නව කැලණි පාලම ගැන විශේෂ ප්‍රකාශයක්

286

නව කැලණි පාලමේ ඇණ ගලවා ඉවත් කිරීම පිළිබඳ වාර්තා වන පුවත සම්පූර්ණ අසත්‍යයක් යැයි මහා මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එල්. වී. එස්. වීරකෝන් මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පවසයි. ඒ සම්බන්ධයෙන් ඔහු මෙසේ ද සදහන් කරයි. බොහෝ ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය තුළ නව කැලණි පාලමේ ඇණ ගලවා කෝටි 28ක පමණ පාඩුවක් සිදුවී ඇති බවත්, ගමන් කිරීමට නොහැකි බවත් ඇතුළු සාවද්‍ය ප්‍රවෘත්ති රැසක් ප්‍රචාරය වෙමින් පවතිනවා.එහි සත්‍ය තත්ත්වය වන්නේ, නව කැලණි පාලමේ සහ කටුනායක අධිවේගී මාර්ගයේ ඇතැම් ස්ථානවලට අනවසරයෙන් ඇතුළු වූ පුද්ගලයින් පිරිසක් විසින් යම් යම් හානි සිදුකර තිබෙනවා. නමුත් ප්‍රචාරය වන ආකාරයේ කැලණි පාලමේ ඇණ ගලවා සොරකම් කිරීමක්‌ සිදු වී නැහැ. එහි සවි කර ඇති ඇණ ගැලවීම සිදු කළ හැක්කේ විශේෂ උපකරණ වලින් පමණයි. ඊට දින කිහිපයක් ගත වනවා. එය ප්‍රායෝගිකව සාමාන්‍ය පුද්ගලයකුට කළ හැකි කාර්යයක් නොවෙයි. නමුත් පාලමට යටින් ඇති පුවරු, ආරක්ෂිත කැමරා වලට සම්බන්ධ වන විදුලි රැහැන්, ජී අයි පයිප්ප, වැනි භාණ්ඩ වලට හානි කිරීමක් සිදුවී තිබෙනවා. ඒ අනුව කැලණි පාලමට පමණක් රුපියල් මිලියන 6 කට ආසන්න මුදලක හානියක් සිදුව තිබෙනවා.එමෙන්ම කටුනායක අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 13 ක් පමණ දිග කොටසක රැහැනක් ස්ථාන කීපයකින් කපා දමා ඇති බව වාර්තා වී තිබෙනවා. ඒ හේතුවෙන් එම රැහැන භාවිතා කිරීමට නොහැකි තත්ත්වයක් පවතිනවා. එහි හානිය රුපියල් මිලියන දෙසියක් පමණ වනවා. මේ පිළිබඳව මීට පෙරද කරුණු පැහැදිලි කර තිබෙනවා. එමෙන්ම ඒ සම්බන්ධවත් මේ වන විට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා.පොලිස්පතිතුමන් සමඟ සාකච්ඡා වට කිහිපයක් පැවැත්වීමෙන් අනතුරුව නව කැලණි පාලමේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ පොලිස් ඒකකයක් එම ස්ථානයේම ස්ථාපනය කර තිබෙනවා. එමෙන්ම ඒ පිළිබඳව විශේෂ විමර්ශනයක් පවත්වමින් එලෙස සොරකම් කරන ලද කොටස් අලෙවි කළ ස්ථාන සහ පුද්ගලයින් පිළිබඳ වැදගත් තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට විමර්ශන කණ්ඩායම් සමත්ව තිබෙනවා. එමෙන්ම අධිවේගී මාර්ගයට සිදුකල හානි පිලිබඳවත් සැකපිට පුද්ගලයින් කිහිප දෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඒ පිළිබඳව තවදුරටත් විශේෂ ආරක්ෂක විධිවිධාන අනුගමනය කරමින් තිබෙනවා.පසුගිය සතියේ දී ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැති ආරක්ෂක කවුන්සිලයේදීත් මේ පිළිබඳව කරුණු සාකච්ඡා කරනු ලැබුවා. එහිදී මෙම ආරක්ෂිත ක්‍රියාමාර්ග තවදුරටත් වර්ධනය කරමින් පොලිසිය මගින් සිදු කරන ආරක්ෂක වැඩපිළිවෙළට අමතරව අවශ්‍යතාව පරිදි බාහිර ආරක්ෂක සේවාවගේද සහය ලබා ගනිමින් මෙවැනි මර්මස්ථාන වල ආරක්ෂාව වෙනුවෙන් විශේෂ වැඩ පිළිවෙලක් සකස් කිරීමට උපදෙස් ලබා දෙනු ලැබුවා. මේ වන විටත් ඒ සම්බන්ධව කටයුතු කරමින් පවතිනවා.විශේෂයෙන්ම මෙවැනි සිදුවීම් රැසක් වාර්තා වී තිබෙන්නේ පසුගිය කාලය තුල වරින්වර විදුලිය සැපයුම සීමා කරන ලද කාල සිමාව තුළදීයි. නමුත් ඒ පිළිබඳව තොරතුරු බාහිර පාර්ශවයන්ට අනාවරණය නොකිරීමට හේතුව ඒ විටත් ඒ පිළිබඳව ආරක්ෂක අංශ විසින් සිදුකරන ලද පරීක්ෂණවලට බාධාවක් සිදු වනු ඇති බවට පැවති සැකය හේතුවෙන්.ඒ අනුව කැලණි පාලමේ ඇණ ගලවා ඉවත් කර ඇති බවට වාර්තා වන පුවත සම්පූර්ණයෙන්ම සාවද්‍ය බව මා තහවුරු කරනවා. ඉදිරියේදී මෙවැනි කඩාකප්පල්කාරී ක්‍රියා සිදුවීම වැළැක්වීම සඳහා අවශ්‍ය සියලු ආරක්ෂක විධිවිධාන මේ වන විටත් ක්‍රියාත්මක කරමින් පවතිනවා

advertistmentadvertistment
advertistmentadvertistment