නඩුව මඟහැරි ගාල්ල මහින්ද විදුහලේ හිටපු විදුහල්පති වහා අත්අඩංගුවට ගන්න

420

කූඨ ලේඛන සකස් කර ගාල්ල මහින්ද විදුහලේ පාසල් සංවර්ධන සමිතියේ මුදල් රුපියල් විසි එක්ලක්ෂ පනස්හය දහස් දෙසියක් (21,56,200) වංචා කිරීම සම්බන්ධයෙන් හිටපු විදුහල්පතිවරයා ඇතුලු තිදෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව විභාගයට ගත් අවස්ථාවේ අධිකරණයේ පෙනී නොසිටි දෙවන සැකකාර හිටපු විදුහල්පති පහළ මැද ගමගේ ගාමිණි ජයවර්ධන වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වරෙන්තු නිකුත් කිරීමටත් ඔහුගේ ඇපකරුවන්ට නොතිසි නිකුත් කිරීමටත් ගාල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා නියෝග කළේය.

මහින්ද විදුහලේ අනධ්‍යන කාර්ය මණ්ඩලයේ සංවර්ධන නිලධාරිනි හසිනි මනෝජි අලහකෝන්, හිටපු විදුහල්පති පහළ මැද ගමගේ ගාමිණි ජයවර්ධන, භාණ්ඩාගාරික මාවැල්ල කංකානම්ගේ උදානි ප්‍රියංකා යන තිදෙනාට එරෙහිව මෙම නඩුව පවරා ඇත. විදුහලේ වත්මන් විදුහල්පතිවරයා විසින් 2021 වසරේ ඔක්තෝබර් මස 26 වන දින ගාල්ල පොලිසියේ විශේෂ වංචා විමර්ශන අංශයට පැමිණ සැකකාර හිටපු විදුහල්පතිවරයාගේ 2018 සිට 2020දක්වා කාලය තුළ පාසල් සංවර්ධන සමිතියේ ගිණුමින් රුපියල් 21,56200ක මුදල් වංචාකර ඇති බවට පැමිණිල්ලක් කර ඇත. ඒ අනුව පරීක්ෂණ පැවැත්වූ පොලිසිය පළමුවෙන්ම සැකකාරිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරමින් කියා සිටියේ විදුහල්පතිවරයාගේ පැමිණිල්ල ලැබීමෙන් පසු පාසල් සංවර්ධන සමිතියේ භාණ්ඩාගාරිකවරයාගෙන්ද, හිටපු විදුහල්පතිවරුන් දෙදෙනෙකුගෙන්ද, පාසලේ නඩත්තු කටයුතු භාර පුද්ගලයාගෙන්ද, ප්‍රකාශ ලබාගත් අතර ගිණුම පවත්වාගෙන යන ගාල්ල කොටුව මහජන බැංකු ශාඛාවෙන් මෙම වංචා කිරීමට අදාළ චෙක් පත් 34ක්ද ලබාගෙන විමර්ශව පැවැත්වූ බවය. පළමු සැකකාරිය සහ දෙවන සැකකරු රිමාන්ඩ් බන්ධනාගාර ගතකොට නඩු විභාගය පවත්වාගෙන යමින් සිටියදී තුන්වන සැකකාරියද අධිකරණයට ඉදිරිපත් වුවාය. එහිදී පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කරමින් වැඩිදුරටත් කියා සිටියේ නියමිත මුදලට චෙක්පත් ලිවීමෙන් පසු නැවත වැඩි අගයක් යොදා ව්‍යාජ ලෙස වටිනාකම වෙනස්කර මෙම රුපියල් විසි එක් ලක්ෂ පනස් හය දහස් දෙසියක මුදල වංචා කර ඇති බවට පරීක්ෂණවලදී අනාවරණය වූ බවය.

මෙම පාසල් සංවර්ධන අරමුදලට මධ්‍යම රජයෙන්ද ඒකාබද්ධ අරමුදලින්ද, පළාත් සභා අරමුදලින්ද මුදල් ලැබෙන අතර රජයේ විගණකාධිපතිවරයා විසින් විගණනය කරන බවද මෙම ගිණුමේ සභාපති විදුහල්පතිවරයා වන අතර චෙක්පත් තිස් හතරකින් මෙම වංචාව සිදුකර ඇති බවද මුදල් ගෙවා ඇත්තේ වව්චරයේ නම සඳහන් නොවන අයට බවද පරීක්ෂණවලදී අනාවරණයවී තිබෙන බවද පොලිසිය මෙයට පෙර දිනයේ අධිකරණයට කියා සිටියේය.

මෙහිදී පළමුවන සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කරුණු දක්වමින් කියා සිටියේ තම සේවා දායිකාව සිදුකර ඇත්තේ චෙක්පත් ලිවීම පමණක් බවය. ඒ නිසා ඇය රජයේ සාක්කිකාරියක් කිරීමට අවසර ලබාදෙන ලෙසද ඉල්ලා සිටියේය.

මෙහිදී පොලිසිය කියා සිටියේ මෙම නඩුව පොදු දේපළ පනත යතේ පවරා ඇති බැවින් නීතිපතිවරයාගේ උපදෙස් පැතීමට අවශ්‍ය බවය. දෙපාර්ශවයම ඉදිරිපත් කරන ලද කරුණු සළකා බැලු මහෙස්ත්‍රාත්වරයා අධිකරණයේ පෙනී නොසිටි හිටපු විදුහල්පතිවරයාට වරෙන්තු නිකුත් කිරීමටත් ඔහුගේ ඇපකරුවන්ට නොතීසි නිකුත් කිරීමටත් නියෝග කළේය. ගාල්ල පොලිසියේ විශේෂ වංචා විමර්ශන අංශයේ උප පොලිස් පරීක්ෂකවරුන් වන උදය කාන්ත සහ ප්‍රේමකුමාර යන මහත්වරුන් විසින් පැමිණිල්ල මෙහෙයවන ලදී. පළමුවන සැකකාරිය වෙනුවෙන් නීතිඥ අජිත් කුමාර මහතා පෙනී සිටි අතර අගතියට පත් පාර්ශවය වෙනුවෙන් නීතිඥ රජින්ද්‍ර නාරගොඩ මහතා පෙනී සිටියේය. වැඩිදුර නඩු විභාගය නොවැම්බර් 09වනදිනට කල් තබන ලදී.

අහංගම – සුගතපාල දීයගහගේ

advertistmentadvertistment
advertistmentadvertistment