නිහඬවූ රජරට පන්හිඳ සිරිල් බස්නායක

156

‘දිවයින’ පුවත්පතේ ආරම්භයේ සිටම එහි අනුරාධපුර ප්‍රාදේශීය මාධ්‍යවේදියකු ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියකු වූ සිරිල් බස්නායක මහතා පෙරේදා තම දිවි ගමනට සමුදුන්නේය. මේ සමග පළවනුයේ ඔහු පිළිබඳව සරත් මනුල වික්‍රම තැබූ සටහනකි.

රජරට වාසභූමිය කරගත් සිරිල් බස්නායක ජන්මලාභය ලැබුවේ ගම්පහය. ගම්පහ සාමාන්‍ය පවුලක ඉපිද හැදී වැඩුනු සිරිල් බස්නායක එවක ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබුවේ ය.

ඔහුගේ නෑයෙකු ඔහුට එවකට ගල්ඔය සංවර්ධන මණ්ඩලයේ කාර්මික නිලධාරියෙකු ලෙස පුහුණුවට යෑම සඳහා අස්ථාවක් උදාකර දුන්නේ ය. ඒ වන විට එනම් 50 දශකයේ දී සේනානායක සමුද්‍රය නවීකරණය සඳහා ඇමරිකානු සමාගමකට පවරා තිබිණි. එම්.කේ.අයි. නමැති එම සමාගම යටතේ පුහුණුව ලැබීමට අවස්ථාව හිමි විය. ඒ අම්පාර කාර්මික විද්‍යාලයේ දීය. පුහුණුව අවසානයේ දී බස්නායක මහතාට එහි පුහුණු උපදේශකයෙකු ලෙස රැඳී සිටීමට සිදුවිය. එම මධ්‍යස්ථානයේ අධිපතිව සිටියේ ඉවන් ඒ හාඩි මහතායි. ඔහුට උපහාරයක් වශයෙන් අදත් එම කාර්මික විද්‍යාලය ‘හාඩි කොලේජ්’ නමින් හඳුන්වයි. ආසියාවේ වෙනත් රටවල සිසුන්ට කාර්මික පුහුණුව ලබාදීම එහිදී සිදු කෙරිණි. බස්නායක මහතාට සම්මුඛ පරීක්ෂණයේ දී ලද ලකුණුවලට අනුව විදේශ සිසුන්ට ඉගැන්වීමේ අවස්ථාව ලැබුණි. මාර්ග ඉදිකිරීම්, ඇළවේලි තැනීමේ තාක්ෂණය ආදී බොහෝ කාර්මික දේ ඉගැන්වීම්වලට ඇතුළත් විය.

ඒ අතරතුර බස්නායක මහතාට ඡායාරූප ශිල්පය හැදෑරීමේ අවස්ථාවක්ද කාර්මික විද්‍යාලය තුළදී ම උදාවිය.

වින්සන්ට් හෑගොඩ මහතාගේ ගුරුහරුකම් ලබාගත් ඔහු කැමරාව ගැනත් කළු සුදු ඡායාරූප මුද්‍රණය ආදී ඡායාරූපකරණයේ සියලු අංගයනකුත් ඉගෙන ගත්තේ ය. ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමයේ සාමාජිකත්වය ලබාගත් ඔහු පසු කලක දෙස් විදෙස් තරග රාශියකට ඡායාරූප ඉදිරිපත් කර සම්මාන ලබාගත්තේ ය.

අනුරාධපුර සංරක්ෂණ මණ්ඩලයේ කාර්මික නිලධාරියෙකු ලෙස සේවය බැඳුණත් කෙටි කලකින් පුවත්පත් වාර්තාකරුවෙක් බවට බස්නායකගේ රාජකාරිය වෙනස්කර ගන්නට සිදුවිය. 1961 දවස පුවත්පත ආරම්භ කරන විට එහි අනුරාධපුර දිස්ත්‍රික්කය භාර වාර්තාකරු මෙන්ම ඡායාරූප ශිල්පියා ලෙස ද වගකීම භාරගන්නට ඔහුට සිදුවිය. ඒ අතර අනුරාධපුර ප්‍රදේශයේ ජනතාවට තිබූ විශේෂ දුර්ලභ අවශ්‍යතාවක් ඉටුකිරීමේ මගක් ලෙස ඡායාරූප ශාලාවක් ආරම්භ කිරීමට බස්නායක මහතා පියවර ගත්තේ ය. එම ඡායාරූප ශාලාව අදටත් අනුරාධපුර බැංකු පෙදෙසේ ‘පොටෝ ජෙනික්’ නමින් පවතී.

දවස පුවත්පතට එක්වීමත් සමග ඔහුට ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් රැසක් සමග කටයුතු කිරීමේ අවස්ථාව ලැබිණි.

බස්නායක මහතා සාමාන්‍ය ප්‍රාදේශීය වාර්තාකරුවන්ට වඩා සුවිශේෂී චරිතයක් විය. ඔහු වෙනත් වාර්තාකරුවන්ට නොමැති හැකියාවක් ලෙස කැමරාකරණය මෙන්ම කළු සුදු ඡායාරූප මුද්‍රණය ද ප්‍රගුණ කළ අයෙක් වීමත් ඉංග්‍රීසි බස හැසිරවීමේ දක්ෂයෙකු වීමත් නිසා ඔහුට බොහෝ වගකීම් දැරිය හැකි විය. විදේශිකයන් හා රාජ්‍ය තාන්ත්‍රික පිරිස් ඇමතීමේ හැකියාව ඔහු සතුවිය.

දුප්පත් ජනතාව අතරින් ඔහුගේ නෙත ගැටෙන අපූරු අනුවේදනිය ඡායාරූප දෙස් විදෙස් තරග ජයගත්තේ ය.ඒ නිසා බස්නායක මහතා කලාත්මක ඡායාරූපකරණය විනෝදාස්වාදයක් කරගත්තේ ය.

ඊට අමතරව රජරට ප්‍රදේශයේ දුෂ්කර ගම්මාන වල කිසිදු හව්හරණක් නොමැති ජනයාගේ අපමණ ගැහැට වල දි ඔවුන්ට හඩක්වීමට අවස්ථාව උදාකරගත් බස්නායක දවස පුවත්පතට වටිනා ප්‍රවෘත්ති හා විශේෂාංග දිනපතා එකතු කළේ ය. අපරාධ වාර්තාකරණය තුළ 70 දසකයේ දිවයිනේ බිහිසුණුම අපරාධකාරයෙක් අනුරාධපුරය ආසන්නයේ විය. පොලිසියට පවා මෙල්ල නොවන පුද්ගලයාගේ අපරාධ හා නඩු වාර්තා කිරීම බස්නායකට භාර විය. ඔහු මුදලින් හෝ අතපය චණ්ඩි කමින් පොලිසිය ද අධිකරණය ද ජය ගනී. කිසිදු වාර්තාකරුවෙකු පවා ඔහුට ළං නොවේ. බස්නායක මහතා පත්තර පිටු ගණන් ඒ ගැන ලිවුවේය.

ඒ කතාව නෙයිනාගේ සූදුවට වඩා අපූරු කතාවකි. එය අද මතකයේ ඇති දැන සිටින සජීවි පුද්ගලයා බස්නායක මහතා පමණි. අපරාධකරු අනුරාධපුර සිට අගනුවර දක්වාම හොර අරක්කු සපයන ප්‍රධාන සැපයුම්කරු විය. දියුණු යන්ත්‍ර සූත්‍ර සමග බෝතල්වලට මූඩි හා සීල් කිරීමේ තාක්ෂණය ද ඔහු භාවිත කළේ ය. ඔහුගේ ජාවාරම බිඳින්නට කිසිවෙකුට නොහැකිය. පොලිසිය කුමන වැටලීම් කළ ද සාක්කිකරුවන්ට තර්ජනය කර හෝ මුදල් දී මර්දනය කරන්නට ඔහු සමත් ය.

ඔහු වෙනුවෙන් නඩුවට පෙනී සිටින නීතිඥ ජී. ඩී. පොන්නම්බලන් ය. එම නීතිඥයා අධිකරණ ශාලාවේ සාක්කි කූඩුව ළඟදී අඩි බිම ගසා සාක්කිකරුවන් බියගැන්වීම උපක්‍රමයක් ලෙස සිදු කළේය. පසු කලක ඒ බව පොලිසිය මාර්ගයෙන් අවබෝධ කරගත් මහෙස්ත්‍රාත්වරයා ශාලා ගැබ තුළදී සාක්කිකරුවන් බිය ගැන්වීම නොකරන ලෙස නියෝගයක් පැනෙව්වේ ය. ඉන් පසු එම නීතිඥයාට නඩු දිනන්නට හැකි නොවී ය.

අවසානයේ පී. කේ. ඩී. පෙරේරා නමැති පොලිස් අධිකාරිවරයා ඇසින් දුටු සාක්කි සහිතව සැකකරු ඔහු විසින්ම අල්ලාගෙන ඒමට සූදානම්ව වාර්තාකරණය සඳහා එන ලෙස බස්නායකට ද කතා කළේය. ඔහුගේ ඡායාරූප ගැනීම ලෙහෙසි පහසු නැත. එමෙන්ම පොලිසියට ආ සැණින්ම ආපසු හැරී යන ක්‍රමයක් ඔහු හදාගෙන තිබුණි. එදා ඔහුව අත්අඩංගුවට ගත් පොලිස් අධිකාරිවරයා ජීප් රියේ ඉන්ධන නොමැතිබව කියා කලත්තෑවේ සිට පාගමනින් ඔහුව රැගෙන ඒමට උපාය යොදා තිබිණි. එදා ඡායාරූප ගැනීම සඳහා ලේක්හවුස් ඡායාරූප ශිල්පී චන්ද්‍රගුප්ත වීරවර්ධන හා බස්නායක දෙදෙනාම ගොස් සිටියහ. පොලිසිය විසින් රෙද්දකින් මූණ වසාගෙන අල්ලාගෙන ආ සොයිසාට ළංව චන්ද්‍රගුප්ත සමීප ඡායාරූපයක් ගන්නට වෑයම් කළේය. සැකකරුගේ කරාටේ අඩි ගැන දන්නා බස්නායක ඡායාරූප ගත්තේ ඈත සිටය. සැකකරුගේ එක පා පහරකින් චන්ද්‍ර ගුප්තගේ කැමරාව කුඩුවී ගියේය. ඔහුගේ මුහුණ බේරුනේ අනූනවයෙනි.

හැත්තෑව දශකයේ අග හේමසිරි ප්‍රේමවර්ධන දිසාපතිවරයා අනුරාධපුරයේ වැඩ භාරගත්තේය. විශ්වවිද්‍යාල ජීවිතයේ දී නරි බෑනා නාට්‍යයේ ද රඟපෑ ප්‍රේමවර්ධන මහතා නිරහංකාර කලාකරුවෙක් විය. අනුරාධපුර සිට තන්තිරිමලේට පාර කැපීම ආරම්භ කළේ ඒ දිසාපතිවරයාය. දිසාපතිවරයා හැම සතියේම එක් දවසක් දුෂ්කර ගම්මානයක් සොයි කැලෑ පීරමින් දූවිලි නාගෙන ගියේය. වාහනයෙන් යා නොහැකි තැන්වලට පයින් හෝ යෑමට ඔහු පසුබට වුණේ නැත. වරක් තන්තිරිමලේ පාර කැපීම ඇරඹීමට සවස් කාලයේ ගමන් ඇරඹූ දිසාපතිවරයා හා බස්නායක මහතා ඇතුළු කණ්ඩායමට අඩි පාරවල් දිගේ දූවිලි මැදින් යා හැකිවූයේ තම්බියාව ගමට පමණි. එතැනින් එහාට පයින් ද යා නොහැකි කැලෑව ය. වාහනය නතර කර කිලෝමීටර් හතරක් පමණ කැලෑව පීරාගෙන යෑමට දිසාපති ඉදිරිපත් වන විට කණ්ඩායමේ අනෙක් අයට ද ඒ ගමන යන්නට සිදුවිය. කැලෑව අලිවලසුන්ගෙන් ද පිරුණු එකකි. එදා රෑ තන්තිරිමලේ විහාරස්ථානයේ ගල්කන්දට යන විට කුඩා කෝන්ගස්කඩ විමලඤාණ නායක හිමියෝ ගල් පර්වතයේ පොකුණ අයිනේ පැලක් හදාගෙන වැඩ සිටියෝ ය. පිරිස ගල් තලාවේ නිදියා උදෑසන පාරේ වැඩ ඇරඹූහ. බස්නායක මහතාද මාධ්‍ය වාර්තාව හදාගත්තේ ඒ කටුක බව විඳගෙනය.

ටී. කේ. දසනායක, ඩී. ඩබ්ලිව්. අබේවික්‍රම හා ජයම්පති හෙට්ටිආරච්චි වැනි දිසාපතිවරුන් බොහෝ පිරිසක් සමග සංචාරවල යෙදෙමින් මෙලෙස බස්නායක මහතා ලැබූ අද්දැකීම් රාශියකි. බස්නායක පවුලේ හැමෝම මාධ්‍යකරුවෝය. ඔහුගේ බිරිය ශීලා බස්නායක මහත්මිය දිගු කලක් ලක්බිම පුවත්පතේ අනුරාධපුර වාර්තාකාරිණිය ලෙස කටයුතු කළාය. දෙටුපුත් සහන් බස්නායක රූපවාහිනියේ රූපවාහිනි වාර්තාකරුවෙකි. බාල පුත් තාරක බස්නායක වර්තමානයේ අගනුවර සුප්‍රකට ඡායාරූප මාධ්‍යවේදියෙකි.

බස්නායක මහතාට නිවන්සුව පතමු!

  • සරත් මනුල වික්‍රම
advertistmentadvertistment
advertistmentadvertistment