දූෂණ අක්‍රමිකතා ගැන ගිණුම් කාරක සභාවේ කතා නොකළා නම් රටේ මූල්‍ය කොහොම වෙයිද? – රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න

96

වසර සියයක් පුරා වාර්තා දුන්නත් ඵලක් නැහැ: දූෂිතයන් නිදැල්ලේ – අශෝක් අබේසිංහ (සජබ)

හොරු අල්ලලා මේ වැඩේ නතර කරන්න බැහැ – රංජිත් බණ්ඩාර (ශ්‍රීලපොපෙ)

රාජ්‍ය සේවයේ කඩාවැටීම කාරක සභාවට එන ආයතනවලින් පේනවා – හරිනි අමරසූරිය (ජාජබ)

රාජ්‍ය ආයතනවල දූෂණ අක්‍රමිකතා පිළිබඳව මෙහෙමවත් කතා නොකළා නම් රටේ මූල්‍ය තත්ත්වය කොහොම වේ දැයි හිතාගන්නත් බැරි වන බව රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපති රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතා ඊයේ (17 දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.

වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ මූලාසනයෙන් යුතුව පාර්ලිමේන්තුව ඊයේ පෙරවරු 9.30 ට ආරම්භ කෙරිණ. අනතුරුව වසර සියයක් සම්පූර්ණ කෙරෙන රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාවේ ක්‍රියාපටිපාටිය සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂය විසින් ගෙන එනු ලැබූ කල් තබන අවස්ථාවේ විවාදය කෙරිණ.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රි ප්‍රදීප් උඳුගොඩ (ශ්‍රීලපොපෙ)

රාජ්‍ය ආයතන පිළිබඳ අද ජනතාවට සෑහීමට පත්විය හැකි කාර්යක්‍ෂමතාවක් නෑ. රාජ්‍ය ආයතනවල මුදල් බලය තියෙන්නේ පාර්ලිමේන්තුවටයි. නමුත් අනුමත කරන මුදල් කාර්යක්‍ෂමව යෙදෙන්නේ ද යන්න කාරණය මුදල් කාරක සභාවට පැවරෙනවා.

ගිණුම් කාරක සභාව ඉදිරිපත් කරන නිර්දේශ මේ වනවිට ඉටුකර තිබෙනවාද යන්න ප්‍රශ්නයක් තියෙනවා. අද ජනතාව බලා සිටිනවා පාර්ලිමේන්තුව වගේම නිලධාරීන් සීමිත සම්පත් කළමනාකරණය කරලා රට ඉදිරියට ගෙන යනවාද කියලා.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී අශෝක් අබේසිංහ (සජබ) –

රාජ්‍ය ගිණුම් කාරක සභාව පළමු රැස්වීම පවත්වලා අදට වසර සියයක් ගත වෙනවා. මේ වසර වනවිට විගනකාධිපති වාර්තා නිරීක්‍ෂණය කරලා ඒ පිළිබඳ වාර්තා කිරීම මෙමඟින් සිදුවෙනවා. ආයතන 850ක පමණ ගිණුම් පරීක්‍ෂා කරනවා.

මෙහි වාර්තා සභාගත කළ විට ඒ ගැන මුදල් ඇමැතිවරයාත් ආයතන භාර ඇමැතිත් සති 8ක් ඇතුළත ඒ වාර්තාවලට එකඟ වෙනවා ද කියා කරුණු කිව යුතුයි. එකඟ නැත්නම් ඔහුටත් කමිටුවට කරුණු කිව හැකියි. මේ පිළිබඳ නීති පවතිනවා. මේ වාර්තා පසුව නීතිපතිගේ අවධානයට යොමු කළ හැකියි.

සිදුවන දූෂණ වංචාවල ප්‍රමාණය එකතු කළහොත් එහි ප්‍රමාණය රාජ්‍ය ආදායමට වඩා වැඩියි. මේවා අයකර ගැනීමේ ක්‍රමවේදයක් නැහැ. නීතිපතිවරයා සමඟ එකතු වී මේ ගැන පියවරක් ගත යුතුයි. දූෂිතයන් නිදැල්ලේ ඉන්නවා. වසර සියයක් පුරා වාර්තා දුන්නත් පලක් නෑ. ශ්‍රී ලන්කන්, සීනි බදු වංචාව ඇතුළු මහා පරිමාණ වංචා ගැන කමිටු නිරීක්‍ෂණ වාර්තා තියෙනවා. නමුත් පලක් නෑ. විශේෂ අධිකරණයක් මේ සඳහාම පත්කළ යුතුයි.

බදු අහිමිවීම දූෂණය වංචා වැඩියි. මේවා අවම කළහොත් අපිට ජාත්‍යන්තර ණය අවශ්‍ය නෑ. වහාම මේ ගැන අවධානය යොමු කරන්න.

පත්කළ මන්ත්‍රී මහාචාර්ය රංජිත් බංඩාර (ශ්‍රීලපොපෙ)

අපේ රටේ රාජ්‍ය සේවය ගැන විවේචන මහ ජනතාවට කියාගන්න තැනක් නෑ. මේ රටේ තියෙන්නේ වගවීම පිළිබඳ ප්‍රශ්නයක්. රාජ්‍ය සේවය හොඳ පැත්තට පරිවර්තනය වීමක් නෑ. මහ ආණ්ඩුවට අමතරව පළාත් ආණ්ඩු 9කුත් ආවා. අපි හිතුවා ඒවාවත් කාර්යක්‍ෂම වෙයි කියලා. මේ ගැන ජනතා විවේචන විශාලයි. රාජ්‍ය සේවය යථාවත් නොකර රාජ්‍ය සේවයට පැවැත්මක් නෑ. හොරු අල්ලලා මේ වැඩේ නතර කරන්න බැහැ. මීට වඩා වෙනස් ක්‍රියා මාර්ගයක් අවශ්‍යයි.

පත්කළ මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය (ජාජබ)

රජයේ මූල්‍ය පාලනය ගැන සම්පූර්ණ වගකීම පාර්ලිමේන්තුවටයි. අද වනවිට රටේ බංකොලොත්භාවයට ප්‍රධාන හේතුව රටේ මූල්‍ය පාලනයේ කඩා වැටීමයි. වංචාව, දූෂණය නාස්තිය ඊට හේතුවයි. ඉතිහාසයේ නොසිතූ ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙලා.

මෙම කාරක සභාවට ආයතන 850කට ආසන්න ප්‍රමාණයක් විගණනය විය යුතුයි. කාරක සභාවේ තේරීම් කාර්යය නිවැරදිව ඉටුවෙනවාද කියා සාකච්ඡා විය යුතුයි.

රාජ්‍ය ආයතනවල කාර්යක්‍ෂමතාව හා මුදල් පාලනය හරිහැටි සිදුනොවීම නිසා රාජ්‍ය සේවයම කඩාවැටීමක් සිදුවෙනවා. කාරක සභාවට එන ආයතනවල හැසිරීම අනුව එය හොඳින් පේනවා. මූල්‍ය පාලනය හරියට නොවෙන්න හේතුව මොකක්ද. නිසි බලතල කාරක සභාවට නෑ. තියෙන බලතල යොදවන්න නිවැරදිව ක්‍රියාත්මක වීම අවශ්‍යයි.

රාජ්‍ය නිලධාරීන්ගේ අකාර්යක්‍ෂමතාවට එහා ගිය හේතු තියෙනවා. රටේ පාලනය ඉතා කුඩා කල්ලියක් තුළින් සිදුවන නිසා රටේ පාලනය හරිහැටි ක්‍රියාත්මක කිරීම අපහසු වී තියෙනවා. නිලධාරීන් පිළිතුරු දෙන්නේ දේශපාලනඥයාට රැකවරණය දෙමිනුයි. සීනි බදු වංචාවත්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ දූෂණත් නොවිසඳී එලෙසම සිදුවෙනවා. රාජ්‍ය ආයතන වැට්ටුවේ කවුද. ඒවාට හේතුවන දේශපාලන කරුණු වසංකර කරන්න බැහැ. වංචා දූෂණ පිටු ුදැකිය හැකි පාලනයක් නැතිව මේ කිසිම දෙයක් ක්‍රියාත්මක කරන්න බෑ.

