ජාතික රෝහලේ 2000 ක හිගයක්

124

කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරුන්, විශේෂඥ වෛද්‍යවරුන්, හෙද නිලධාරීන්, ලිපිකරු, රෝහල් කනිෂ්ඨ කාර්ය සහායකයන් ඇතුළු 2000 කටත් අධික කාර්ය මණ්ඩලයක හිඟයක් වසර පහක පමණ කාලයක සිට පවතින බව සමස්ත ලංකා සෞඛ්‍ය වෘත්තීය සමිති සම්මේලනයේ නියෝජ්‍ය ලේකම් රේණුකා ලියනගේ මහත්මිය ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසුවාය.

මේ හේතුවෙන් රෝහලේ වැඩකටයුතු ගණනාවකටම බාධා එල්ලවී ඇතැයි ද ඇය කියා සිටියාය.

මෙම රෝහල් කාර්ය මණ්ඩල හිඟය 2018 වසරේ සිට පවතින බව ද ඇය සඳහන් කළාය.

වෛද්‍යවරුන්, විශේෂඥ වෛද්‍යවරුන්, හෙද නිලධාරීන්, රෝහල් කනිෂ්ඨ කාර්ය සහායකයන්, උපස්ථායකයන්, වාට්ටු ලිපිකරුවන්, ආහාර නිරීක්‍ෂිකාවන්, නිවාස භාරකාරිනියන්, අරක්කැමි ඇතුළු තවත් නිලධාරීන්ගේ විශාල හිඟයක් පවතින බව ද ඇය කීවාය.

සාමාන්‍යයෙන් කොළඹ ජාතික රෝහලේ 9000 කට අධික කාර්ය මණ්ඩලයක් සිටිය යුතු වුවත් මේ වනවිට රෝහල තුළ සේවය කරනුයේ සේවකයන් 7000ත් අඩු සංඛ්‍යාවක් බවද ඈ කියා සිටියාය. පසුගිය දෙසැම්බර් 31 වැනිදා අවුරුදු 60 සම්පූර්ණ කළ රෝහල් සේවකයන් විශාල පිරිසක් විශ්‍රාම ලැබූ බවත්, ඒ වෙනුවට මෙතෙක් සේවකයන් රෝහල වෙත අනුයුක්ත කර නොමැති බවත් ඇය සඳහන් කළාය. රෝහලේ සේවක හිඟය හේතුවෙන් රෝහලේ රෝගී සත්කාර කටයුතුවලට ද බාධා එල්ල වෙමින් ඇතැයි ද ඇය වැඩිදුරටත් පැවසුවාය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment