ඩෙංගු මර්දනයෙන් පීඑච්අයිලා ඉවත් කිරීමේ තැතක්

36

ඩෙංගු රෝගය මර්දනය කිරීම සඳහා පවතින ආයතන ඩෙංගු මර්දන ව්‍යාපාරයක් බවට පත් කරගනිමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඩෙංගු මර්දන කටයුතුවලින් ක්‍රමයෙන් ඉවත් කිරීමේ ක්‍රමවේදයක් අනුගමනය කරමින් සිටින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ඩබ්. ඩී. රෝෂන් කුමාර මහතා චෝදනා කරයි.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ මැදිහත්වීමෙන් පසුගිය වසර තුළ පමණක් මදුරුවන් බෝවිය හැකි ස්ථාන තිබේ දැයි පරීක්ෂා කිරීම් තිස්තුන් ලක්ෂ තිස්පන්දහස් පන්සිය තිස්නවයක් (335539 ක්) සිදු කර ඇති අතර පරික්ෂා කරන ලද පරිශ්‍රවලින් හයලක්ෂ පනස්පන්දහස් පන්සිය එකක් (655501) මදුරුවන් බෝවීමට ඉඩ ඇති ස්ථාන ලෙස හඳුනාගෙන තිබුණු බවද ඔහු කියයි.

මදුරු කීටයන් සහිත ස්ථාන එක්ලක්ෂ විසිහත්දහස් පන්සිය හතළිස්නවයක් (127549ක්) මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එම පිරික්සීම්වලදී හඳුනාගෙන තිබූ අතර මෙම සියලු කාරණා නිවැරදි කිරීමට උපදෙස් ලබාදී තිබියදීත් නැවත නිවැරදි නොකිරීම සම්බන්ධයෙන් පසුගිය වසර තුළ පමණක් නඩු පැවරීම් පනස්පන්දහස් දෙසිය හැටනවයක් (55269 ක්) සිදු කර ඇති බව හෙතෙම අවධාරණය කළේය. ඉකුත් වසරේ පමණක් මෙම නීතිමය ක්‍රියාමාර්ග හරහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් රජයට අයකර දී ඇති දඩ මුදල එක්කෝටි හතළිස්තුන්ලක්ෂ අනූපන්දහස් හයසිය තිහකි (14395630).

මෙවැනි රාජකාරී රැසක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඩෙංගු මර්දනය සඳහා සිදුකර තිබියදීත් ඉතා පහත් ලෙස ඩෙංගු මර්දන කටයුතුවලින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඉවත් කිරීම සහ නොසලකා හැරීම් සිදුකිරීම කනගාටුදායක බවත් ඩෙංගු රෝගය රට තුළ මෙතරම් හෝ පාලනය වී ඇත්තේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ කැපවීමෙන් යුතුව කරන ලද සේවාව නිසා බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂක රෝෂාන් කුමාර මහතා කියා සිටී.

ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment