ටයිල් කර්මාන්ත ආරක්‍ෂණ විධිවිධාන ගැටලු සහගතයි – සහාධිපත්‍ය සංවර්ධකයින්ගේ සංගමය කියයි

84

ශ්‍රී ලංකාවේ ටයිල් කර්මාන්තය සම්බන්ධයෙන් යෝජිත ආරක්ෂණවාදී විධිවිධාන අතිශයින් ගැටලු සහගත බව ශ්‍රී ලංකා සහාධිපත්‍ය සංවර්ධකයින්ගේ සංගමය කියයි.

විශේෂයෙන්ම ගෙබිම සහ බිත්ති සඳහා භාවිත කරන ටයිල් වර්ග ආනයනය ඉලක්ක කරගනිමින් ටයිල් නිෂ්පාදනයේ නියුතු වූවකු විසින් ඉදිරිපත් කර ඇති අඩුමිල විරෝධී යෝජනා සම්බන්ධයෙන් සිය සංගමයේ විශේෂ අවධානයක් යොමු වී තිබෙන බව ද එම සංගමය කියයි. එම විරෝධතා ඉදිරිපත් කර ඇති ටයිල් නිෂ්පාදකයා එම යෝජනා තම පාර්ශ්වයට වාසිසහගත තත්ත්වයක් නිර්මාණය කරගැනීමේ අදහසින් ඉදිරිපත් කර ඇති බවක් පෙනී යන බව ශ්‍රී ලංකා සහාධිපත්‍ය සංවර්ධකයින්ගේ සංගමය සඳහන් කරයි. මෙම යෝජනා සමීප අධ්‍යයනයකින් තොරව ක්‍රියාවට නැංවුවහොත් එමගින් ක්ෂේත්‍රයට මෙන්ම මහජනතාවට බරපතළ ගැටලුවලට මුහුණ දීමට සිදුවීමට ඉඩ තිබෙන බව ශ්‍රී ලංකා සහාධිපත්‍ය සංවර්ධකයින්ගේ සංගමය ප්‍රකාශ කරයි.

එම සංගමය මෙසේ ද කියයි.

මෙම ගැටලුවට පදනම් වී ඇති ප්‍රධානතම කරුණ නම්, ආනයනික ටයිල් මිල අසාධාරණ ලෙස අඩු මට්ටමක පවතින්නේය යන චෝදනාවය. පිළිගත හැකි තරම් ශක්තිමත් සාක්ෂි නොමැතිව කරනු ලබන මෙම චෝදනා, ඒවා පසුපස ඇති අරමුණු මෙන්ම එමගින් ඇති විය හැකි ප්‍රතිවිපාක සම්බන්ධයෙන් සැක උපදවයි. එමෙන්ම, දීර්ඝකාලයක් පුරා වෙළෙඳපොළේ පැවති ඒකාධිකාරී තත්ත්වයන් නිසා ශ්‍රී ලංකාවේ නිවාස, ඉදිකිරීම් හා සහාධිපත්‍ය කර්මාන්තයන්ට සිදු වූ හානිකර බලපෑම මෙම යෝජිත විධිවිධාන තුළදී මුළුමනින්ම නොසලකා හැර තිබේ.ඒකාධිකාරීත්වයන් වෙළෙඳපොළ තුළ තරගකාරීත්වය මැඬපවත්වන අතරම එය නවෝත්පාදනයට සහ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීමට බාධාවක් ලෙස පවතී. පාරිභෝගිකයන්ට ඇති තෝරාගැනීම් සීමා කරන මෙවැනි ඒකාධිකාරීත්වයන් වෙළෙඳපොළ ආධිපත්‍යය අවභාවිත කරන නිසා භාණ්ඩවල මිල ගණන් ඉහළ යයි. එමගින් අදාළ ක්ෂේත්‍රය කෙරෙහි පවතින විශ්වාසය බිඳවැටෙන අතර, එය ක්ෂේත්‍රයේ වර්ධනය හා තිරසාරත්වය සීමා කරමින්, රටේ ප්‍රගතියට හා ආර්ථික සංවර්ධනයට ද බාධා පමුණුවයි.

ජනතාවට සමාන ලෙස ප්‍රතිලාභ පිරිනමමින් සෞභාග්‍යය ළඟා කරගැනීමට නම් ඔවුන්ට සහනදායී මිල ගණන් යටතේ නිවාස මිලදී ගැනීමට හැකියාව තිබිය යුතුය. එම නිසා මිල ගණන් ඉහළ යෑමට බලපාන මූල හේතු හඳුනාගෙන ඒවාට පිළියම් යෙදීම අත්‍යවශ්‍යය.

ප්‍රභාත් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment