නාඳුනන දෙදෙනාගේ වෙඩි පහරින් මෝදර අවන්හලේ කළමනාකරුට බරපතළයි

108

මෝදර පොලිස් වසමේ මෝදර වීදිය ප්‍රදේශයේ අවන්හලක කළමනාකරුවකුට පෙරේදා (13 වැනිදා) රාත්‍රී මෝටර් රථයකින් පැමිණි දෙදෙනකු කළ වෙඩි තැබීමකින් එම කළමනාකරු බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

තුවාල ලබා ඇත්තේ කොළඹ 14, මහවත්ත පදිංචි 51 හැවිරිදි අයෙක් බව මෝදර පොලිසිය පවසයි.

ඔහුගේ ශරීරයේ ස්ථාන කීපයකටම වෙඩි ප්‍රහාර එල්ල වී තිබූ බව පොලිසිය කියයි.

ඔහුට මිලිමීටර් 9 පිස්තෝලයකින් වෙඩි ප්‍රහාර එල්ලකර ඇතැයිද සිද්ධිය වූ ස්ථානයේ තිබී මිලිමීටර් 9 හිස් පතරොම් කොපු 8ක් තිබී හමුවූ බවද පොලිසිය පවසයි.

අදාළ කළමනාකරු එම අවන්හලේ ගේට්ටුව ආසන්නයේ සිටියදී මෝටර් රථයකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකුගෙන් එක් අයකු විසින් වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇත.

පලාගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සිද්ධිය වූ ස්ථානය අවට සී.සී.ටී.වී. දර්ශන පරීක්‍ෂාවට ලක් කරමින් තිබෙන බව පොලිසිය කියයි. සිද්ධිය සම්බන්ධයෙන් මෝදර පොලිස් ස්ථානාධිපති ප්‍ර.පො.ප. නලින් දර්ශන මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍ර.පො.ප. පාලිත කරුණානායක මහතාගේ මෙහෙය වීමෙන් වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වේ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment