දඩාවතේ යන සුනඛයන්ටත් සෙනෙහස

146

පුංචි කාලේ අප බොහෝ දෙනා ලියපු සුන්දරතම රචනාවක් වූයේ මගේ සුරතලා ගැනය. එහිදී අප බොහෝ දෙනාගේ සුරතලා වූයේ බලු පැටියාය. බලු පැටියකුගේ සුරතල් අත්දැකීම් විඳ නොතිබුණත් සිතින් සිතමින් අපි බලු පැටියා ගැන ලිව්වෙමු. එම සුන්දර ළමා විය පසුකර තරුණ වියට පත්වූවිට ඇතැම් දෙනා තුළ එම සුන්දර බලු පැටියා ගැන මතකය ඈත්වන්නට පටන්ගෙන ඇති බවක් පෙනේ. එසේම සුන්දර බලු පැටියා ගැන සිහින මැවූ බොහෝ දෙනා ද වැඩි කැමැත්තක් දක්වන්නේ පිරිමි සතුන්ටය. නිවසේ ඇතිකරන්නට බලු පැටියකු සොයන විට විමසන්නේ බල්ලකු ගැනය. බැල්ලියකට එතරම් කැමැත්තක් නැත. ඊට හේතු වී ඇත්තේ බැල්ලියක පැටව් දමන නිසාය. එසේ බැල්ලියක පැටව් දමන්නේත් එකකු පමණක් නොවේ. වර්ගයෙන් උසස් නැති අප පොදුවේ පවසන වල් බල්ලන් යන වර්ගයට ගැනෙන බල්ලන්ගෙන් ගැහැනු සතුන් වැඩි ප්‍රමාණයක් මහ පාරේ දඩාවතේ යන තත්ත්වයට පත්වන්නේ මෙනිසාය.

මෙලෙස මහපාරට වැටුණු බල්ලන් සහ බැල්ලියන්ට ආදරය කරන යම් පිරිසකුත් සිටිති. ඔවුන් අතරින් කිහිප දෙනකු පසුගිය දිනක බියගම ඡන්ද කොට්ඨාසයේ මාකොළ ප්‍රදේශයේ මහමග සිටින බල්ලන් සහ බැල්ලියන්ට සෞඛ්‍ය සායනයක් පවත්වනු දැකගත හැකි විය.

එම සායනයේදී ඔවුනගේ වැඩි අවධානය යොමුව තිබුණේ බැල්ලියන්ට වඳ සැත්කම් සිදු කිරීමය.

මෙම සායනය පැවැත්වීමේ කටයුතු සංවිධානය සඳහා ප්‍රවීන කලාකරුවෙක් වන ධම්මික ගුණවර්ධන මහතා එක්ව සිටියේය. ඔහු ද සතුන්ට ආදරය කරන මාකොළ ප්‍රදේශයේම උපන් අයෙකි.

පශු වෛද්‍ය විමල් වීරතුංග මහතාගේ දායකත්වයෙන් පැවති මෙම සායනයට මූලිකව කටයුතු කළේ මල්කා වීරකෝන්, පෝෂණා දීපානි, අයෝමා ඩියුක් ද ලැනරෝල්, ආව්යා පතිරාජ, මල්කා ද ෆොන්සේකා, විහංග පන්ඩිගමගේ ඇතුළු පිරිසකි.

දඩාවතේ යන සුනඛයන්ටත් සෙනෙහස

ඔවුන් සියලු දෙනා මුහුණු පොත ඔස්සේ හඳුනාගත් සතුන්ට ආදරය කරන පිරිසකි.

මල්කා වීරකෝන් උඩුපිල පදිංචිව සිටි. පෝෂණා කෝට්ටේ ප්‍රදේශයේය. අයෝමා රත්මලාන ප්‍රදේශයේය.

මේ සියලු දෙනා තම කාලය ධනය කැපකර පැමිණ සිටියේ අයිතිකරුවන් නැති මහමග සිටිනා බැල්ලියන් වෙනුවෙනි.

තම රැකියාව තුළින් ලද විවේකයේදී මෙලෙස දිවයිනේ විවිධ ප්‍රදේශවලට ගොස් මහ මග සිටින බල්ලන් සහ බැල්ලියන්ට සායන පවත්වන බව මල්කා වීරකෝන් මහත්මිය පැවසුවාය.

මම දිනපතාම මහමග සිටින බල්ලන්ට ආහාර රැගෙන ගොස් දෙනවා. මහමග සිටින බල්ලෙක් හෝ බැල්ලියක් තුවාල වී සිටියොත් අපට හැකි අයුරින් එම සතා වෛද්‍ය ප්‍රතිකාර සඳහා වහාම යොමු කරනවා. මගේ ගෙදරත් බලු පැටව් විස්සක් පමණ සිටිනවා. මේ සියල්ලම කරන්නේ මෙම සතුන්ගේ අසරණ බව නිසා. සතුන් කූඩුකර හදනවාට මම විරුද්ධයි. ඔවුනට නිදහස දිය යුතුයි. සතෙක් මහ මග සිටිනවානම් ඒ සතාගේ කුසගින්න නිවා ගැනීමට ආහාර ටිකක් ලබාදීමට කටයුතු නරනවා නම් එය ලොකු පිනක්. මල්කා පැවසුවාය.

අයෝමා ගුවන් සේවිකාවක ලෙස සේවය කරන අතර මෙම සත්ත්ව සුභ සාධනය සඳහා එක්ව සිටින්නීය. ඇය ද තම ධනය සහ කාලය මෙලෙස මහමග සිටින බල්ලන් සහ බැල්ලියන්ගේ රැකවරණය වෙනුවෙන් කැප කිරීමට යොමුවී ඇත.

සුනඛ ගහණය පාලනය සඳහා ගැහැනු සතුන් වඳ සැත්කමට ලක්කිරීම ගැන විවිධ මත පළවිය හැකිය. නමුත් ගැහැනු සතකු නිවසේ ඇති කිරීමට බොහෝ දෙනා අකමැති ඔවුන් පැටවුන් දමන නිසාය. අප බොහෝ විට බල්ලන් නිවසේ ඇති කරන්නේ නිවසේ ආරක්‍ෂාවටය. එහිදී ආහාර පාන ලෙස දෙන්නේ අප කා ඉවතලන ඉඳුල්ය. නමුත් සැබෑවටම සතුන්ට ආදරය කරන අය ද සිටිති. ඔවුන් අතරින් වැඩි පිරිසක් රැකබලා ගන්නේ උසස් වර්ගයේ යැයි පවසන සුනඛයන්ය. වල් බල්ලන් යැයි පවසන සුනඛයන් ආදරයෙන් රැකබලා ගන්නා පිරිස ඇත්තේ සීමිත ගණනකි.

එවැනි පසුබිමක මෙලෙස මහ මග දඩාවතේ යන සුනඛයන් වෙනුවෙන් කැපවූ පිරිසක් දැකීමත් සතුටකි. ඔවුන් සමග එක්වී අප කළ යුත්තේ මහ මගට වැටෙන සුනඛයන් ගණන අඩු කිරීම සහ එවන් තත්ත්වයනට පත්වීමට ඇති අවස්ථා අඩු කිරීමය.

ඒ සඳහා නිවසේ ඇතිකරන්නට පිරිමි බලු පැටවුන් පමණක් නොව ගැහැනු බලු පැටවුන් රැගෙන යන්නට ද කාගේත් අවධානය යොමු විය යුතුය.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment