ චේතනාව යහපත් නිසා සොබාදහම අපිව ආරක්‍ෂා කළා…”

“ඕමුණුගම විශාල පර්වතයක්. ඒ පර්වතය පහළ කුටියක් හදාගෙන භික්‍ෂුන්වහන්සේ නමක් වැඩ සිටියා. ඒ දිඹුලාගල පරපුරේ භික්‍ෂුන්වහන්සේ නමක් වූ අත්තනගල්ලේ ශේඛරාලංකාර හාමුදුරුවෝ. එදින රාත්‍රිය කුටිය තුළ ගතකර හීල් දානයට තැම්බූ බඩඉරිඟු වළඳා ගවේෂණ කටයුතු ආරම්භ කළා. ඕමුණුගම පර්වතය මුදුනේ විශාල පොකුණක් තියෙනවා. ඒ පොකුණේ වතුර පහළට ගලාගෙන ඇවිත් කන්ද පහළ පොකුණට එකතු වෙනවා. පුදුමාකාර වාරි තාක්‍ෂණයක්. ඒ වගේම කන්ද මැද විශාල ලෙනක් තියෙනවා. ඒ ලෙන තුළ බුදුපිළිම අඹලා බුදු මැඳුරක් බවට පත්කර තිබුණා. බුදු මැඳුර නම් කැඩී, බිඳී විනාශ වෙමින් තිබුණා. ඕමුණුගම කන්දට පහළ කන්දේ විශාල ගල්ලෙනක් සහිතව තවත් ලෙන් කිහිපයක් තිබුණා. ඒ ලෙන් තුනකින් සෙල් ලිපි තුනක් සොයා ගත්තා. එක සෙල් ලිපියක සඳහන් වෙලා තිබුණේ නන්දිමිත්‍ර යෝධයාගේ දියණිය විසින් පූජා කරන ලද බව. එම සෙල් ලිපි මම පිටපත් කිරීමට පෙර කිසිවෙක් පිටපත් කරලා තිබුණේ නෑ. ඒ වගේම ගවේෂණය කර සොයාගන්නා සෙල් ලිපියක් කියවනකොට හිතට දැනෙන සතුට වචනයෙන් කියන්න බැරි තරම්…” සෙල් ලිපි ගැන මතක් කරනවිට ද විකසිත වූ මුව මඬලෙන් උන්වහන්සේ විඳින නිරාමිස සතුට අපි දුටිමු.

මේ වනවිට සෙල් ලිපි පන්සියයකට වැඩි ප්‍රමාණයක් සොයාගෙන ඇති එල්ලාවල මෙධානන්ද හාමුදුරුවෝ සොයාගත් සුවිශේෂී සෙල් ලිපි රාශියකි. ඒ අතර දුටුගැමුණු රජුගේ බිසව රාජිතා බව සෙල් ලිපිවලින් සොයාගැනීම, විහාරමහාදේවීය පැවිදි වී සිටි බව සෙල් ලිපිවලින් සොයාගැනීම, මහානාග යුව රජු රෝහණයේ පිහිටු වූ මාගම රාජධානියේ රාජ පරම්පරාව නිවැරැදිව සොයාගැනීම අති විශේෂ සෙල් ලිපි කියැවීම් ය.

එල්ලාවල මෙධානන්ද හාමුදුරුවන්ගේ හිස මතට
නාගයෙක් පෙණය තබයි…
තවත් කොටසක් ලබන සතියට…

තරංග රත්නවීර

advertistmentadvertistment
advertistmentadvertistment