දේශපාලනය ජනතාවට එපා වෙලා – දේශපාලනඥයන් නැති රටක් ලබා දෙන්නැයි අද ජනතාව ඉල්ලනවා – රනිල් වික‍්‍රමසිංහ

393

දේශපාලනඥයන් නැති රටක් ලබා දෙන්නයි අද ජනතාව කියනවා. ඔවුන්ගේ අදහස් සාධාරණයි. අද මේ රටේ අර්බුද ඇති වූ විට ආණ්ඩුව හෝ කිසිම දේශපාලන පක්ෂයක් ජනතාවට බලාපොරොත්තුවක් ලබාදී නැතැයි හිටපු අගමැති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසීය.

ඒ මහතා මේ බව ප‍්‍රකාශ කළේ සමගි ජන බලවේගයට සහය දැක්වීම නිසා පක්ෂයෙන් ඉවත් කෙරුණු මහ නගර සභා, නගර සභා සහ ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරුන් දිවුරුම් දීමේ උත්සවයට සහභාගි වෙමිනි.

වැඩිදුරටත් රනිල් වික‍්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.

සියලූ දෙනාටම මිත‍්‍රවරුනි කියා අමතමින් මා කතාව අරඹන්නට කැමතියි. අද ඔබ ප‍්‍රාදේශීය සභා සහ නගර සභා මන්ත‍්‍රීවරුන් ලෙස දිවුරුම් දෙන්නේ රටේ දේශපාලනය ගැන ජනතාවට විශාල ප‍්‍රශ්නයක් ඇතිවී තිබෙන අවස්ථාවකයි.

අප මෙතෙක් ගෙන ගිය සම්ප‍්‍රදායික දේශපාලනය ජනතාව විසින් ප‍්‍රතික්ෂේප කිරීම ආරම්භ කර තිබෙනවා. ආගම, ජාතිය සටන් පාඨ ගෙන දේශපාලනය කිරීම, විවිධ දේශපාලන කණ්ඩායම්වලට බැණ අඬගසා ගනිමින් දේශපාලනය කිරීම වත්මන් තත්ත්වයට විසඳුමක් නොවන බව ජනතාව මේ වන විට පිළිගෙන තිබෙනවා.

පාර්ලිමේන්තුවේ 225 දෙනාම දියවන්නා ඔයට දමන්නැයි එදා මහජනතාව කිව්වා.

දේශපාලනඥයන් නැති රටක් ලබා දෙන්නයි අද ජනතාව කියනවා.

ඔවුන්ගේ අදහස් සාධාරණයි. අද මේ රටේ අර්බුද ඇති වූ විට ආණ්ඩුව හෝ කිසිම දේශපාලන පක්ෂයක් ජනතාවට බලාපොරොත්තුවක් ලබාදී නැහැ. ජනතා ප‍්‍රශ්නවලට විසඳුමක් දී නැහැ. ඒ කාරණය මතක තබාගෙන අප වැඩ කටයුතු කළ යුතුයි. එක්සත් ජාතික පක්ෂයට ඒ තත්ත්වයට වැටෙන්නට ඉඩ දෙන්නට බැහැ. අප සෑම විටම අලූතින් සිතන පක්ෂයක්.

මේ තීරණාත්මක අවස්ථාවේ දී එක්සත් ජාතික පක්ෂයට මේ ගැන විස`දුම් ඉදිරිපත් කිරීමට හැකියාව තිබෙන බව කිව යුතුයි.

පළමුවෙන්ම කළ යුත්තේ තිබෙන තත්ත්වයෙන් ගොඩ ඒමයි. රටේ සෑම දෙනාටම සෞඛ්‍ය ආරක්ෂාව සැපයිය යුතුව තිබෙනවා. 2019 වසරේ මැතිවරණ ප‍්‍රකාශනයෙන් ද අප ඒ බව පැවසුවා.

එන්නත ලබාදීම මෙන්ම අනෙක් වැඩකටයුතු කිරීමත් එන්නත ලබා දෙන තුරු අනුගමනය කළ යුතු පිළිවෙත් පිළිබඳවත් අපට දැක්මක් තිබෙනවා. කඩා වැටුණු අධ්‍යාපනයට විසඳුම් ලබාදී සිසු පරපුරට හොඳ අධ්‍යාපනයක් දිය යුතුව තිබෙනවා.

සෑම දෙනාටම සෞඛ්‍ය ආරක්ෂාව ලබාදෙනවා මෙන්ම සෑම ගෙදරකම ආර්ථිකයද ආරක්ෂා කළ යුතුව තිබෙනවා. ගොවිතැන, ධීවර කර්මාන්තය, වෙළෙඳසල් ආදී සෑම දෙයක්ම කඩාවැටෙන අවස්ථාවේ ආර්ථිකය ස්ථිර කොට ජීවන මාර්ග නැවත ඇති කළ යුතුව තිබෙනවා.

අතීතය ගැන පමණක් කතා කොට ප‍්‍රශ්න විසඳන්නට බැහැ. අතීතයේ කළ වැඩ ගැන කතා කරනවා නම් 1948 වසරේ සිට අපට කතා කළ හැකියි. අතීතය ගැන කතා කරන ගමන් අනාගතයට කරන්නේ කුමක් දැයි සිතිය යුතුයි.

වර්තමානයේ දී තරුණයන්ගේ බලාපොරොත්තු බිඳ වැටී තිබෙනවා. කොරෝනා වසංගතයෙන් පසු ලෝකයට එන්නේ අලූත් සමජ ආර්ථික ක‍්‍රමයක්. එසේ නම් අප පශ්චාත් කොරෝනා ලෝකයට සූදානම් විය යුතුයි. ඒ සඳහා අපේ රට නවීකරණය කළ යුතුව තිබෙනවා.

නිෂ්පාදන අංශය කෘෂිකර්ම සහ ධීවර අංශය අධ්‍යාපන අංශය දියුණු කළ යුතුව තිබෙනවා. එමෙන්ම රටට නව තාක්ෂණය ලබාදිය යුතුව තිබෙනවා. අප මෙන්ම රටත් අලූත් වී නවීකරණයක් ඇතිකර ගත යුතුයි. ඒ කාර්ය කරන්න නම් අලූත් දේශපාලනයක් අවශ්‍යයි.

අප සියලූ දෙනාම ක‍්‍රියා කළ යුත්තේ දිගුකාලීන ජාතික ප‍්‍රතිපත්ති රාමුවක් තුළයි. ඕනෑම පක්ෂයක් ඒ ආකාරයට වැඩකටයුතු කළ යුතුයි. ජපානය, ඇමෙරිකාව ආදී රටවල් වැඩකටයුතු කරන්නේ ඒ ආකාරයටයි.

එකවර දේශපාලන පක්ෂයක් පැමිණ සටන් පාඨ කියා රට විකුණනවා රට බේර ගන්නවා කියමින් හඬනඟා බුද්ධාගම නැති කරනවා. බුද්ධාගම බේර ගන්නවා යනුවෙන් මොර දී සිංහලයා අනතුරේ කියා බලය ගෙන ඕනෑම ආණ්ඩුවක් කළ හොඳ වැඩ සියල්ල ඉවත් කර නැවත මේ රට කඩා වැටෙන තත්ත්වයකට පත් කරන්න ඉඩ දෙන්න බැහැ.

දේශපාලනයේ සිටිය යුත්තේ පළපුරුද්දක් හැකියාවක් විශ්වාසයක් ගොඩන`ගන්නට හැකි පුද්ගලයන් බව කිව යුතුයි. ඒ සමගම තරුණ මුහුණු හඳුන්වා දිය යුතුයි. අපේ අරමුණ වන්නේ රට ඉදිරියට ගෙන යෑම සඳහා දිගුකාලීන ප‍්‍රතිපත්ති රාමුවක් ඇති කිරීමයි. එය නීතියෙන් ඇති කරන යකඩ රාමුවක් විය යුතුයි. කිසිම දේශපාලන පක්ෂයකට කඩන්නට නොහැකි වන අයුරින් එම රාමුව සකස් කළ යුතුයි. අප ඉදිරියට යා යුත්තේ ඒ ප‍්‍රතිපත්තිය රැුගෙනයි.

ඔබ ප‍්‍රාදේශීය සභා සහ නගර සභා මන්ත‍්‍රීවරුන් ලෙස දිවුරුම්දුන් පසුව මේ කාරණය මතක තබා ගන්න. ඔබ මේ තනතුරුවල කටයුතු කරන්නේ තමන් නියෝජනය කරන ජනතාව වෙනුවෙනුයි. පෞද්ගලික වාසියකට නොවේ. එහිදී ඔබේ හැසිරීමත් වැදගත් වෙනවා. පක්ෂ විනය මෙන්ම ප‍්‍රතිපත්තිය ද ඔබ නියෝජනය කළ යුතුයි. ඔබට ඉදිරියට යන්නැයි කියන්නේ ඒ ආකාරයටයි. අපේ වැඩසටහන ගැන දැනුවත් කරන්නට අපගේ ප‍්‍රධාන නායකයන් ඒ ඒ ප‍්‍රදේශවලට පසුව පැමිණේවි. ගමට ගිය විට කෘෂිකර්ම, ධීවර ප‍්‍රශ්න අපට හමුවෙනවා. ඔබ සියලූම දෙනා සමඟ එකට එක්ව ගමේ වැඩ කරන්න. පළමුවෙන්ම තම ප‍්‍රාදේශීය සභාවේ යහපත් බලපෑමක් කරන්නට උත්සාහ කරන්න. ඒ බලපෑම ඇති වුණේ නැතිනම් ගමේ සියලූම දෙනා එකතු කරගෙන උද්ඝෝෂණ හෝ බල කිරීමේ ව්‍යාපාරය ඉදිරියට ගෙන යන්න.

අපට බෝඞ් දේශපාලනය අවශ්‍ය නැහැ. වර්තමානයේ දී ගමේ කෘෂිකර්මය කඩා වැටිලා. එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ පමණක් නොව පොහොට්ටුවේ අයගෙත් කෘෂිකර්මාන්තය කඩා වැටිලා. ඒ සියලූම දෙනාගේ ප‍්‍රශ්න ගැන අප විමසිලිමත් විය යුතුයි. එසේ නැතුව ගමේ නිකන් බෝඞ් අල්ලමින් ඉන්න එපා. අවශ්‍ය නම් ගමේ ජනතාව සමග ගමේ ප‍්‍රශ්න වෙනුවෙන් උද්ඝෝෂණය කරන්න. එසේ කොට බය නැතිව ඉදිරියට යන්න. ඊළඟට ඇත්තේ පක්ෂය සංවිධාන කිරීම යි. ඒ ගැන අප දැනුම් දෙන්නම්. ඒ ස`දහා අප කොට්ඨාස මට්ටමින් කමිටු පත් කරනවා. මූලික සංවිධානය කරන්නේ නාගරික සහ ප‍්‍රාදේශීය සභා කොට්ඨාස මට්ටමිනුයි. එතැනින් අප ආරම්භ කළ යුතුයි. අප නවීන පක්ෂයක් ලෙස ඉදිරියට යමු යැයි රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසීය.

නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, සභාපති වජිර අබේවර්ධන, මහලේකම් පාලිත රංගේ බණ්ඩාර, උපනායක අකිල විරාජ් කාරියවසම් මහත්වරු ප‍්‍රමුඛ එජාප නායකයෝ ද මෙම අවස්ථාවට සහභාගි වූහ.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment