තෙල් වෘත්තීය සමිති ක්‍රියාකාරීන් 20ක් අනිවාර්ය නිවාඩු යවයි – හමුදා – පොලිසිය කැඳවයි

221

ඉන්ධන බෙදාහැරීම අඛණ්ඩව සිදු කරනවා
තෙල් සංස්ථා පරිශ්‍රයට ඇතුළු වෙන්නත් තහනම්
විශ්‍රාම ගිය අය පරිශ්‍රයට ඇතුළු වුණේ කොහොමද කියලා වෙනම පරීක්‍ෂණයක් කරනවා – කංචන
සීසීටීවී දර්ශන ඔස්සේ තවත් විමර්ශන

ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සේවකයන් පිරිසක් ආරම්භ කළ උපවාසය අතරතුර ඉන්ධන බෙදා හැරීමේ කටයුතුවලට බාධා කරමින් කඩාකප්පල්කාරී ලෙස කටයුතු කළ වෘත්තීය සමිති ප්‍රධානීන් ඇතුළුව සංස්ථා සේවකයන් විසිදෙනකු අනිවාර්ය නිවාඩු යැවීමට පියවර ගත් බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පැවසීය.

එසේ අනිවාර්ය නිවාඩු යවන ලද සියලු දෙනාට ඛනිජ තෙල් සංස්ථාවට අයත් පරිශ්‍රයන් වෙත ඇතුළු වීම සම්පූර්ණයෙන් තහනම් කළ බව ද ඒ මහතා සඳහන් කළේය.

සීසීටීවී දර්ශන ඇතුළු වෙනත් මූලාශ්‍ර ඔස්සේ සිදු කළ විමර්ශනවල දී මෙම පිරිස උපවාසයට එක් නොවී සේවයේ නිරත වූ සේවකයන්ට තර්ජනය කරමින් බියවද්දා ඉන්ධන බෙදා හැරීමේ කටයුතුවල බාධා කර ඇති බව තහවුරු වී තිබෙන බව ද ඇමැතිවරයා පැවසීය.

මේ අන්දමට අනිවාර්ය නිවාඩු යැවූ පිරිස ඇතුළුව කඩාකප්පල්කාරී ලෙස කටයුතු කළ අයට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමෙන් නොනැවතී ඉදිරියේදී නෛතික ක්‍රියාමාර්ග ගන්නා බව ද කී ඇමැතිවරයා දැනටමත් ඒ සඳහා ආරක්‍ෂක අංශවලට ලිඛිත උපදෙස් දී තිබෙන්නේ යැයිද සඳහන් කළේය.

කඩාකප්පල්කාරීන්ගෙන් එල්ල වූ තර්ජන හමුවේ සේවකයන් බියට පත්ව සිටීම නිසා තත්ත්වය පාලනය කිරීමට යුද හමුදාවේ සහ පොලිසියේ සහාය ඉල්ලා සිටීමට සිදු වූ බව ද ඇමැතිවරයා කීය.

කොළඹදී ඊයේ (29 වැනිදා) පැවති මාධ්‍ය හමුවකදී මේ බව කී ඇමැතිවරයා එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද පැවසීය.

“මෙම කඩාකප්පල්කාරී පිරිස අතර කණ්ඩායම් දෙකක් සිටින බව දැනට හඳුනාගෙන තිබෙනවා. ඉන් එක් කණ්ඩායමක් වන්නේ වෘත්තීය සමිති නායකයන් ලෙස පෙනී සිටිමින් සංස්ථා සේවයෙන් නිදහස්ව වැටුප් හා වරප්‍රසාද ගත් අය. ඔවුන් පසුගිය කාලයේ සංස්ථා වාහන තුන හතර භාවිත කරමින් ඒවාට අසීමිත ඉන්ධන කෝටා ලබා ගනිමින් සංස්ථාවට කිසිදු සේවයක් නොකර දේශපාලනය කරමින් සිටියේ.

ඒ අනුව රජය පසුගියදා තීරණයක් ගත්තා ඔවුන්ගේ සියලු වරප්‍රසාද කපා දමන්නට. අනෙක් කණ්ඩායම තමයි සේවයෙන් විශ්‍රාම ගොස් වෘත්තීය සමිති කටයුතු කරගෙන යන අය.

ඔවුන් කටයුතු කරන්නේ දේශපාලන පක්‍ෂවල වුවමනාවන් අනුව. සේවයෙන් විශ්‍රාම ගොස් සිටින එම පිරිස් සංස්ථා පරිශ්‍රවලට ඇතුළු වුණේ කෙසේද යන්න සොයා බැලීම සඳහාත් මේ වන විට විමර්ශන සිදු කෙරෙනවා.

මෙම කඩාකප්පල්කාරීන් අතර විවිධ දේශපාලන පක්‍ෂවලින් මැතිවරණයට ඉදිරිපත් වූ පිරිස් පවා සිටියා. රාජ්‍ය පරිපාලන සහ මැතිවරණ කොමිෂන් සභා චක්‍රලේඛ අනුව සංස්ථා සේවයෙන් නිවාඩු ලබා සිටින ඔවුන් ඉන්ධන බෙදා හැරීමේ පර්යන්ත වෙත ඇතුළු වී ක්‍රියාත්මක වූවේ කෙසේද කියාත් සොයා බැලීමට පරීක්‍ෂණ ආරම්භ කළා.

පවතින ඉන්ධන අවශ්‍යතාවන් අනුව පෙරේදා (28 වැනිදා) දිනය තුළ පෙට්‍රල් ලීටර් 6600 බවුසර් 507 ක් සහ ඩීසල් 6600 බවුසර් 451 බෙදා හැරීමට ඛනිජ තෙල් සංස්ථාව සැලසුම් කර තිබුණා.

එහෙත් කඩාකප්පල්කාරීන්ගේ තර්ජන හමුවේ සේවකයන් බියට පත්වීම නිසා බෙදා හැරීමට හැකිවුණේ පෙට්‍රල් ලීටර් 6600 බවුසර් 458 ක් සහ ඩීසල් බවුසර් 393 ක් පමණයි.

ආරක්‍ෂක අංශවලට අප මේ වන විට උපදෙස් දී තිබෙනවා තවදුරටත් කඩාකප්පල්කාරී ලෙස ක්‍රියාත්මක වූ පිරිස් හඳුනාගෙන ඔවුන් සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස.

එහිදී පොදුජන පෙරමුණ වේවා, සමඟි ජන බලවේගය හෝ ජවිපෙ වේවා කිසිදු දේශපාලන භේදයකින් තොරව තරාතිරම නොබලා නෛතික ක්‍රියාමාර්ග ගන්නා ලෙසට රජය දැනුම් දී තිබෙනවා.

අමාත්‍යාංශය සහ සංස්ථා බලධාරීන් වෙත ලැබුණු පැමිණිලි සහ සීසීටීවී දර්ශන ඔස්සේ ඔවුන්ට චෝදනා ගොනු කිරීම සිදු කරනවා. එසේ අත්‍යවශ්‍ය සේවා නියෝග කඩකිරීම සම්බන්ධයෙන් ද ඔවුන්ට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගැනීමට රජය සූදානම්.
සමන් ගමගේ සහ චමින්ද සිල්වා – ඡායාරූප – සුජාතා ජයරත්න

advertistmentadvertistment
advertistmentadvertistment