ලෑස්ති වෙන්න සටන අරඹන්න… පහර දීමට පෙර ප්‍රකාශ… ජොනී භාර නොවුණොත් අත්අඩංගුවට!

1639

සාමකාමි විරෝධතාකරුවන්ට පහරදී දේපළ හානි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවල ප්‍රධාන සැකකරුවකු ලෙස සැලකෙන හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට භාරවීමේ සූදානමක් ඇතැයි ආරංචි මාර්ග පවසයි.

මේ වනවිට එම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් 23 දෙනාට අමතරව ඔහු ඇතුළු තවත් සිවුදෙනකු එම විමර්ශනවල සැකකරුවන් ලෙස නම් කරන බව නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් එකී විමර්ශන අධීක්‍ෂණය කරන ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් අයේෂා ජිනසේන මෙනවිය විසින් පෙරේදා (01 දා) පස්වරුවේ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට වාර්තා කොට තිබිණි.

එකී දැනුම් දීමෙන් පැය කිහිපයක් යෑමටත් පෙර එතෙක් පදිංචි ස්ථානවලින් අතුරුදන් වී ඇති බවට වාර්තා වූ කොළඹ නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම මෙන්ම සෙසු සැකකරුවන් දෙදෙනා ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට භාරවී තිබිණි. ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කර සිය භාරයට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පියවර ගනිමින් සිටින බැවින් හැකි ඉක්මනින් තමා ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට භාරවීමට අපේක්‍ෂා කරන බව ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා දැනුම්දී ඇතැයි පොලිස් දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

මේ අනුව ඊයේ (02 දා) රාත්‍රියේ හෝ අද (03 දා) පෙරවරුවේ සැකකාර ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට භාරවීමට සැලසුම් කර ඇති බවත් එලෙස භාරවීමක් සිදුනොකළ හොත් ඔහු රැඳී සිටින ස්ථාන සෝදිසි කර අත්අඩංගුවට ගැනීමට නියමිත බවත් පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් හෙළි කරයි.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment