දොඩම්පහළ චන්දසිරි මහනාහිමි ආදාහන උත්සවය

102

මහා නාහිමියන්ගෙන් සංඝ සසුන ශෝභමාන වුණා – උයන්ගොඩ මෛත්‍රී මූර්ති මහා නාහිමි
ශාසන චිරස්චිථිතියට අපමණ සේවයක් සිදුකළා – මකුලෑවේ විමල මහා නාහිමි
රටටත් ශාසනයටත් මහා මෙහෙවරක් ඉටුකළා – ආණමඩුවේ ධම්මදස්සි අනුනාහිමි
මහා භික්‍ෂු පෞරුෂත්වයක් පෙන්වූ යතිවරයාණන් වහන්සේ නමක් – ජනපතිගේ ශෝක පණිවුඩය
භාවනාවෙන් සුවිශේෂ ගමන් මඟක් ඇති කළා – අගමැති

අපවත්වී වදාළ දොඩම්පහළ චන්දසිරි ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නාහිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය ඊයේ (21 වැනිදා) සවස කොළඹ නිදහස් චතුරස්‍රයේදී රාජ්‍ය ගෞරව සහිතව සිදුකෙරිණි.

දොඩම්පහළ චන්දසිරි ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක හිමියන්ගේ දේහය රාජගිරිය, කලපළුවාව තපෝවන විහාරස්ථානයේ තැන්පත් කර තිබූ අතර දේහය රැගත් අවමංගල්‍ය පෙරහැර කොළඹ නිදහස් චතුරස්‍රය වෙත රැගෙන ආහ. දේහය රැගෙන එන අතර වාරයේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටරයක් මගින් දේහයට මල් දමා ආශිර්වාද එක්කරන අයුරු දක්නට ලැබිණි.

දොඩම්පහළ චන්දසිරි මහනාහිමි ආදාහන උත්සවය

පසුව උන්වහන්සේගේ දේහය ත්‍රිවිධ හමුදාව වෙත භාර කෙරිණි. දේහය විශේෂ පීඨිකාවක තැන්පත් කළ පසු ආදාහන පූජෝත්සවය ආරම්භ කෙරිණි.

ගිහි පිරිස පංච ශීලයෙහි පිහිටුවීම අමරපුර මහා නිකායේ වැඩබලන මහා නාහිමි පූජ්‍ය දෙවිනුවර සිරිසුනන්ද හිමි විසින් සිදුකළහ. ආදාහන පූජෝත්සවයට පැමිණි පිරිස පිළිගැනීමේ අනුශාසනාව පූජ්‍ය තපෝවනයේ මිත්‍රභානි හිමියන් විසින් සිදුකරන ලදී.

පිළිගැනීමේ කතාව බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා විසින් සිදුකළේය. මහානායක හිමියන් වෙනුවෙන් මතක වස්ත්‍ර පූජාව අමරපුර කල්‍යාණිවංශ නිකායේ අනුනායක ශාස්ත්‍රපති කොටපොල අමරකිත්ති හිමියන් විසින් සිදුකළහ.

මෙහිදී ප්‍රධාන අනුශාසනාව සිදුකළ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ වැඩබලන මහානායක අධ්‍යාපනපති, හිටපු කථිකාචාර්ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමුර්ති නාහිමියෝ මෙසේ කියා සිටියහ.

“අපවත් වී වදාල මහානායක දොඩම්පහළ චන්දසිරි මහානාහිමියන් ප්‍රසන්න, ශෝභමාන පැවිදි දිවියක් ගෙවූ හිමි නමක්. උන්වහන්සේ සියල්ල අතහැර දමලයි පැවිදි ජීවිතය ගත කළේ. උන්වහන්සේ උදාර පැවිදි රුවනක්. සංවරකම, ප්‍රසාදය, ශෝභමාන බව, අලංකාරය ඇති වෙනවා.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක ත්‍රිපිටක විශාරද, අග්ගමහා පණ්ඩිත මකුලෑවේ විමල හිමි,

උන්වහන්සේ සංවර බුද්ධ පුත්‍රයෙක්. ආත්මර්ෂය පමණක් නොව පරාර්ථකාමී චරිත දෙක උපරිමයට ගියා. භාවනාවෙන් සිත සංවරය ඇති කරගෙන පැවිදි දිවියක් ගෙවුවා. සම්බුද්ධ ශාසනය චිරස්ථිතිය සඳහා ගෝල හිමිවරු ඇති කළා. අවුරුදු එකොළහේදී පැවිදි දිවියට පත් උන්වහන්සේ ශාසනයේ උන්නතියට අති විශාල වැඩකොටසක් කළා.

ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි විහාර පාර්ශ්වයේ අනුනායක අග්ගමහා පණ්ඩිත ආණමඩුවේ සද්ධර්මකීර්ති රතනපාල ධම්මදස්සී හිමි

අපවත් වී වදාළ නායක හිමියන් රටටත්, සම්බුද්ධ ශාසනයටත්, මහා මෙහෙවරක් ඉටු කළ යතිවරයෙක්. ූඋත්තරීතර මහානායක පදවියට පත්වුණේ මීට වසර දෙකහමාරකට පමණ පෙරයි. 2020 වසරේදී උන්වහන්සේ අග්ගමහා පණ්ඩිත සහ මහා රට්ටගුරු කියන ගෞරව නාමයෙන් පිදුම් ලැබුවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ශෝක පණිවුඩය ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා විසින් ඉදිරිපත් කෙරිණි. එහි මෙසේ සඳහන්ව තිබිණි.

අපවත් වී වදාළ මහානායක හිමියන් ප්‍රමුඛ මහා තෙරනමක්. සිය ශාසන දිවිය ආරම්භ කර අමරපුර නිකායේ මහානායක පදවියට පත්විය. උන්වහන්සේ ඉටුකළ ශාසනික කාර්යභාරය විශාලය. මහා භික්‍ෂු පෞරෂත්වයකින් හෙබි උන්වහන්සේ සඟ සෝබන ගුණයෙන් යුත් යතිවරයෙකි. උන්වහන්සේ ප්‍රාර්ථනා කළ නිර්වාණ සම්පත්තිය ලැබේවා.

මෙහිදී අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා ද සිය ශෝකය එක් කරමින් කියා සිටියේ උත්තරීතර මහානායක ස්වාමීන් වහන්සේගේ මඟපෙන්වීම යටතේ සම්බුද්ධ ශාසනයට ගැඹුරක් එකතු කළා. භාවනාව පිළිබඳ ඇති කළ ගමන් මඟ සුවිශේෂයි. බුද්ධ වචනය අර්ථාන්විත කිරීමට ගිහි පැවිදි දෙපිරිසටම මඟ පෙන්වීමක් කළා.

මෙම ආදාහන පූජෝත්සවය සඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, කථානායක මහින්ද යාපා අබේවර්ධන, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු කථානායක කරු ජයසූරිය ඇතුළු මැති ඇමැතිවරු රැසක්ද එක්ව සිටියහ. ඊට අමතරව අන්‍යාගමික නායකයන්, විදේශ රටවල තානාපතිවරු, විදේශ බෞද්ධ නායකයන් ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසක් එක්ව සිටියහ.

ආචාර වෙඩිමුර දාහතක් උන්වහන්සේ වෙනුවෙන් පුද කෙරිණි. ඉන් අනතුරුව උන්වහන්සේගේ ශ්‍රී දේහය චිතකය කරා වැඩම කරවීමෙන් පසු චිතකයට ගිනි දල්වනු ලැබීය.
ශිරාන් රණසිංහ
ඡායාරූප – තුෂාර අතපත්තු

advertistmentadvertistment
advertistmentadvertistment