යල කන්නය අසාර්ථක වුනොත් මහ කන්නයත් අසාර්ථක‍යි – දැඩි ආහාර හිඟයක් අත ළඟ…!

599

ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය සුරැකීම සඳහා වූ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ එකමුතුව හෙවත් ්ඵී්-ීඛ සංවිධානයේ කැඳවුම්කරු ලෙස කටයුතු කරන රුහුණ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නාලිකා ප්‍රියන්වදා රණතුංග සමග “දිවයින” කළ කතාබහකි මේ.

ඔබ ඇතුළු විශ්වවිද්‍යාල විද්වත් කණ්ඩායමක් මේ රටේ කෘෂි අර්බුදය සම්බන්ධයෙන් පසුගිය දා විෂය භාර අමාත්‍යවරයා හමු වූ අරමුණු මොනවා ද…?

“අපි සංවිධානයක් හැටියට එකතුවෙලා කෘෂි විෂය භාර ඇමැතිවරයා හමුවුණා. ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවලට අනුබද්ධ කෘෂි හා තාක්ෂණ පීඨ නියෝජනය වන ආචාර්යවරුන් සමූහයක් එම සාකච්ඡාවට එකතු වුණා.පසුගිය වකවානුව තුළ මේ රටේ පොහොර අර්බුදය වෙනුවෙන් තම හඬ අවදි කළ මහාචාර්යවරුන් විශාල සංඛ්‍යාවක් මෙම සංවිධානය තුළ මේ වනවිට ඉතා ක්‍රියාකාරීව කටයුතු කරනවා. අප සංවිධානයේ ප්‍රධාන අරමුණු වන්නේ. මේ රටේ කෘෂිකර්මාන්තය නිවැරදි මාවතට අවතීර්ණ කිරීම සඳහා විද්‍යාත්මක පසුබිමක් සහිත ව ඉදිරිපත් කරනු ලබන යෝජනා බලධාරීන්ට යොමු කරමින් ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා ඔවුන්ට බල කිරීම යි. අපි ඒ බලපෑම් කිරීමේ ආරම්භයක් හැටියටත්, මේ අර්බුදය පිළිබඳ ව අමාත්‍යවරයාට කරුණු දැක්වීම සඳහාත් ස්වාධීන කණ්ඩායමක් (චරුිමරු ටරදමච) ලෙස අපි අමාත්‍යවරයා හමු වුණා. ඒ වගේ ම ගොවි ප්‍රජාව ඇතුළු සියලු මහජනතාවට කෘෂිකර්ම ක්ෂේත්‍රයේ පවතින වර්තමාන අර්බුදය සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු සහ අවශ්‍ය මඟ පෙන්වීම ලබාදීමත් අපේ සංවිධානයේ කාර්ය අතර ප්‍රමුඛ යි. මෙම සංවිධානය බිහිවූයේ ආන්දෝලනාත්මක පොහොර තහනම සඳහා කැබිනට් අනුමැතිය හිමි වූ 2021 අප්‍රේල් මස 27 වන දිනට හරියට ම වසරක් ගත වූ දිනයේ, එනම් 2022 අප්‍රේල් මස 27 වන දා යි.”

ඉදිරියේදී මේ රටේ ආහාර හිඟයක් ඇති වෙනවා ම ද…?

“පසුගිය වසරේ මැයි මස 6 වැනිදා නිකුත් කළ, ශ්‍රී ලංකාවට ආනයනය කළ සියලු රසායනික පොහොර සහ වෙනත් කෘෂි යෙදවුම් නතර කිරීමේ ගැසට් පත්‍රයත් සමඟ ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයට දරුණු පහරක් එල්ල වුණා.මෙම තීරණයට ප්‍රතිචාර ලෙස මේ රටේ කෘෂි විද්වතුන් ප්‍රකාශ කළේ මේ හරහා ඉදිරි වසර තුළ රටේ දැඩි ආහාර හිඟයක් සහ ජාතික ආහාර සුරක්ෂිතතාව දැඩි ලෙස තර්ජනයට ලක්විය හැකි බව යි. නමුත් මේ සඳහා අවශ්‍ය අවස්ථාවේදී බලධාරීන්ගේ නිසි අවධානය යොමු වුණේ නැහැ. එබැවින් දිගින් දිගට ම ක්‍රියාත්මක වූ පොහොර අර්බුදය හමුවේ 2021 වසරේ මහා කන්නයේ අස්වැන්න ඉතා දැඩි ලෙස බලපෑමට ලක්වුණා. සංඛ්‍යාත්මකව කීවොත් මහ කන්නයේ ලැබිය යුතු වී අස්වැන්නෙන් 45% කට වඩා අහිමි වුණා. අප විසින් පුරෝකථනය කළ පරිදි 2021 අප්‍රේල් මාසය වන විට දැවැන්ත සහල් හිඟයකට මුහුණ දෙන්නට නියමිත ව තිබුණා. නමුත් රජය විසින් චීනයෙන්, ඉන්දියාවෙන් සහ මියන්මාරයෙන් සහල් ආනයනය කිරීම හේතුවෙන් මෙම මදි පාඩුව පිරිමසාගනු ලැබුවා. අවාසනාව කියන්නේ 2008 වසරේ පමණ සිට ශ්‍රී ලංකාව විසින් පවත්වාගෙන යමින් තිබූ සහලින් ස්වයංපෝෂිත තත්ත්වය අපට අහිමි වී, ඒ වෙනුවට පිටරටවලින් හිඟා කෑමට සිදුවීමයි. එමෙන් ම යථාර්ථය නම් දිගින් දිගට ම මෙසේ සහල් ආනයනය කරමින් ජාතිය පෝෂණය කිරීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන මේ වන විට රටට නැතිකම යි.”

ඉදිරි කාලය කෙසේ වේවි ද..?

“පොහොර තහනම, විදේශ වෙළඳපොළේ පොහොර හිඟය සහ අපේ රට තුළ ඇති ඩොලර් සංචිත හිඟ වීම හේතුවෙන් මේ වන විට දේශීය වෙළෙඳපොළ තුළ පොහොරවල මිල ඉතා අධික ලෙස ඉහළ ගොස් තිබෙනවා. සංඛ්‍යාත්මක ව කීවොත්, පසුගිය වසර තුළ පොහොර මිල හත් ගුණයකින් පමණ වැඩි වී තිබෙනවා. උදාහරණයක් ලෙස රුපියල් 5000-6000 ට පසුගිය වසරේදී විකුණූ කිලෝ 50 යූරියා බෑගය මේ වනවිට රුපියල් 45,000 සීමාවට පැමිණ තිබෙනවා. මේ නිසා 2022 වසරේ යල කන්නයට අවශ්‍ය පොහොරවල දැඩි හිඟයක් සේ ම එහි මිල අධික ලෙස ඉහළ යෑම තුළ බෝග නිෂ්පාදන වියදම දරා ගැනීමට නොහැකි ආකාරයට වැඩි වී තිබෙනවා.එසේම, කෘෂිකර්ම ක්ෂේත්‍රයේ සිතාමතා සිදුකළ අත්තනෝමතික තීරණ හේතුවෙන් 2021 මහා කන්නය අසාර්ථක වීමේ පසුබිම තුළ ලක්ෂ 2ක් පමණ ගොවිතැනින් පමණක් යැපෙන ජනතාවගේ ආර්ථිකය දරුණු ලෙස කඩා වැටීමකට ලක් වී තිබෙනවා. මෑතක සිට පවතින ඉන්ධන හිඟය සහ ඒවායේ අධික මිල ඉහළ යෑම හේතුවෙන් විශේෂයෙන්ම බිම් සැකසීම් සහ අස්වනු නෙළීම් කටයුතු සිදුකිරීම සඳහා මෙන්ම අස්වැන්න වෙළෙඳපොළට ප්‍රවාහනය කිරීම සඳහා ඉතා අධික පිරිවැයක් දැරීමට ගොවි මහතුන්ට සිදුවී තිබෙනවා. එමෙන්ම පොහොර ඇතුළු වෙනත් යෙදවුම්වල අධික මිල ගොවීන්ට දරාගැනීමට අපහසු තත්ත්වයකට පත්ව තිබෙනවා. මෙවැනි හේතුන් රාශියක් මත මෙවර යල කන්නය සිදුකිරීම සඳහා සාර්ථක ප්‍රවේශයක් ලැබුණේ නැහැ. එමෙන්ම නිසි අවස්ථාවේ වී වගාවට පොහොර නොලැබීම සහ බිම් සැකසීමට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ඉන්ධන හිඟවීම තුළ යල කන්නය වගා කිරීම පමා වුණා. නිසි කාල සැලසුමකට අනුව සිදුවන වී වගාවේදී, සැලසුම් කළ අවස්ථාවේ වගාව ආරම්භ නොකළහොත් කන්නයේ වගාවට අවශ්‍ය ජලය සැපයීමේ බාධා මතු වෙනවා. යල කන්නය වගා කිරීම තවදුරටත් පමා කිරීම තුළ, එය අසාර්ථක වීම වළක්වාගත නොහැකියි.

යල කන්නය පමණක් නොවෙයි, මීළඟට එළඹෙන මහා කන්නයට අවශ්‍ය බිත්තර වී නිෂ්පාදනය කළයුතු වන්නේ යල කන්නයේ අස්වැන්නෙන් බැවින්, යල කන්නය අසාර්ථක වීම යනු මහ කන්නයත් අසාර්ථක වීමයි. දැනට රට තුළ අවශ්‍ය තරම් පොහොර තොග නැතිවීම තුළ, යල කන්නයේ වී වගාවට හා වෙනත් බෝගයන්ට රසායනික පොහොර සැපයීමේ ඉඩකඩ ඉතා අවමයි. වසර අග භාගය වන විට කෙසේ හෝ පොහොර ආනයනය කළත් බිත්තර වී නොමැති වුවහොත් මෙම වසරේ මහ කන්නය ඉතා දරුණු ලෙස කඩා වැටීම නොවැළැක්විය හැකි වනු ඇත. මහ කන්නය යනු රටේ සහල් අවශ්‍යතාවයෙන් තුනෙන් දෙකක් ම සපිරෙන කන්නයි. එබැවින්, ප්‍රමුඛතාව සලකා මීළඟ මහා කන්නයවත් බේරා ගැනීමේ බලාපොරොත්තුවෙන් යල කන්නයේ බිත්තර වී නිෂ්පාදනයට හෝ පෙළඹීමට අපොහොසත් වුණොත් අතිශය දරුණු ආහාර හිඟයකට ඉදිරි වසර තුළ යොමු වීමට සිදුවන බව නොඅනුමානයි.”

ආහාර හිඟයට ශ්‍රී ලාංකිකයන් මුහුණ දියයුත්තේ කෙසේ ද..?

“මම මුලින් සඳහන් කළ පරිදි, යල කන්නය අසාර්ථක වීම තුළ සහ දිගින් දිගට ම ආහාර ආනයනය සඳහා මුදල් ප්‍රතිපාදන නොමැති වීමේ පසුබිම තුළ, තව මාස කිහිපයක් තුළදී රටේ ඉතා දැඩි ආහාර හිඟයක් ඇති වීමට නියමිතයි. මෙය යම් පමණකින් හෝ සමනය කරගත හැකි වන්නේ මේ රටේ සියලු ජනතාව මෙම අනතුර තේරුම් ගෙන තමන්ට හැකි ආකාරයට ආහාර බෝග වගා කිරීමට පෙළඹීම තුළයි. රටේ ජනතාවට අත්‍යවශ්‍ය ආහාර සැපයීම සඳහා ගත හැකි ක්ෂණික මූල්‍ය පහසුකම් ලබා ගැනීමට බලධාරීන්ට හැකි සෑම උත්සාහයක් ම දැරීමට සිදුවන අතර, සෙසු මහජනතාවට තමන්ට හැකි ආකාරයෙන් ආහාර බෝගයන් රට තුළ වගා කිරීම හැර අන් විකල්පයක් නැහැ. මෙහිදී සහල්වලට අමතර ව වෙනත් අතිරේක බෝග, විශේෂයෙන් ම මුං, කවුපි වැනි රනිල බෝගයන්, දැනට වගා නොකරන බිම්වල හැකි තාක් වගා කිරීමට අවශ්‍ය වෙනවා. එමෙන්ම පාසල් සහ වෙනත් රාජ්‍ය ආයතන මූලිකත්වයෙන් ගෙවතු වගාවට යොමු වීම වැදගත් වෙනවා.

මීට අමතරව තමන්ගේ ගෙවත්ත තුළ හැකි ආකාරයෙන් ආහාර බෝග වගාකරගැනීම තුළින් නිවසේ ආහාර සුරක්ෂිතතාවය පවත්වාගැනීම සඳහා අප ලහි ලහියේ කටයුතු කළ යුතුයි. විශේෂයෙන්ම අඩු පොහොර ප්‍රමාණයක් යෙදිය යුතු, පලිබෝධ හානි අවම දේශීය බෝග වර්ග වගා කිරීමට හැකි සෑම විටම උත්සුක විය යුතුයි. දේශීය අලවර්ග, එළවළු, ධාන්‍ය වර්ග සහ වෙනත් කෙටිකාලීන බෝග වර්ග ගෙවත්තේ වගා කරගනීමත්, නිවසේ ආහාර අවශ්‍යතාව මෙන්ම නිසි පෝෂණය ද රැකගැනීමට කටයුතු කිරීම අවශ්‍යයි.”

අපේ ජනතාවගේ නාස්තිය වැඩිකමත් මේ අර්බුදය වළක්වා ගැනීමට බාධාවක් නේද…?

“ඔව්. නාස්තිය අවම කිරීමත් වහාම කළ යුතු යි. බොහෝ දුරට අපගේ නොසැලකිල්ල නිසා අස්වනු නෙළීමේ සිට පරිභෝජනය දක්වා ඉතා අධික නාස්තියක් සිදුවෙනවා. අපට හැකි සෑමවිටම නාස්තිය පිටුදැකීමට අවශ්‍ය වෙනවා. ඔබේ ගෙවත්තේ කොස්, දෙල් වැනි ආහාර බෝග තිබේ නම් ඒවා නිකරුනේ ඉදී බිම වැටී විනාශ වී යෑමට නොදී කල් තබා ගැනීමේ ක්‍රමවේද අනුගමනය කරමින් ඉදිරි ප්‍රයෝජනය සඳහා සුරක්ෂිත කරගත යුතුයි. බොහෝ එළවළු වර්ග වේලීමෙන් (විජලනයෙන්) කල් තබා ගැනීමේ හැකියාව පවතිනවා. ඒ සඳහා පාවිච්චි කළ යුතු නිවැරදි තාක්ෂණය පිළිබඳව දැනුවත් වීම වටිනවා.”

නැවතුණු කෘෂිකර්මාන්තය යළි ආරම්භ කළ හැක්කේ කෙසේ ද..?

“එක රැයකින් විනාශ කරන ලද කෘෂිකර්මාන්තයේ අනාගතය නැවත පණ ගැන්වීම එතරම් පහසු නැහැ. මේ සඳහා ඉතා සැලසුම් සහගත ඉවසීමෙන් යුතු විද්‍යාත්මක ප්‍රවේශයක් ගත යුතු වෙනවා. ්ඵී් සංවිධානය ලෙස අප, ලංකාවේ කෘෂිකර්මාන්තයේ සිදුවූ ව්‍යසනය හා එයට පාදක වූ හේතු විද්‍යාත්මකව දකිමින් මෙම අර්බුදය විසඳීම සඳහා වූ යථාර්ථවාදී වැඩපිළිවෙළක් මේ වනවිට ඉදිරිපත් කොට තිබෙනවා. මෙම යෝජනාවලිය තුළ අප ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය නගා සිටුවීම සඳහා කෙටි කාලීන, මාධ්‍ය කාලීන මෙන්ම දිගු කාලීන යෝජනා අන්තර්ගත කර තිබෙනවා.දැනට රටේ ඇතිවී තිබෙන දරුණු ආහාර හිඟය විසඳීම සඳහා ක්ෂණික මැදිහත්වීමක් කිරීමට අවශ්‍යයි. නමුත් ආහාර සැපයුම යම් පමණකින් හෝ යථා තත්ත්වයට පත්කරගත් පමණින් මෙම ගැටලුව විසඳෙන්නේ නැහැ. කෘෂිකර්ම ක්ෂේත්‍රයේ දීර්ඝ කාලීනව පැවතුණු අර්බුද විශාල සංඛ්‍යාවක් තිබෙනවා. ඒවාට විසඳුම් දිගුකාලීනව ගත යුතුයි. නමුත් ඒවාට විසඳුම් සෙවීම දැන් හෝ ආරම්භ කළ යුතුයි. උදාහරණ ලෙස ගොවීන්ගේ ඉඩම් අයිතිය පිළිබඳ ගැටලු, ගොවිබිම් නිසරු බවට පත්වීම, කෘෂි රසායන අනිසි භාවිතය, තාක්ෂණය හුවමාරුවේ පවතින දුර්වලතා, අසම්පූර්ණ යටිතල පහසුකම්, වෙළෙඳපොළ ගැටලු යනාදී විශාල අභියෝග ප්‍රමාණයක් කෘෂිකර්ම ක්ෂේත්‍රය අභිමුවේ තියෙනවා. මේ ගැටලු සියල්ල නිරාකරණය කරගත යුතු වෙනවා. රටේ ජනතාවගේ ආහාර සුරක්ෂිතතාවය තහවුරු කරගනිමින්, ශ්‍රී ලාංකික කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ තිරසර භාවය පවත්වා ගැනීමෙන් පමණයි අපට ජාතියක් ලෙස නැගී සිටිය හැකි වන්නේ.”

මේ පසුබෑමට හේතු හඳුනාගෙන තියෙනවා ද….?

“කෘෂිකර්ම ක්ෂේත්‍රයේ පසුගිය වසරක කාලය තුළ සිදුවූ අධික පසුබෑම ස්වභාවික ආපදාවක් නිසා සිදුවූවක් නොව, මිනිසා විසින් නිර්මාණය කරනු ලැබූවක්. මේ සඳහා වැරදි විශ්ලේෂණයන් මත පිහිටා ගන්නා ලද අදුරදර්ශී තීරණ සෘජුව බලපෑවා. මේ ගැන රටේ බලධාරීන් වගකීම භාරගත යුතු බව අවිවාදාත්මකයි. ඒ කෙසේ වුවත් රටේ ජනතාව ලෙස මෙම අර්බුදයෙන් ගොඩ ඒම සඳහා සාමුහික ව, වගකීමෙන් කටයුතු කළ යුතු වෙනවා. ගන්න ලද අනිටු තීරණවල ප්‍රතිඵලයක් ලෙස මේ රටේ අභිමානවත් ගොවි ජනතාවට අන්ත දුක්ඛිත තත්ත්වයට ඇද දැමුවා පමණක් නොවේ, රටේ සියලු ජනතාවගේ ආහාර සුරක්ෂිතතාවය දැඩි ලෙස පරිහාණියට ලක් කරනු ලැබුවා. අපගේ දරු පරපුරේ පෝෂණය පිළිබඳ මේ වන විටත් ඉතා විශාල ගැටලු සමුහයක් ගොඩනැඟෙමින් පවතිනවා. පශ්චාත් කොරෝනා අවධිය තුළ යළි නැගී සිටින්නට වෙර දරමින් සිටි ජාතියක් ජාතික කෘෂිකර්මය විනාශ කර දැමීම තුළ ශාරීරිකව, ආර්ථිකව පමණක් නොව මානසිකව ද ඉතා පහළ මට්ටමකට අද දමා තිබෙනවා. ස්වාධීන අභිමානවත් ජාතියක් ලෙස ලොව නම් දරා සිටි අප මේ වන විට ලෝකයේ ඉතා දිළිඳු රටවලින් පවා සිඟා කන තත්ත්වයට පත් වී අවසන යි. මේ සියලු කරුණුවලින් ගැලවී පලා යෑමට වගකිවයුත්තන්ට හැකියාවක් නැහැ. ඔවුන්ට ඉතා විශාල වගකීමක් තිබෙනවා. සාවද්‍ය උපදෙස් මත ඔවුන් විසින් ගන්න ලද වැරදි තීරණ ආපස්සට හැරවීමට මෙන්ම, විනාශ කළ ජාතික කෘෂි කර්මාන්තය නැවත යථා තත්ත්වයට පත් කිරීම සඳහා දැන් හෝ ප්‍රාමාණික උගතුන්ගේ සහ කෘෂි ක්ෂේත්‍රයේ සියලු පාර්ශ්වකරුවන්ගේ සාධනීය අදහස් සහ යෝජනාවලට කන් දෙමින් නිවැරදි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය කඩිනම් පියවර ගත යුතුයි. එසේ නොකළහොත් ශ්‍රී ලාංකික ඉතිහාසය තුළ මෙය නොමැකෙන විශාල කළු පැල්ලමක් ඉතිරි කරනු නොඅනුමානයි.”

කෘෂි විද්‍යාඥ- මහාචාර්ය නාලිකා ප්‍රියන්වදා රණතුංග

සාකච්ඡා කළේ- තුෂාරී කළුබෝවිල
 

advertistmentadvertistment
advertistmentadvertistment