පත්කළ මන්ත්‍රී තිස්ස අත්තනායක (සජබ) –

මූල්‍ය විනය ගැන රටේ බරපතළ ගැටලු පවතිනවා. හොර වංචා ගැන වැඩිපුර කතා කරන්න සිදුවී ඇත්තේ ඒකයි.

මූල්‍ය අක්‍රමිකතා පිළිබඳව නොයෙක් තොරතුරු හෙළිවෙනවා. මේවා වාර්තාවලට සීමානොවී සිදු වී ඇති මූල්‍ය අක්‍රමිකතාවන්ට වගකිවයුත්තන්ට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න හැකි යාන්ත්‍රණයක් පාර්ලිමේන්තුව තුළ ගොඩනැගිය යුතුයි. එහෙම නැත්නම් මේක සාකච්ඡා මණ්ඩපයක් බවට පමණක් පත්වේවි.

වරාය අධිකාරියට දොඹකර මිලදී ගැනීමක් සිදුවුණා. ඒවා වරායට ඇවිත් එළියට යනවා නම් බදු ගෙවිය යුතුයි. මේවා වරායෙන් එළියට ගියේ නැති නිසා බදු ගෙවීමක් කළේ නෑ. නමුත් විමර්ශනයේදී හෙළිවුණා ගෙවිය යුතු රේගු බදු ගෙවිය යුතු බවට. රුපියල් මිලියන 1100ක් ගෙවිය යුතු බවට තීරණය වුණා. මේ ගැන කැබිනට් එකටත් ගියා. අවසානයේදී වරාය අධිකරණයට ගියා. මිලියන 900කට දෙපාර්ශ්වය සමථයකට එන්න කැමති වුණා. එකඟතාව ඇතිකර ගෙන ඇත්තේ රේගුවේ තෑගි අරමුදලට යවන්නයි. එය රජයට ලැබෙන බද්දක් නොවෙයි. නීති රාමුව භාවිතා කර රාජ්‍ය අරමුදල් අවභාවිත වුණා.

රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න

දශක දහයක් පුරා කමිටුවේ තිබූ අඩුපාඩු හදාගෙන ඉදිරි දශක දහය පුරා පාර්ලිමේන්තුවේ තිබෙන ශක්තිමත්ම කාරක සභාව ලෙසට ක්‍රියා කිරීමට පියවර ගත යුතුයි.

දූෂණ අක්‍රමිකතා ගැන කතා කරනවා. පෙන්වනවා. එතැනින් එහාට කිසිවක් වන්නේ නෑ. එය ඇත්ත. මෙහෙමවත් කතා නොකළා නම් මූල්‍ය තත්ත්වය කොහොම වෙයිද කියලා හිතා ගන්නවත් බැහැ. අපට තිබෙන්නේ සිද්ධියක් විමර්ශනය කරලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමයි. අප එය සිදු කරනවා. ඊට පස්සේ වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම පාර්ලිමේන්තුවට තමයි පැවරෙන්නේ. ඉතිහාසයේ වාර්තා ඉදිරිපත් කළා. පාර්ලිමේන්තුව තුළ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමක් සිදු වී නෑ. සුරාබදු දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව හා රේගුව රාජ්‍ය ආයතනවලින් සියයට 90ක් ආදායම ලබා දෙනවා. මේ ආයතන තුන ගැන අනෙකුත් කාරක සභා සමඟ එකතුවෙලා ඉදිරි මාස දෙකක් ඇතුළත විශේෂ නිර්දේශ ලබාදීමට ක්‍රියා කරනවා. ඒ පිළිබඳව යෝජනා සම්මතයන් ගෙනැල්ලා අදාළ ආයතනවලට එම නිර්දේශ යොමු කිරිම පාර්ලමේන්තුවේ වගකීමක්.

තොරතුරු තාක්‍ෂණය අත්‍යවශ්‍යයි. එම තාක්‍ෂණය නොමැති නම් කුමන ආයතනයකවත් හොර, දූෂණ වංචා වළක්වන්න බැහැ.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී පාඨලී චම්පික රණවක (සජබ) –

ආණ්ඩුව අවිධිමත් ආකාරයට රාජ්‍ය ආයතන විකුණා දමන්න වසා දමන්න කටයුතු කරමින් ඉන්නවා. මේ පිළිබඳ විද්‍යාත්මක එකඟතාවකට පැමිණිය යුතුයි. රාජ්‍ය ආයතන 1200 පිළිබඳ විධිමත් කළමනාකරණ විගණනයක් අවශ්‍යයි. එවැනි විගණනයකින් පසුව වසා දැමිය යුතු ආයතන ඒකාඉබද්ධ කළ යුතු හා වැඩි දියුණු කළ යුතු ආයතන මොනවාද යන්න තීරණය කළ හැකියි. එවැනි තෝරා ගැනීමකින් තොරව තැනින් තැන විකුණන්න ගියොත් රටේ බලගතු ප්‍රශ්නයක් ඇති වෙනවා.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී හර්ෂණ රාජකරුණා (සජබ)

රාජ්‍ය ගිණුම් කාරක සභා මගින් විශාල කාර්යයක් සිදුවෙනවා. මේ කමිටු සියල්ල ජනතාව පිළිගන්න කමිටු විය යුතුයි. ජනතා විශ්වාසය ඇති විය යුතුයි.

පාර්ලිමේන්තුවේ මූල්‍ය බලය විධායකය හසුරුවනවා අපි දැක තියෙනවා. මෙවැනි දේවලට ඉඩ තැබිය යුතු නෑ. කාරක සභා පත් කිරීමේදී විශ්වාසය දිනාගත හැකි ආකාරයට පුද්ගලයන් පත් කළ යුතුයි.

මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ (ශ්‍රීලපොපෙ) –

මුදල් වෙන් කිරීම, විගණනය කිරීමේ බලය පාර්ලිමේන්තුවට තියෙනවා නම් විගණනයේ අඩුපාඩු හැදීමේ බලයත් පාර්ලිමේන්තුවට තිබිය යුතුයි.

විගණනය කරන වාර්තාවලට අනුව වරදකරුවන්ට දඬුවම් නිර්දේශ කිරීමේ බලයක් කමිටුවට තිබිය යුතුයි. ඒ වගේම නීතිපතිට නිර්දේශ ඉදිරිපත් කර ඉදිරි ක්‍රියා මාර්ගවලට යෑමේ බලයක් අවශ්‍යයි.

පත්කළ මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් (ශ්‍රීලපොපෙ) –

රාජ්‍යය නඩත්තු කිරීමේ බලය තිබෙන්නේ විධායකයටයි. එහි වියදම් ව්‍යවස්ථාදායකය විසින් හරියට බැලුවේ නැත්නම් ගැටලු ඇති වෙනවා.

මාලබේ ස්ලිට් ආයතනය රජයේ ඉඩමක පවත්වාගෙන යන ආයතනයක්. එය රජයෙන් කරගෙන යන්නේ. එය මොරටුව විශ්වවිද්‍යාලයේ සන්නිවේදන පීඨය බවට පත්කරන්න රජය බලාපොරොත්තු වුණා. එහෙත් එය සමාගම් පනත යටතේ සමාගමක් කළා. අවසානයේ රජයෙන් ගැලවිලා වෙනම විශ්වවිදයාලයක් බවට පත්වුණා. මේක ගැන පිටු 500ක වාර්තාවක් කෝප් කමිටුව ඉදිරිපත් කළා. එය හමස් පෙට්ටියට ගියා. රාජ්‍ය මුදල් වලින් හදපුවා සමහරු කොල්ල කනවා. රජයේ දේවල් කොල්ල කන එක වැරදියි.

පාර්ලිමේන්තුව නැවත අද (18දා) දින පෙරවරු 9.30ට යළි රැස්වේ.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment