පසුගිය අගෝස්තු සැප්තැම්බර් හා ඔක්තෝබර මාස කීපය තුළ තරම් ස්වයං ලිඛිත චරිතාපදාන හා චරිතකතා ප්‍රකාශයට පත් වූ හා අපට කියවන්නට ලැබුණු කාලයක් මගේ මතකයට නොනැගේ. මෙම මාස කිහිපය තුළ අපට කියවන්නට ලැබුණු ස්වයං ලිඛිත චරිතාපදාන හා චරිත කතා ගොන්න මෙසේය.

ප්‍රියන්තනී ගමගේ විරචිත ඉන්ද්‍රඛීලයක් සේ, ප්‍රේම් දිසානායකගේ ප්‍රේම පුරාණය, කරුණා පෙරේරාගේ මගේ මතක, චන්ද්‍රසිරි සෙනෙවිරත්නගේ හේමලයා, කරුණාරත්න අමරසිංහගේ හිතක මතක හා ලූෂන් බුලත්සිංහලගේ දවා හළු කළ නොහැක යන ස්වයං ලිඛිත චරිතාපදාන ඒ අතර ප්‍රමුඛ වේ. එකී සංඛ්‍යාවට සමාන සංඛ්‍යාවක් චරිත කතා රැසක් ද මෙම කාල වකවානුව තුළ ම ප්‍රකාශයට පත් ව අපට කියවන්නට ලැබීම ආශ්වාදජනක අත්දැකීමක් ලෙස සලකමි.

චරිතාපදාන අස්වැන්නක මිහිරි මතක සමුදායක්

එම චරිත කතා අතර අප අතර මං වූ චරිත හිමිකරුවන් හා ඔවුන්ගේ කෘති මෙසේය. එඩ්මන්ඩ්ගේ පත්තර විප්ලවය (එඩ්මන්ඩ් රණසිංහ චරිතාපදානය), පත්‍ර කලා කව් සිළුමිණ (තිලකරත්න කුරුවිට බණ්ඩාර අභිසම්භාවනා), පරාක්‍රමය (සිනේ – ටෙලි – වේදිකාවේ පරාක්‍රම නිරිඇල්ල තීර්ථාවලෝකනය) යන කෘතී කැපී පෙනේ. ස්වයං චරිතාපදාන හැර අන් සියලු චරිත කතා හා සංගෘහිත ලිපි සංග්‍රහ එකී විෂය සඳහා ප්‍රාමාණික දැනුමැත්තන් අතින් සංස්කරණය වී තිබීම වැදගත් ය.

සුනන්ද මද්දුමබණ්ඩාර, ඩබ්ලිව්.එම්.කේ. විජයබණ්ඩාර හා දීප්ති ප්‍රමිතා අධිකාරී, සමන්ත හේරත් හා අමිත්ත වීරසිංහ ආදීහු ඒ අතර වෙත්. මේ සා විසාල ප්‍රමාණයක චරිත හිමිකරුවෝ කවරහු ද, ඔවුන්ගේ චරිතාපදාන හෝ චරිත කතා වර්තමාන පාඨක රසික ජන සමූහයාට වැදගත් යයි මා සිතන්නේ එම චරිත සියල්ලන් ම පාහේ අපගේ ජීවිතය හා බැඳුණු සමීප කලා හා ප්‍රකාශන ක්ෂෙත්‍ර හා සෘජු සම්බන්ධතාවක් ඇති ප්‍රවීණයන් පිරිසක් බැවිනි. විද්‍යුත් හා මුද්‍රිත ජනමාධ්‍යය, සිනමාව, වේදිකා හා ටෙලි නාට්‍යය නිර්මාණය, රංගනය, ගේය කාව්‍ය රචනය, පොත පත මුද්‍රණය හා ප්‍රකාශනය, සිනමා කලා පුවත්පත් කර්තෘත්වය ආදී පුළුල් පරාසයක විහිදී ඇති ක්ෂේත්‍ර රැසක් නියෝජනය කරමින් අද දවසේ අප අතර ජීවත්වන විශිෂ්ට පුරුෂයන් හා කාන්තාවන් පිරිසක් වීම ඔවුන්ගේ චරිත අතර සැරිසැරීමට අප පොලඹවනු ලබන මූලික ම සාධකය ලෙස දකිමි. ඔවුන් සියලු දෙනා ම තම ක්ෂේත්‍ර තුළ ඔවුන්ගේ භූමිකා විසින් ප්‍රකට කොට ඇති නිර්මාණශීලීත්වය ඔස්සේ අද දවසේ එකී ක්ෂේත්‍රයන්හි නිර්මාණකරණයේ යෙදෙන හා එම ක්ෂේත්‍ර හා එක්වන්නට අපේක්ෂා කරන නව පරම්පරාවට උගත හැකි පාඩම් බොහොමයකි.

ජනමාධ්‍යයේ ගුවන් විදුලිය හා රූපවාහිනිය යන විද්‍යුත් මාධ්‍ය හා සෘජුවම සම්බන්ධ වී සිටින ප්‍රියන්තනී ගමගේ, ලූෂන් බුලත්සිංහල, කරුණා පෙරේරා හා කරුණාරත්න අමරසිංහ හා තිලකරත්න කුරුවිට බණ්ඩාර ආදීන්ගේ සම්ප්‍රදානයන් අධ්‍යනය ඔස්සේ එම මාධ්‍යය තුළ නිෂ්පාදන කාර්යයෙහි නිර්මාණාත්මක ව කටයුතු කළ හැක්කේ කෙසේද යන්න හා පැවරුණු වගකීම් විනයානුකූලව හා ශ්‍රාවක විශ්වසනීයත්වය රැකෙන අයුරින් ඉටු කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳ ඉගෙන ගැනීමට අවශ්‍යවන්නෙකුට මේ නිර්මාණකරුවන්ගේ කාර්ය සාධනය අධ්‍යනය කිරීම මහත් රුකුලක් වනු නොඅනුමාන ය. ගුවන් විදුලියෙන් රූපවාහිනියට ආගමනය වූ හා වේදිකාවෙන්, සිනමාවෙන් රූපවාහිනියට ගොස් එහි කීර්තිමත් චරිත බවට පත් වූ ලූෂන් බුලත්සිංහල හා පරාක්‍රම නිරිඇල්ල ආදීන්ගේ චරිතාපදානයන්හි වෘත්තීමය කොටස හැදෑරීම ආධුනික ප්‍රවීණ කවරෙකුට වුව ප්‍රයෝජනවත් ඵලදායී හැදෑරීමක් වන බව නොකිවමනා ය. ගේය කාව්‍ය රචනය, වේදිකා හා රූපවාහිනී නාට්‍ය රචනය, නිෂ්පාදනය,ගුවන්විදුලි වැඩසටහන් සැලසුම නිෂ්පාදනය, වේදිකා, රූපවාහිනී හා සිනමා රංගනයේ ඉසියුම් වෙනස්කම් හඳුනාගනිමින් කළ යුතු රූපණය පිළිබඳ අත්දැකීම් ලූෂන් බුලත්සිංහල වැන්නෙකුගේ චරිතයෙන් උකහාගත හැකිවන අතර වේදිකා හා රූපවාහිනී නාට්‍ය රචනය, නිෂ්පාදනය, අධ්‍යක්ෂණය පිළිබඳ තොරතුරු මතු නොව සිනමාවට අදාළ තිර රචනය, නළුවරණය, අධ්‍යක්ෂණය එකිනෙකට වෙනස් වූ ෂානර ද්වයක හැසිරීම් පිළිබඳ පරාක්‍රම නිරිඇල්ලගේ චරිතාපදානය අපට කියා දෙනු නියත ය.

කරුණාරත්න අමරසිංහගේ හිතක මතක ඔස්සේ සුප්‍රකටයන් තුළ විසූ අප්‍රකටයන් රැසකගේ තොරතුරු අපූරු කවි බසකින් කියනු පෙනේ. ඔහු හා ගම පිළිබඳ වන සම්බන්ධයෙන් තම මතක අවදි කරන අමරසිංහ මැන්දිස් රෝහණධීර, සරා ගුරුන්නාන්සේ එම්.ජී.සමරසේකර හා මහගම සේකර, අජන්තා රණසිංහ හා කේ.ජී.කරුණාතිලක වැනි සුප්‍රකට චරිත, සොඳුරු ආඥාදායකයා වූ සුගතපාල ද සිල්වා, සිරිලාල් කොඩිකාර හා කුෂ්වාන්ත් සිං , සුනිල් ආරියරත්න හා තිලකරත්න කුරුවිට බණ්ඩාර වැනි ඔහුගේ සාන්ත ජෝන් විදුහලෙහි සගයන් පිළිබඳව ද ජී.බී.සේනානායක, විමල් අභයසුන්දර වැනි දැවැන්ත සාහිත්‍යධරයන් ගැන ද බණ්ඩාර කේ.විජයතුංග, ඩෝල්ටන් අල්විස්, මහගම සේකර වැනි අපූරු චරිත පිළිබඳව ද කරුණාරත්න අමරසිංහගේ හිතක මතක ලොවට අප රැගෙන යන්නේ ගුවන් විදුලිය හා පුවත්පත් කාර්යාල හා ඊට සම්බන්ධිත අත්දැකීම් ඔස්සේ ය. ඔහුට හමු වූ දැවැන්ත චරිත අපට කියා දෙන පාඩම් බොහෝ ය. ‘එදා ගුවන්විදුලිය විශ්වවිද්‍යාලයක් බවට පත් කරවීමේ කාර්යයෙහි ලා පුරෝගාමී වූ ආදර්ශවත් සන්නිවේදකයකු ලෙස සරච්චන්ද්‍රයන් හැඳින්විය හැකිය. අප පාසල් වියේදී සවන් දුන් යෞවන සමාජය, ශාස්ත්‍රීය සංග්‍රහය, රේඩියෝ රඟමඩල, විශ්ව සාහිත්‍යය යන වැඩසටහන්වලින් අප අත්පත් කරගත්තේ හුදු විනෝදය පමණක් නොවේ. ඒ හැම වැඩ සටහනක් ම අප තුළ ගුණ නුවණ දෙක පෝෂණය කිරීමට ද ඉවහල් විය. (හිතක මතක 113 පිටුව)

දවා හළු කළ නොහැක ලූෂන් බුලත්සිංහලගේ මතක ක්ෂේත්‍ර රැසක් කරා අප කැඳවා ගෙන යනු ලබයි. පේරාදෙණිය සරසවිය, වේදිකා නාට්‍යය, ගුවන්විදුලි සංස්ථාව, රූපවාහිනිය හා එහි දී ඔහුට මුහුණ පාන්නට සිදු වූ අමිහිරි සිදුවීම් හා ඔහුගේ ම නාට්‍ය නිර්මාණයක් මත ඇතිවූ ගැටුම්කාරී තත්ත්වයක් මත නාට්‍යය අතරමග නැවතීම වැනි තොරතුරු ද ඇතුළත් චරිත කතාව ප්‍රවීණයකුගේ මාධ්‍ය රැසක අත්දැකීම් කියාපාන පිළිබිඹුවකි. ‘මෙහිදී මැදිරි හා බාහිර රූපගත කිරීම සහිත නිෂ්පාදන යන දෙවර්ගයම පිළිබඳ අවධානය යොමු කරන ලදි. ප්‍රායොගික පුහුණුවේදී සහභාගී වූ පිරිස කණ්ඩායම් තුනකට බෙදා වැඩ සටහන් තුනක් නිෂ්පාදනය කරන ලදි. වාර්තා වැඩ සටහනක් ද, ටෙලි නාට්‍යයක් ද ප්‍රවෘත්ති වැඩ සටහනක් ද එයට අයත් විය. (රූපවාහිනී පුහුණුවකට බර්ලින් නුවරට – පිටුව 128)

කරුණා පෙරේරාගේ ගුවන් විදුලි මාධ්‍ය හා පුවත්පත් මාධ්‍ය අත්දැකීම් රැසක් මගේ මතක අතර වේ. ඇගේ පාසල් මතක පවා අපූරු ය. ‘මං කවි දෙක කිව්වෙ නෑ.. ගායනා කළා… අපේ ආච්චි ගායනා කරනව වගේ. මට ගායනය නවත්ත ගන්න බැරිවුණා.

ඉතින් සසර ඇවිදින්නේ නැත දේවී
ගොසින් බුදුව එනකල් සිටපන් දේවී
අන්තිම පදේ දි මට ඇඬුණා’

(මගේ මතක පිටුව 45)

කරුණාගේ ගුවන් විදුලි හා පුවත්පත් කලා මාධ්‍ය ජීවිතය ඇරැඹුණු අන්දම ඈ අපූරු කවි බසකින් පවසන්නී ය. ගුවන් විදුලියේ අත්දැකීමක් කරුණා මෙලෙස මතකයට නගන්නී ය. ‘ගුවන් විදුලිය හා සම්බන්ධ මගේ ජීවිතයේ ඉතාම අගය ඇති අමතක නොවන වැඩ සටහන 1976 සැප්තැම්බර් නවවැනි දින සිදු වූ මාඕගේ අභාවය පිළිබඳ මා සකස් කළ, මා ඉදිරිපත් කළ, සුජාතා ගුණවර්ධනගේ කාන්තා වැඩ සටහනයි. මා සකස් කළ මාඕ පිළිබඳ මතක සටහන මගේ හඬින්ම ප්‍රචාරය කෙරිණ. (මගේ මතක පිටුව 140)

චරිතාපදාන අස්වැන්නක මිහිරි මතක සමුදායක්
චරිතාපදාන අස්වැන්නක මිහිරි මතක සමුදායක්

ස්වයං චරිතාපදාන අතර සැරිසරන කල්හි හමු වූ හේමලයා චන්ද්‍රසිරි සෙනෙවිරත්න විරචිත චරිතාපදානය යි. ගමේ පාසල, කැලණිය සරසවිය, රාජ්‍ය සේවයේ වෘත්තීය අත්දැකීම් හා ලේක් හවුසියට බැඳී පුවත්පත් කලාවේදියකු ලෙස අත්දැකීම් සමුදායක හරස්කඩක් හේමලයා’ මගින් චන්ද්‍රසිරි සෙනෙවිරත්න අප හමුවට රැගෙන එයි. ‘වර්තමාන ලේක් හවුසියේ සේවය කරන මාධ්‍යවේදීන්ගෙන් බහුතරය ජනමාධ්‍ය උපාධිධාරීහු වෙති. එහෙත් ලියන්න ඇති ආසාවට පත්තරකාරයෙකු වූ මා බොහෝ දේ ඉගෙන ගත්තේ වැඩ කරන අතරය. නව පරපුර ඊට වෙනස් ය. තමන් වැඩ කරන පත්තරයේ හරය ලවය දෙක ගැන නිරවුල් අදහසක් සමහරුන්ට නැත. එය ඔවුන්ගේ වරදක් නොවේ.’ (හේමලයා 416 පිටුව)

ඔහු සරසවිය ජූරියක් පිළිබඳ මතකයට නගන්නේ මෙලෙසය. ‘ හරි සරලයි. මම කාලයක් සරසවිය ප්‍රධාන කර්තෘ. මේ සම්මානය සුනිල්ට දුන්නොත් ඒක සුනිල් ගත්ත සම්මානයක් වෙනව. නවකයෙකුට දුන්නොත් ඒක සරසවිය දුන්න සම්මානයක් වෙනව. අලුත් මිනිහෙක් බිහි කළා වෙනව. මේ නිර්ණායකය අනුව අපට තීරණයක් ගන්න පුළුවන්. රජී වසන්ත සම්මානෙට තේරුණේ එහෙමය. මේ සිද්ධිය කියන්නේ ලංකාවේ විශිෂ්ට සිනමා සම්මාන උලෙළ පිළිබඳ අතිවිශිෂ්ට කතාවකි. එහිදී තෝරාගත් නිර්මාණ පමණක් නොව ජූරිය පවා විශිෂ්ට මිනිසුන්ගෙන් සමන්විත වූ බවට මේ සාක්ෂියකි. (හේමලයා 442 පිටුව)

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පුවත්පත් කලාවේදීන් දෙදෙනකු වන එඩ්මන්ඩ් රණසිංහ හා තිලකරත්න කුරුවිට බණඩාර යන දෙදෙනාගේ මාධ්‍ය සම්ප්‍රදාන ප්‍රමුඛ කොට ගත් චරිත පිළිබඳව සංගෘහිත කෘති ද්වය පිළිබඳ සටහනකින් මේ කෙටි ලිපිය අවසන් කළ මනා යයි සිතුණි. තිලකරත්න කුරුවිට බණ්ඩාර අභිසම්භාවනාවට පාත්‍ර වන්නේ පත්‍ර කලා කව් සිළුමිණ ලෙස ය. දිවයිනේ ප්‍රවීණ හා පුවත්පත් කලාවේ හා සාහිත්‍ය ක්ෂේත්‍රයන් හි දෙටු ලේඛක ලේඛිකාවන් සමූහයක් විසින් සිංහල හා ඉංග්‍රීසි දෙබසින් ම රචනා කළ සාර්ගර්භ ලිපි මාලාවක් මේ කෘතිය සරසයි. තිලකරත්න කුරුවිට බණ්ඩාරගේ සාහිත්‍ය කලා ක්ෂේත්‍ර සියල්ල ආවරණය වන සේ ලිපි තෝරා ගැනීමට සංස්කාරක සමන්ත හේරත් සමත් වී සිටියි. ‘මේ සන්දර්භය විමසීමේ දී තිලකරත්න කුරුවිට බණ්ඩාර වැනි ප්‍රාමාණිකයකුගේ මෙහෙවර වඩ වඩාත් උජ්ජ්වලිත ව දැල්වෙයි. එය පුවත්පත් කලාව තුළ හුදු නාම මාත්‍රයක් නොවේ. එම විෂයය වසා පැතිරගත් මහා වනස්පතියකි. ඉදින් පුවත්පත් කලාවේ යුග පුරුෂයෙකි යන විරුදයෙන් පිදුම් ලැබීමට ඔහු සුදුසු නොවන්නෙද? (ගාමිණී වේරගම 71 පිටුව) මාධ්‍යවේදී කුරුවිට බණ්ඩාරගේ අනෙකුත් කලා ෂානර වන පද්‍ය හා ගේය කාව්‍ය රචනය, තීරු ලිපි රචනය, සිනමා රචනය ආදී එකිනෙකට වෙනස් විෂය පිළිබඳ ඔහුගේ හැකියාවන් පිළිබඳ ලියූ ලිපි රැසකින් කුරුවිට බණ්ඩාර මාධ්‍යවේදියා මතු නොව සෙසු කලාංශ ප්‍රවර්ග බොහොමයක ම ඉදිරි පෙළ අසුනක් හොබවන්නකු බව කියැවේ.

චරිතාපදාන අස්වැන්නක මිහිරි මතක සමුදායක්

එඩ්මන්ඩ්ගේ පත්තර විප්ලවය අද දවසේ අප අතර සිටින වෘද්ධතම ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියා සේ සැලකෙන එඩ්මන්ඩ් රණසිංහ පිළිබඳ රචනා වූ සිංහල හා ඉංග්‍රීසි දෙබසින් ම රචනා වූ සාරගර්භ ලිපි දහසයකින් පමණ සැදුණකි. එඩ්මන්ඩ් රණසිංහගේ භූමිකාව ජයන්ත චන්ද්‍රසිරි වැනි ප්‍රවීණ මාධ්‍යවේදියකු විසින් දැක තිබුණේ මෙලෙසය. ‘ජාතික පුවත්පත් යන්නෙහිද ප්‍රශ්නයක් තිබිණ. ප්‍රශ්නය වූයේ උදා වූ (Human Situation ) වටහා ගත්, ඒ අනුව සාකල්‍යයෙන්ම කටයුතු කරන ජාතික පුවත්පතක් තිබේද යන්න ය. එබඳු සැබෑ ජාතික පුවත්පතක් සඳහා ආයෝජකයකු හෝ පාඨකයකු විරල නැත. හුදු පුවත්පත් කතුවරුන් ද විරල නැත. විරල වූයේ එඩ්මන්ඩ් රණසිංහ කෙනෙකි.’ (එඩ්මන්ඩ්ගේ පත්තර විප්ලවය 133 පිටුව) මහාචාර්ය අජන්තා හපුආරච්චි එඩ්මන්ඩ් රණසිංහ දෙටු මාධ්‍යවේදියා දකින්නී මෙලෙසය. ‘ එඩ්මන්ඩ් රණසිංහ යනු අලුත් පුවත්පත් කලාවක් හඳුන්වා දීමේ අභියෝගය බාරගත් හුදු කතුවරයකු පමණක් නොව අලුතින් ආරම්භ කළ පුවත්පතක් ඉතා කෙටි කලකින් ජනප්‍රියත්වයේ හිණිපෙත්තට ම රැගෙන යෑමේ අභියෝගය භාරගත් සහ එම අභියෝගය ජයග්‍රහණය කළ වාසනාවන්ත මහා යුග පුරුෂයෙකි. (එඩ්මන්ඩ්ගේ පත්තර විප්ලවය පිටුව 55)

● බුද්ධදාස ගලප්පත්ති
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment