දවසකට බත් කන්නෙත් දෙවේලයි… අනුරපුර පින්බිමේ දවසට ළමා අපචාරත් දෙකයි

1157

ගල් ගුහාවක අඹු සැමියන් ලෙස හැසිරුණු දැරිය ගැබිනියක්…
නවය වසර පන්තියේ ගැහැනු ළමයාව උසස් පෙළ පන්තියක පිරිමි ළමයෙක් කැඩෙට් කාමරයේදී දූෂණය කරයි…
සතිඅන්ත දිනවල අනුරාධපුර ලැගුම්හල් ටියුෂන් පෙම්වතුන්ගෙන් පිරෙති…
පියාගෙන්, සීයාගෙන් දියණියන්ට වන ලිංගික හිරිහැරත් වැඩි වෙලා…ගැහැනු ළමයි විතරක් නෙමෙයි පිරිමි ළමයින්ටත් ලිංගික හිරිහැර…
ෆ්‍රී කාඩ් ලබාදෙමින් සිසුවියන් දැලේ දාගන්න, ටියුෂන් ගුරුවරුත් අනුරපුර සුලබය…

කන වැකෙන කතාවට හදවත පෑරිණි. කතාවේ ඇතුළාන්තය සොයා යන විට සියොළඟම හිරිවැටිණි. ඒ නම් ඇසිය යුතු කතාවක් නොවේ. සිරිමා බෝ සමිඳු, තුන් ලොවටම අග්‍ර වූ රුවන්මැලි මහා සෑ රජුන් වැඩ හිඳින ඒ පුණ්‍ය භූමිය අවටින් මෙවැනි කතා වාර්තාවීම ද රට ට සාපයකි. එහෙත් කාලයක සිට අනුරාධපුරයෙන් වාර්තා වන බොහෝ කතා දෙසවනට අමිහිරිය. පෙළගැසෙන මේ කතාව මහා ඛේදවාචකයක ඇරඹුමක් යැයි හැඟේ. ඒ මේ වනවිට අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් දිනකට ළමා අපචාර සිද්ධි දෙකකට වැඩි සංඛ්‍යාවක් වාර්තා වන බවට පැතිරෙන කතාවය. ඒ කතාව පෙළගැසෙන්නේ මෙසේය.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, අනුරාධපුර, කැබිතිගොල්ලෑව සියලුම පොලිස් කොට්ඨාසවලින් ළමා අපචාර සිද්ධි වාර්තාවීම වේගයෙන් වැඩි වෙමින් තිබේ. විශේෂයෙන්ම තන්තිරිමලේ, විලච්චිය, ගල්කිරියාගම, එප්පාවල, ගාලදිවුල්වැව, නොච්චියාගම සහ තඹුත්තේගම යන ප්‍රදේශවලින් වාර්තා වන ළමා අපචාර සිද්ධි අතිශය වැඩි බවක් පෙන්නුම් කෙරේ. එමෙන්ම බහුලවම අපයෝජනයට ගොදුරු වනුයේ බාලවයස්කාර දැරිවියන්ය. වයස අවුරුදු හයේ සිට ඉහළට දැරිවියන් අපයෝජනයට ලක් වෙමින් තිබෙන බවද වාර්තා වේ. වයස අවුරුදු හයට වැඩි ගැහැනු ළමයි බොහෝවිට දූෂණයට ලක් වෙන්නෙ පෙම්වතාගෙන් බව ද වාර්තා වේ. එමෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කයේ ළමා අපචාර වැඩීවීම පටන්ගෙන ඇත්තේ ‘ඔන්ලයින් අධ්‍යාපන’ ක්‍රමය ආරම්භයත් සමඟ බව ද එම ප්‍රදේශයේ බහුතරය කියන කතාවය. බහුතරයගේ මතයට එප්පාවලින් වාර්තා වන මේ සිද්ධිය කදිම නිදසුනකි.

එම ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් කොරෝනා සමයේ තම දියණියට ඔන්ලයින් ක්‍රමයට අධ්‍යාපනය කරගෙන යෑම සඳහා රුපියල් අසූදහසකට වැඩි වටිනාකමකින් යුත් අලුත්ම මාදිලියේ ජංගම දුරකථනයක් ලබාදී තිබිණි. ඊට ටික දිනකට පසු එම පියා රිය අනතුරකට ගොදුරුව මිය ගොස් තිබිණි. දෑස් පෙනීම දුර්වල මව සහ එකම දරුවා වූ දහහතර හැවිරිදි දියණිය සුපිරි නිවසේ තනි විය. දවසේ වැඩි කාලයක් ජංගම දුරකථනය ඔබමින් සිටි දියණිය වට්ස්ඇප් තාක්‍ෂණය ඔස්සෙ තරුණයෙක් හඳුනාගත්තාය. ඒ අරංගන්විල ප්‍රදේශයේ පදිංචි විසිදෙහැවිරිදි තරුණයෙකි. වැඩි දිනක් ගෙවෙන්නට මත්තෙන් සාමාන්‍ය කතාව ප්‍රේම කතාවකට පෙරළිණි. දුරකථන ප්‍රේමය දැරිවියගේ නිවසට පැමිණීමට ද ගත වී ඇත්තේ මාස දෙකකටත් අඩු කාලයකි. දෑස් පෙනීම දුර්වල මවට හොරෙන් නිවසට ගෙන්වාගත් ප්‍රේමවන්තයා සමඟ රෑ තිස්සෙ ආදරයෙන් වෙලුණු දැරිවිය දැන් ගැබිනියක් වී සිටින්නීය. එහෙත් මල් හී සර විද්ද අනංගයා දැන් ගමෙත් නැත. ඒ සිද්ධිය ටිකක් පරණය. මේ සිද්ධිය ගිය සතියේ වාර්තා වූ කතාවකි.

මවගේ ජංගම දුරකථනයේ වට්ස්ඇප් තාක්‍ෂණය ඔස්සේ තරුණයෙක් හඳුනාගත් බාලවයස්කාර දැරියක් එම තරුණයාව නිවසට ගෙන්වාගෙන ඇත. සවස් කාලයේ නිවසට ඇතුළු වන තරුණයා රෑ වෙනකම් ඇඳ යට සිට නිවසේ සෙසු සාමාජිකයන් නිදිගත් පසු ඇඳ මතට පැමිණ බාලවයස්කාර පෙම්වතිය සමඟ රති කෙළියේ යෙදීම පුරුද්දක් කරගෙන තිබිණි. පසුගිය දිනෙක දියණියගේ කාමරය තුළින් නැගුණු අමුතු ශබ්දයට ඇහැරී දොර ඇර බලපු පියාගේ දෑස් නිලංකාර වී තිබිණි. ඒ මොහොතේ ම තරුණයාව අල්ලාගෙන පුටුවක් මත හිඳවා ගැටගසා ඔහුගේ දෙමවුපියන්ව ද ගෙන්වා එම තරුණයාව පොලිසියට භාර දී තිබිණි. එම තරුණයාට වයස අවුරුදු විසිඑකකි. විසේකාර දියණියට වයස අවුරුදු පහළොවකි. එම සිද්ධියට අදාළ ගම නොකියනුයේ දැරියගේ පියා ප්‍රසිද්ධ චරිතයක් වන බැවිනි. එමෙන්ම එම ගැහැනු ළමයි දෙදෙනා දූෂණයට ලක් වූයේ ප්‍රේමවන්තයන්ව නිවසට කැඳවාගෙන තම නිදන ඇඳ මතදීය. එහෙත් මේ පාසල් දැරිය දූෂණයට ලක් වී ඇත්තේ ප්‍රේමවන්තයාගේ ගමේ ගල් ගුහාවක් තුළදීය.

ගාලදිවුල්වැව පොලිස් වසමේ පදිංචි එම ගැහැනු ළමයා මවුපියන්ට අමතර පන්ති යන බව පවසමින් සෑම සතිඅන්ත දිනකම නිවසෙන් පැමිණ, ප්‍රේමවන්තයාගේ ගමේ ගල් ගුහාවක අඹු සැමියන් ලෙස හැසිරීම පුරුද්දක් කරගෙන සිටිති. කාලයත් සමඟ බාහිර පෙනුමේ ඇති වූ වෙනස්කම් සමඟ මව විසින් සෝදිසි කර බලන විට ඇය ගැබිනියක් බවට පත් වී අවසානය. එම දැරිවිය ද ප්‍රේමවන්තයාව හඳුනාගෙන ඇත්තේ මුහුණුපොත හරහාය. නිවෙස්වල, ගල්ගුහාවල සහ හෝටල් කාමර තුළ පමණක් නොව පාසලක කැඩෙට් කාමරය තුළ ද නවය වසර පන්තියේ ඉගෙනුම ලබන සිසුවියක් සහ උසස් පෙළ පන්තියක ඉගෙනුම ලබන පිරිමි ළමයෙක් අඹු සැමියන් ලෙස හැසිරෙන අවස්ථාවක් ගුරුවරයෙක් දැක පොලිසියට පැමිණිලි කර තිබිණි. තවත් පාසලක නවය වසර පන්තියේ ඉගෙනුම ලබන ගැහැනු ළමයෙක්ව ප්‍රේමවන්තයා විසින් බරපතළ ලෙස දූෂණයට ලක් කොට තිබිණි. ගැහැනු ළමයින්ව මත්ද්‍රව්‍යයට හුරු කර, දෙදෙනාම මත්ද්‍රව්‍ය පාවිච්චි කර අසාමාන්‍ය ලිංගික ක්‍රියාකාරකම්වල යෙදෙන පෙම්වතුන් ගැන ද අනුරාධපුරයෙන් නිතර වාර්තා වේ.

ගමෙන් නගරයේ පාසල්වලට පැමිණෙන ඇතැම් ගැහැනු ළමයි පාට ඇඳුමක් බෑගයේ සඟවාගෙන පැමිණ අතරමගදි එම ඇඳුම ඇඳගෙන ප්‍රේමවන්තයන් සමඟ පෙම් සුව විඳීමට කාමරවලට යෑම අනුරාධපුරයට සාමාන්‍ය සිද්ධියක් බවට පත්ව ඇත. කිසිදු සොයාබැලීමකින් තොරව කාමර පහසුකම් ලබාදීමට අනුරාධපුර ලැගුම්හල් ද බොහෝය. අනුරාධපුර නව නගරයේ, පැරැණි බස් නැවතුම්පළ ආසන්නයේ ලැගුම්හල් පමණක් නොව නගරය අවට බොහෝ ලැගුම්හල්වල කාමර පැයට දෙකට, දාහට, දෙදහට විකුණති. සති අන්ත දිනවල අනුරාධපුර නගරයේ සියලුම ලැගුම්හල්වල කාමර ෆුල් වන්නේ අමතර පන්තිවලට සහභාගි වන ළමයින්ගෙන් බව ද වාර්තා වේ. ඉඳ හිට පොලිසිය විසින් ලැගුම්හල් සෝදිසි කර අත්අඩංගුවට ගන්නා බාලවයස්කාර පෙම්වතුන්ට හරි හැටි නීතියක් ක්‍රියාත්මක නොකරන බවට ද තොරතුරු අනාවරණය වෙමින් තිබේ. එමෙන්ම අනුරාධපුරේ ඇතැම් ටියුෂන් ගුරුවරු ද ‘ප්‍රී කාඩ්’ ලබාදෙමින් සුන්දර සිසුවියන් රටවාගෙන පහත් ලිංගික ආශාවන් ඉටු කරගැනීමට පාවිච්චි කරන බව ප්‍රසිද්ධ කතාවකි. උසස් පෙළ විභාගයට පෙනී සිට විශ්වවිද්‍යාලවලට ලකුණු මදිවන බොහෝ තරුණයන් රැකියාවට තෝරාගනු ලබන්නේ ළමයින්ට අමතර ඉගැන්වීමය. අනුරාධපුර ටියුෂන් ගුරුවරු බොහෝ දෙනෙක් විවාහ වී සිටිනුයේ ද ඔවුන්ගේම අමතර පන්තිවලට සහභාගි වූ සිසුවියන් සමඟය. ටියුෂන් ගුරුවරුන්ගෙන්, පෙම්වතුන්ගෙන් පමණක් නොව අඩු වැඩි වශයෙන් පියාගෙන්, සීයාගෙන්, බාප්පගෙන් අතවරයට පත්වන බාලවයස්කාර දැරිවියන් ද අනුරාධපුරයේ බොහෝය. එවැනි අපරාධ පොලිස් පොතේ සටහන් වනුයේ ද කලාතුරකිනි. අනාගතයට හානියක් යැයි සිතමින් බාලවයස්කාර තම දරුවන්ට පියාගෙන් හෝ සීයාගෙන්, අනියම් සැමියාගෙන් සිදු වන ලිංගික හිරිහැර සඟවාගෙන සිටින මවුවරු කොතෙකුත් සිටින බව අනුරාධපුරයේ ඈත ගම්මානවල ඇතැම්හු අපට කීහ.

පසුගිය දිනක අනුරාධපුර පොලිස් කොට්ඨාසයේ ගමක පැවැති මත්ද්‍රව්‍ය විරෝධී වැඩසටහනක් අවසානයේදී එම ගමේ පදිංචි දැරිවියක් වැඩමුළුවට සහභාගි වී සිටි පොලිස් නිලධාරිනියකගේ ඇඳුමේ එල්ලී පියාගෙන් වන ලිංගික හිරිහැර ගැන පවසා තිබිණි. ඒ මොහොතේම ක්‍රියාත්මක වූ පොලිසිය බාලවයස්කාර කාලකණ්ණි අපරාධකරුව අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කර තිබිණි. තවත් දිනෙක ගල්නෑව පොලිස් වසමේ දැරියක් කිලෝ මීටර් දහතුනක් පයින් ඇවිදගෙන පැමිණ වසර ගණනාවක් තිස්සේ පියාගෙන් සිදුවන බරපතළ ලිංගික හිරිහැර ගැන ගල්නෑව පොලිසියට පවසා තිබිණි. ලිංගික ප්‍රදේශය කැසීම නිසා වෛද්‍ය සායනයකට සහභාගි වී සිටි පහළොස් හැවිරිදි දැරියක් වසර ගණනාවක් තිස්සෙ සිට සීයාගෙන් ඇයට සිදු වන ලිංගික හිරිහැර ගැන වෛද්‍යවරුන්ට පවසා තිබිණි. තම දරුවන් සමඟ සෙල්ලම් කිරීමට නිවසට පැමිණි අසල්වැසි නිවසක දස හැවිරිදි දැරියක් දූෂණය කළ තඹුත්තේගම ප්‍රදේශයේ පදිංචි හමුදා සෙබළෙක් ගැන ද පසුගිය දිනක පොලිසියට පැමිණිලි ලැබී තිබිණි. හොරොව්පතාන ප්‍රදේශයේ එක්දරු පියෙක් අමතර පන්තියකට සහභාගි වී නිවසට යමින් සිටි දහසය හැවිරිදි පාසල් සිසුවියක් කැලයට උස්සාගෙන ගොස් අමානුෂික ලෙස දූෂණයට ලක් කර මරණ බවට තර්ජනය කර තිබිණි.

ගැහැනු දරුවන් පමණක් නොව පිරිමි ළමයින් ද අපයෝජනයට ලක් කරන අපතයො අනුරාධපුරයේ ගම්වල සුලබය. සිල්ලර බඩු වෙළෙඳසලක් පවත්වාගෙන යන සල්ලාල වෙළෙන්දෙක් නිතර කඩේට එන, යන වයස අවුරුදු දහහතරක පිරිමි ළමයෙක්ට ටොෆි, චොක්ලට්, බීම ලබාදී චාටු කරගෙන, අනතුරුව සිගරැට්, අරක්කු බොන්න දී වෙළෙඳ සලේදී, වෙල් ඉපනැල්ලේ, දන් කැලේ කිහිප වාරයක් අපයෝජන කර තිබේ. ඒ දරුවාට බේරීමක් නැතිම තැන, ගමේ ග්‍රාම සේවකට ලිඛිතව දැනුම් දී තිබේ. එසැණින් ක්‍රියාත්මක වූ ග්‍රාම සේවක පොලිසිය දැනුවත් කර කාමාතුර වෙළෙඳසල් හිමියාව පොලිසියට කොටු කර දී තිබිණි. එවැනි කඳුළු කතා බොහෝය. පත්ඉරුවක නොව පොතක් පිරෙන්න සටහන් තැබිය හැකි තරමට අපචාර සිද්ධි තිබේ. පෙළගැසෙන බොහෝමයක් මේ සිද්ධිවලට වගකිවයුත්තේ ද දෙමවුපියන් බව අනුරාධපුරේ උගත්, බුද්ධිමත් මිනිසුන් පෙන්වා දෙන යථාර්ථයකි.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඈත පිටිසර නොදියුණු ගම්මානවල තරුණ, තරුණියො අඩු වයසෙන් විවාහ වෙති. දරුවො හදති. කිරි සුවඳ පැතිර යන පුංචි පැල් කොටවල ආර්ථික ප්‍රශ්න ඉහ වහා යන විට තරුණ සැමියා දුර රැකියාවකට යන්නේය. ත්‍රිවිධ හමුදාවට බැඳෙන්නේය. එසේ නොවෙන්න තරුණ සැමියට, මිත්තනියට දරුවන් භාර දී බිරිඳ මැදපෙරදිග ගෘහ සේවයට යන්නීය. පවතින ආර්ථික ආහේනිය තුළ අනුරාධපුරේ විවිධ ප්‍රදේශවල කාන්තාවන් පිටරට රැකියාවලට යන ප්‍රවණතාව ද විශාල වශයෙන් වැඩි වී ඇත. එමෙන්ම ඇතැම් මවුවරු පුංචි දරුවො, කසාද සැමියා අතහැර වෙනත් පිරිමි සමඟ පැන යන බව ද වාර්තා වේ. එවැනි පසුබිමක කරදඬු උස් මහත් වන දරුවන්ට මවු සෙනහස, පිය රැකරවණය අහිමි වෙති. අසල්වාසීන්ගෙන්, නන්නාඳුනන මිනිසුන්ගෙන් ඒ ළමයි ආදරය, සෙනෙහස සොයති. ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමයත් සමඟ අතට ලැබුණු ජංගම දුරකථනය එයට පාරා වළල්ලක් වී ඇති බව ද සැබෑය. එමෙන්ම අනුරාධපුරේ ගම්මානවල ඇතැම් මවුවරු ජංගම දුරකථනය ජීවිතය කරගෙන දරුවො කන, බොන හැටිවත් සොයා නොබලන උමතුවකින් පෙළෙන බව ද වාර්තා වේ. අවසානයේ ජංගම දුරකථනයෙන් කොට, කොටා සැමියා නැති වෙලාවට නිවසට රිංගන අනියම් පෙම්වතා මව පමණක් නොව, බාලවයස්කාර දියණියත් කෙළෙසන අවස්ථා අනුරපුර සුලබය. ඇතැම් මවුවරුන්ගේ පහත් ආශාවන් නිසා අනියම් ප්‍රේමය ආරක්‍ෂා කරගැනීම අරභයා තම සිඟිති දියණියව කැමැත්තෙන්ම කාමාතුර අනංගයාට බිලි දී තිබෙන සිද්ධි ද වටින් ගොඩින් ඇසේ. එවැනි අපචාර සිද්ධි බොහොමයක් පොලිසිවලට පැමිණිලි නොවේ. පියාගෙන්, ඥාතියකුගෙන් හෝ තම පෙම්වතාගෙන් සිදු වන ලිංගික හිරිහැර සිත් තුළ තද කරගෙන මවට හෝ නොකියා සිටින දැරිවියන් ද අනුරාධපුර ඈත පිටිසර ගම්මානවල සිටින බව ගම්මුන්ගේ අදහසකි. එහෙයින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථානවලට වාර්තා වන ළමා අපචාර සිද්ධිවලට වඩා, වාර්තා නොවන අපචාර සිද්ධි සංඛ්‍යාව අතිශය වැඩිය. අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් වාර්තා වන මනුෂ්‍ය ඝාතන, ස්ත්‍රී දූෂණ, ළමා අපචාර වැනි හදවත් කම්පනයට පත් කරවන නොයෙක් සිද්ධි ගැන විටින්, විට අපිදු දිවයින ඉරිදා සංග්‍රහයෙහි වාර්තා කළෙමු.

‘අවුරුදු පහළොවේ දුවත් මහ පාරේ විකුණයි… ශුද්ධ භූමිය පෙනෙන මානයේ කියන්න කැත ගණිකා ජාවාරම…’

දවසකට බත් කන්නෙත් දෙවේලයි… අනුරපුර පින්බිමේ දවසට ළමා අපචාරත් දෙකයි

2017 නොවැම්බර් මස 12 වැනිදා ඉරිදා පුවත්පතේ පළකළ ඒ සිද්ධිය විශේෂය. අනුරාධපුර පැරැණි බස් නැවතුම්පළ ආසන්නයේ ලෑලි නිවසක ජීවත්වන මවක් තම කුසෙන් උපන් දියණිය මිනිසුන්ට විකුණා මුදල් උපයමින් දවස තිස්සේ අරක්කු, බියර් පානය කරන අලජ්ජ සිද්ධිය ගැන පත්තර පිටුවක් පිරෙන්න සම්පූර්ණ කතාව වාර්තා කළ ද අදට ද හරි හැටි පොලිස් පරීක්‍ෂණයක් සිදු වී නැති බව වාර්තා වේ. මේ වනවිට එම දැරිවිය අනුරාධපුර ප්‍රසිද්ධ හෝටල් ව්‍යාපාරිකයෙක් විසින් ඔහුගේම හෝටලයේ තබාගෙන කාම ගින්නෙන් දැවෙන අසහනකාරී පුද්ගලයන්ට වැඩි මුදලට විකුණන බව අලුතින්ම ලැබෙන ආරංචියයි. කතාව පෙළගැසෙන විට මතු වන ගැටලුව නම් කොළඹ සිටින අපට වාර්තා වන එවැනි අශික්ෂිත සිද්ධි අනුරාධපුරේ ක්‍රියාත්මක බුද්ධි අංශ වෙත වාර්තා නොවීම ගැනය. එමෙන්ම මත්ද්‍රව්‍ය විරෝධී වැඩසටහන් ගමින්, ගමට පැවැත්වීමට රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන උනන්දු වුවද අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ වසංගතයක් මෙන් පැතිරී යන ළමා අපචාර වැළැක්වීම සම්බන්ධයෙන් එකදු උපදේශන වැඩසටහනක් හෝ නොපැවැත්වීම ද ප්‍රධාන ගැටලුවකි.

රටේ නීති ප්‍රකාරව බාල වයස්කාර දරුවන්ගේ අයිතිය ඇත්තේ මවුපියන්ට නොව, ඉහළ උසාවියට ය. දරුවකුගේ භාරකාරත්වය පිළිබඳ අවසාන තීන්දුව ගන්නේ උසාවිය විසිනි. එසේ නම් දරුවකුගේ සුබසාධනය සහ රැකවරණය රජය සතුය. අනාථ වූ අසරණ දරුවන් බලා කියා ගැනීමට අධිකරණය විසින් පරිවාස භාරයට පත් කරනුයේ එහෙයිනි. එවැනි අසරණ දරුවන් රැකබලාගැනීමට පරිවාස සහ ළමා රක්‍ෂණ කොමසාරිස් දෙපාර්තමේන්තුවක් ද රටේ ස්ථාපිතව ඇත්තේය. එහෙත් දිනකට දෙකකට වැඩි ළමා අපයෝජනය සිද්ධි වාර්තා වන අනුරාධපුර දිස්ත්‍රික්කයේ හිංසාවට පත්වන බාලවයස්කාර දරුවන් සම්බන්ධයෙන් රටේ නීතිය හරි හැටි ක්‍රියාත්මක වන බව නොපෙනේ. එමෙන්ම අනුරාධපුරයේ ස්ථාපිත රාජ්‍ය නොවන ඇතැම් ළමා නිවාස ද ගණිකා මඩම් වැනිය. ඒ මඩම් තුළින් නිරන්තරයෙන් ඇසෙනුයේ අසරණ අහිංසකයන්ට වන හිරිහැර සම්බන්ධයෙන් ඛේදජනක කතාය. එම ආයතන සම්බන්ධයෙන් ද රටේ නීතිය ක්‍රියාත්මක නොවේ.

එවැනි පසුබිමකදී අනුරාධපුරයේ ළමා අපචාර සිද්ධි අදත් අපට වාර්තා වේ. එවැනි අමානුෂික ශාරීරික පීඩාවන්ට මුහුණ දෙන දරුවන් හෙට වැඩිහිටියන් වන්නේය. එසේ නම් අනාගතයේ අපේ රට කෙබඳු ආශ්චර්යක් මවයිද? පෙළගැසෙන කතාව තවම අවසාන නැත. ලබන සතියටත් කොටසක් ඉතිරි වේ.

තරංග රත්නවීර
මිහින්තලේ – රංග චතු

advertistmentadvertistment
advertistmentadvertistment