නවගමුව පොලිසිය ඇතුළේදීම සාක්‍ෂි දෙමින් සිටි පුද්ගලයා පිහියෙන් ඇන මරලා

577

නවගමුව පොලිසියේ සුළු පැමිණිලි අංශය ඊයේ (07දා) පෙරවරුවේ පුද්ගලයකුගේ පැමිණිල්ලක් සම්බන්ධයෙන් සාක්ෂි සටහන් කරගනිමින් සිටියදී එහි පැමිණි අයකු එල්ල කළ පිහි පහරකින් සාක්ෂිකරු මරණයට පත්වී ඇත.

ඊයේ පෙරවරු 10.00ට පමණ සිදුවූ මෙම පිහි ඇනුමින් මරණයට පත්වී ඇත්තේ එලවත්ත පාර, දුනුකේදෙණිය, කරවනැල්ල පදිංචි ජයන්ත කුමාරසිරි පෙරේරා නමැති අයෙකි.

නවගමුව රණාල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක විසින් මියගිය පුද්ගලයා තමාට හිරිහැර කරන බව පවසා කර තිබූ පැමිණිල්ලකට අනුව මොහු පොලිසියට පැමිණ එහි සුළු පැමිණිලි අංශයේ පොලිස් නිලධාරියකු ඉදිරියේ අසුන්ගෙන කටඋත්තර දෙමින් සිටියදී පිටුපසින් පැමිණි පුද්ගලයකු ඔහුගේ ගෙල පෙදෙසට පිහියෙන් ඇන ඇත. පිහිය ගෙලේ තිබියදීම ඔහු නවගමුව රෝහලට ඇතුළත් කළද ඒ වන විටත් ඔහු මියගොස් තිබිණි.

පිහි ඇනුම සිදුකළ පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මෙම ඝාතනය අනියම් පෙම් සබඳතාවක් මුල් කරගෙන සිදුවී ඇති බවට මූලික පරීක්ෂණවලින් හෙළි වී තිබේ.

කඩුවෙල වැඩබලන මහෙස්ත්‍රාත් සුජීව මහතා මහෙස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීය.

නවගමුව පොලිසියේ ස්ථානාධිපති ප්‍ර.පො.ප. ලක්ෂ්මන් ද සිල්වා මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති උ.පො.ප. අලහකෝන්, පො.සැ (23509) දහනායක, පො.සැ. (61347) හේරත්, පො.සැ (56992) රෝහිත යන නිලධාරීහු පරීක්ෂණ මෙහෙයවති.

කඩුවෙල – සුගත් ප්‍රේමතිලක
 

advertistmentadvertistment
advertistmentadvertistment