නිත්තවෙලදී විද්‍යාර්ථයට ජය

166

ආරම්භක තරගයේ දී දරුණු පරාජයක් ලැබුවද දෙවැනි තරගයේදී මනා සංවිධානාත්මක ක්‍රීඩා රටාවක නිරත වෙමින් ප්‍රතිවාදී බම්බලපිටිය ශාන්ත පීතර විදුහල පරදවමින් විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය නියෝජනය කළ ක්‍රීඩකයෝ සමත් වූහ.

මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණයේදී පැවති ඩයලොග් ලීග් ශූරතා රග්බි පාපන්දු තරගාවලියේ දෙවන සතියේ තරගයකදී පෙරේදා එම ජයග්‍රහණය ලබා ගත්හ. මෙවර තරගාවලියේ කුළුඳුල් ජයග්‍රහණය සටහන් කර ගැනීම සඳහා විද්‍යාර්ථ පිල ගිය ගමනේ දී ප්‍රතිවාදී ශාන්ත පීතර විදුහල් කණ්ඩායම ලකුණු 11- 07 ක් ලෙස තියුණු පරාජයකට ලක් කිරීමට සමත්වීම කැපී පෙනුණි.

තරගයේ ප්‍රථම භාගය නිමා වන විට ලකුණු 05 – 00 ක් ලෙස පෙරමුණේ පසුවූ විද්‍යාර්ථ විදුහල නියමිත කාලය නිමා වන විට ද පෙරමුණ ආරක්ෂා කර ගැනීමට සමත්වීම විශේෂත්වයකි.

විද්‍යාර්ථ විදුහල උත්සාහක දිනුමක් සමගින් දඬුවම් පහර 02 ක් සාර්ථක කර ගනිමින් තම ලකුණු පුවරුව ඉහළ නංවා ගත් අතර පරාජිත ශාන්ත පීතර පිල තම ලකුණු එකතුව එක් ගෝල් දිනුමක් මගින් ලබා ගත්තේය. විද්‍යාර්ථ විදුහල මෙන්ම ත්‍රිත්ව විදුහල, රාජකීය විදුහල, ශාන්ත ජෝසප් විදුහල සහ ඉසිපතන විදුහල මෙම සතියේ තම අපරාජිත බව සනාථ කර ගත්තේය.

අනුරුද්ධ හේරත් බණ්ඩාර
 

advertistmentadvertistment
advertistmentadvertistment